යුද බියෙන් පෙළුණු යාපනේ දැන් සව්සිරින් පිරි නුවරක් | දිනමිණ

යුද බියෙන් පෙළුණු යාපනේ දැන් සව්සිරින් පිරි නුවරක්

යාපනය ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට මෙය පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ හින්දු දෙමළ සංස්කෘතියේ මූලස්ථානය ලෙස සැලකිය හැකි යාපනයේ ඓතිහාසිකත්වය සහ එහි ශේෂිතයක් ලෙස වර්තමානයේ නටබුන් වශයෙන් වුවද දෘෂ්‍යමාන ලන්දේසි බලකොටුව සහ ඒ ආශ්‍රිත පුරාවිද්‍යාත්මක ස්මාරක සමුහයක් දැකිය හැකිය. ලන්දේසි යුගයට අයත් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව පසුගිය 30 වසරක යුදමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක්වූ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැකිය.

යාපනයේ පුස්තකාලය, ජාතිවාදී ගින්නට හසුව විනාශ වනතුරු ම දකුණු ආසියාවේ පිහිටි විශාලතම වූත් වටිනාම පොත් රැසක් තිබූ පුස්තකාලය විය. මෙය මෑතදී පිළිසක‍ර ක‍ර නැවත විවෘත ක‍ර ඇත්තේ යාපනයට නැවත සාමයේ අරුණලු ගෙනෙමිනි.

යාපනය නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ ඉතා දීර්ඝ කාලයක් තිබුණේ විදුලි බලය විරහිතවය. එහෙත් දැන් පැය 24 පුරාම විදුලිය සහ ජල පහසුකම් තිබේ. යුද්ධයෙන් කැඩුණු ගොඩනැඟිලි හා කඩ සාප්පු බොහොමයක් අලුතින් නිමා කර තිබෙන අතර මංමාවත් බොහෝමයක් පිළිසකර කර තිබේ. කලින් හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් පාරවල් දැන් මහජනතාවගේ භාවිතාවට විවෘතය. දේශීය හා විදේශීය සංචාරකයෝ ඒවායේ නිදහසේ ඇවිද යති.

යුද්ධයේ නීරස අත්දැකීම් කෙමෙන් පහව යමින් ඇති හෙයින්දෝ උතුරේ සහ දකුණේ ජනතාව අතර දැන් විරසකයක් පෙනෙන්නට නැත. හොඳම සාක්කිය යාපනයේ කඩ වීදියයි. ජාති බේදය-බෙදුම් වාදය මේ කිසිත් නැති යාපනේ වෙළෙන්දෝ බඩු විකුණති. ඔවුනට භාෂා ප්‍රශ්නයක් නැත. තිබෙන එකම භාෂාව වෙළෙඳා‍මේ භාෂාවයි. කුඩා කර්මාන්ත හා පලතුරු ආශ්‍රිත නිෂ්පාදන රාශියක් යාපන විවෘත වෙළෙඳ පොළේ දක්නට ලැබේ. අඹ යුෂ, නෙල්ලි යුෂ, මිදි යුෂ බෝතල්වල අසුරා විකිණෙයි. සිල්ලර රසකැවිලි ද රාශියකි. ධීවර කර්මාන්තය යළි පණගසා ඇති නිසා යාපනයේ මාළු හා කරවල මිල ද අඩුය. බොහෝ තැන්වල කරවල වේළන අන්දම දැකිය හැකිය.

යාපන නගරය රාත්‍රියට නම් මළ පාළුය. ආගන්තුකයන් රැගත් වාහනයක් දෙකක් හැරුණු කල කොළඹ මෙන් මහ රෑටත් වාහන පෙරහැරවල් නැත. කඩ සාප්පු වැසීගොස්ය. අපට මඟ පෙන්වූ මාස්ටර් නමින් ප්‍රකට, සාම විනිසුරු ජේ. ජී. පොන්නයියා මහතා කීවේ කලින් නින්දට යන යාපනේ වැසියන් කලින් පිබිද වැඩ ඇරැඹීම එදා පටන් පැවති සිරිත බවයි.

කලෙකට පෙර යුද බියෙන් පෙළුණ විශාලාවක් වූ යාපන නගරය අද ආගමික සහජීවනයයේ තෝතැන්නයි. දකුණෙන් ආ ජනතාව කිසිදු ආගම් භේද නොසිතා තලවිල, මඩු, තන්තිරිමලේ, කදුරුගොඩ, දඹකොළ පටුන, කීරමලේ සහ නල්ලූර් කෝවිල වැඳ පුදා ගනිති. යාපනේ නගරය මැද ස්ටැන්ලි පාරේ පිහිටි ශ්‍රී නාග විහාරය මේ අතුරින් සුවිශේෂීය. විශාල පිරිසකට එකවර නවාතැන් ගත හැකි එහි විශ්‍රාම ශාලාව දකුණෙන් ආ ජනතාවගෙන් නිතර පිරී තිබේ. ජාති මෙන් ම ආගම් භේදයක් ද නැත. එහි විහාරාධිපති හිමියන් සේම උන්වහන්සේගේ ප්‍රධාන ශීෂ්‍ය රත්නය ද එඩිතරය. කාර්යයශූරය. තිස් වසරක යුද්ධයේ අමිහිරි අතීතය අවුස්සනවා වෙනුවට සියලු ජාතීන්-සියලු ආගමිකයන් එක සෙවණක හිඳිනු දැකීම මේ පැවිදි උතුමන්ගේ එකම ප්‍රාර්ථනය වී තිබේ. නාග විහාර බිමෙහි ඉදිවන සත් මහල් ප්‍රාසාදය ඒ ආගමික සංහිඳියාව ලොවට හඩ ගා කියන මහා සංකේතයක් බඳුය. බෞද්ධ - අබෞද්ධ කොයි කාගේත් ආධාරය උපකාරය ඊට හිමි විය යුත්තේ එබැවිනි.

(සාම විනිසුරු ජේ. ජී. පොන්නයියා මාස්ටර්ට අපේ විශේෂ ස්තූතිය.)

කොළඹ සංචාරක වාර්තාකරු යාපනේ සංචාරයකින් පසු


නව අදහස දක්වන්න