වස විස නැති රටක් | දිනමිණ

වස විස නැති රටක්

“වස විස නැති රටක්” වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) විවෘත කෙරිණි. අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන එස්. බී. දිසානායක, දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අයුරු. ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය ඒකකය

පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින්වුණ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. ලංකාවේ ගොවිකම රජකමටත් වඩා ඉහළය. එමෙන්ම එය ධාර්මික වෘත්තියකි.

වී ගොවිතැනින් රටේ ප්‍රධාන ආහාරය වන බත සැ‍පයෙන අතර එළවළු ගොවිතැනින් සමබල ආහාරවේලක් සෑදෙයි.

නමුත් නිරෝගිමත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව නඟාසිටුවී‍මට නම් මෙම ආහාර වේල වස විසෙන් තොර ආහාර වේලක් විය යුතුය. අතීතයේදී ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වූයේ වී වගාව සඳහා කාබනික පොහොර යෙදීමෙනි. සතුන් මලපහ කරන, සතුන් මිය ගිය, කුණු රොඩු එකතුවන සහ අළු වැනි දේ වැටුණු ස්ථානවල ගසක් සරුසාරව වැඩෙන බව ඔවුහු සිය අත්දැකීමෙන් වටහා ගත්හ. ඒ අනුව තම වගාවන් සරු සාර කර ගැනීම සඳහා එවැනි දේ යොදා ගැනීමට පෙළඹුණි. මෙලෙස අනාදිමත් කාලයක සිට මිනිසා කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර යොදා ගන්නා ලදී.

නමුත් ශ්‍රී ලංකාවේ වැඩිවන ජනගහනයට විසඳුමක් ලෙස වැඩි වී අස්වනු ප්‍රමාණයක් ලබාදීමට විවිධ වී ප්‍රභේද හඳුන්වාදීමත් සමඟ ඒ සඳහා රසායනික පොහොර යෙදීම අත්‍යවශ්‍ය විය. මේ හේතුව නිසා සහනාධාර පදනම මත ගොවි ජනතාව වෙත රසායනික පොහොර හඳුන්වා දෙන දෙන ලදී. මෙම තත්ත්වය යටතේ 1990 දශකය වන විට ගොවීන් රසායනික පොහොර පමණක් වගාවන් සඳහා භාවිත කරන තත්ත්වය දක්වා වර්ධනය විය.

මේ හේතුවෙන් පරිසරය දූෂණය වනවා මෙන්ම සෞඛ්‍ය ගැටලු රාශියක් ද පැන නැගුණි. රසායනික පොහොර යෙදූ කුඹුරුවලින් බැහැර යන ජලය ගංඟා, ඇළ, දොළවලට එකතුවීමේදී මිනිස් සිරුරට අහිතකර විෂ ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර වෙයි. මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට අපට සිදුවිය. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ ශීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු ‍‍රෝගය බහුලවීමටද එය ඉවහල් වී ඇති බවට වෛද්‍යවරුන් සනාථ කර ඇත.

ගොවීන් විසින් වාර්ෂිකව වී වගාව සඳහා යොදා ගනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර නිසා පොළවට එකතු වන බැර ලෝහ ප්‍රමාණය දස ගුණයක් පමණ වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. එසේනම් මෙම තත්ත්වය නිරෝගී ජනතාවක් ලෙස අපට ඉදිරියට යාමට ඇති ප්‍රබල අභියෝගයකි.

“ධාර්මික ගොවිතැනක් - නිරෝගීමත් ජනතාවක්” ගොවි පුතෙකු වූ රටේ ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

ඒ අනුව ධාර්මික ගොවිතැන සඳහා ප්‍රතිපත්තිමය කරුණු රැසක් එතුමා විසින් මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටට ඉදිරිපත් කළේය.

රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා කාලරාමුවක් සකස් කිරිමට කටයුතු යොදන බවට (මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්, පිටුව 30) සඳහන් කර තිබේ.

එකී පොරොන්දුව ඉටුකරමින් “වස විස නැති රටක්” ජාතික වැඩසටහන සක්‍රීයව ක්‍රියාවට නැංවෙයි.

* ශ්‍රී ලාංකික නම් වසවිස නැහැ

ශ්‍රී ලංකාව වස විසවලින් තොර හරිත දිවයිනක් බවට පත්කර සැමට වසවිස නැති ආහාර සැපයීම සඳහා වු රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව මෙම තුන් අවුරුදු ජාතික සැලැස්ම ඉදිරිපත් කෙරේ.

දිවයිනේ වගා කෙරෙන සියලු ප්‍රධාන ‍බෝග වර්ග එනම් ධාන්‍ය, එළවළු, පලාකොළ, අල වර්ග, කුළු බඩු, පලතුරු, ඖෂධ ශාක පමණක් නොව වාණිජ බෝග වර්ගද වස විසවලින් තොරව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග මෙමඟින් ඉදිරිපත් කෙරේ. එවිට ශ්‍රී ලාංකික ලේබලය වස විස නැති බවට දෙන සහතිකයක් බවට අනාගතයේදී පත්වනු ඇත.

පිටරටින් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒවායේ සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳව බරපතළ ගැටලු පැන නැගී ඇත්තේ එම රටවල් බොහොමයක් දැනට ශ්‍රී ලංකාවේ භාවිතයෙන් ඉවත් කර ඇති පළිබෝධනාශක තවදුරටත් භාවිතයට ගන්නා නිසාය. පලිබෝධනාශක අවශේෂවලින් ගහනව තිබීමට ඉඩ ඇති, එහෙත් අපේ රටේ වැවෙන ආහාර බෝග වර්ග, පිටරටින් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතාලීම උදෙසා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන (2016 – 2018) මේ වනවිට රට පුරා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙම වස විස නැති රටක් ජාතික සැලැස්ම එම වැඩසටහනට අනුපූරකයක් ලෙසින් සම්පාදනය කර ඉදිරිපත් කෙරේ. දේශීය ආහාර නිෂ්පාදකයා ආනයනයන් මත පදනම් වූ රසායනික ගොවිතැන වෙනුවට හැකිතාක් දුරට කාබනික ගොවිතැන දක්වා යොමු කිරීම මෙම ජාතික සැලැස්මේ අරමුණයි.

මෙහිදී ස්වභාවික ගොවිතැන මත පදනම් වූ දැනට ඉතා සුළු වශයෙන් භාවිත වන ඉහළ පෝෂ්‍ය ගුණයකින් මෙන්ම ඉහළ ඖෂධීය ගුණයකින් හෙබි පාරම්පරික බීජ ප්‍රභේද භාවිතය ක්‍රමානුකූලව වසර තුනක් ඇතුළත සමස්ත ගොවිතැනෙන් 30%ක් දක්වා රැගෙන ඒමට කටයුතු කෙරේ. තවද වැඩි අස්වනු ලැබෙන වැඩි දියුණූ කළ බීජ ප්‍රභේද භාවිත කරන ගොවි බිම්වලද ඒකාබද්ධ ක්‍රමවේදයන් මගින් කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව වසර තුනක් ඇතුළත 50%කින් අඩු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දියත් කෙරේ.

එමෙන්ම දේශීයව සහල් අස්වනු වැඩිවීමට සා‍ෙප්ක්ෂව ආනයනය කරන තිරිඟු පිටි වෙනුවට ඊට වැඩි ගුණාත්මක තත්ත්වයකින් යුතු සහල් පිටි වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමටද කටයුතු කෙරේ.

* මුළු මහත් සමාජයම රෝගී වෙමින් තිබේ

ශ්‍රී ලංකාවේ රසායනික ගොවිතැන හා වැරදි ආහාර පරිභෝජන රටා සහ වැරදි ජීවන රටා නිසා අර්බුද ගණනාවක් මතු වී තිබේ. වැරදි ගොවිතැන් ක්‍රම, වැරදි ආහාර පුරුදු හා ශාරිරික සක්‍රියතා නොමැති වැරදි ජීවන රටා නිසා බෝ නොවන රෝග ගණනාවක් මානව සමාජය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ආහාර මගින් වස විස ශරීරගත වීම ‍ෙහ්තුකොටගෙන නොයෙක් රෝගවලට ජනතාව ගොදුරු වී සිටින අතර දිවයිනේ පිළිකා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වසරකට 3000 බැගින් ඉහළ යමින් ඇත.

එපමණක් නොව වැරදි ආහාර පුරුදු නිසා දරුවන් එක් අතකින් මන්දපෝෂණයටත් අනෙක් අතින් අධිපෝෂණය හා ස්ථූලතාවයටත් ‍ෙගාදුරුවෙමින් තිබේ. එමෙන්ම සත්ත්ව පාලනයේදී විවිධ හෝමෝන වර්ග අධිකව භාවිතා වන නිසා කුඩා දරුවන්ගේ වර්ධන වේගය විකෘති වී ඇති අතර දැරියන් වැඩිවියට පත්වීමේ වයස පවා පහත වැටී ඇත. රටේ ජීවනාලිය බඳු වු ගොවියා දැනට භාවිත වන ගොවිතැන් ක්‍රම නිසා බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත. වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වනවිට ගොවි ජනතාව ලක්ෂ දෙකක් පමණ වාර්ෂිකව වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවදානම මතුවී ඇත.

වසවිස නැති ගොවිතැන යනු අලුත් සංකල්පයක් නොවේ. වස විස නැති ගොවිතැන යනු බෝගවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වායුගෝලයෙන්, එම ගොවි බිමෙන් හා වටපිටාවෙන් ලබාගන්නා ක්‍රමවේදයකි. බහුබෝග වගාව, පාංශු සංරක්ෂණය, මනා ජල කළමනාකරණය, ගොවිතැනේ හිතකර ජීවින් සුලභ කිරීම සහ යාන්ත්‍රික ක්‍රමවලින් පලිබෝධ පාලනය ආදී අංගෝපාංගවලින් වස විස නැති ගොවිතැන සමන්විත වේ.

මෙහිදී වැඩිදියුණු කළ බෝගවලට වඩා ප්‍රමුඛතාව හිමිවනුයේ පාරම්පරික බෝග වර්ගවලටය. ඒ ඒවා සොබාදහමේ වෙනස්වීම්වලට වඩාත් ඔරොත්තු දෙන බැවිනි. මෙම කෘෂි රසායන භාවිත නොවන ගොවිතැන විවිධ ස්වරූපවලින් ඇත. කාබනික ගොවිතැන, ස්වභාවික ගොවිතැන හා තිරසාර ගොවිතැන එලෙස භාවිත කරන ස්වරූප කිහිපයකි.

මේ වනවිට ලොව විවිධ රටවල වසවිස නැති ගොවිතැන පිළිබඳව පර්යේෂණයන් සිදුකර නව උපාය, උපක්‍රම, විධික්‍රම හා තාක්ෂණයන් සොයා ගෙන ඇති බැවින් එම දැනුම අනුසාරයෙන් වස විස නැති ගොවිතැන පසුගිය වකවානුව තුළ ශීඝ්‍රයෙන් සංවර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක කිහිපය තිස්සේ අඛණ්ඩව ස්වභාවික ගොවිතැන පිළිබඳව පර්යේෂණ කළ විද්වත්හු, පර්යේෂකයෝ පමණක් නොව ගොවීහු, ගොවි සංවිධාන හා බහුජන සංවිධාන ද බොහෝ වෙති. ඔවුහු අධිෂ්ඨාන සහගතව කටයුතු කර වස විස නැති ශ්‍රී ලංකාවට ගැළපෙන නොයෙක් ගොවිතැන් ක්‍රම වැඩිදියුණු කර තිබේ.

මෙතෙක් ආ මඟ - 2015 වසරේ දී දියත් වූ වැඩසටහන්

සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම උදෙසා වත්මන් රජය 2015 වසරේදී ගොවිතැන සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රධාන පියවර ගෙන ඇත. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් 15 කින් සමන්විත ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන (2016 – 2018) සම්පාදනය කර එළිදක්වා එහි සඳහන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වේගවත් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම.

පෝෂ්‍යදායි ආහාර භාවිතය ප්‍රචලිත කිරීම උදෙසා හෙළ බොජුන් හල් 14ක් රට පුරා ස්ථාපිත කිරීම. ඉදිරියේදී තවදුරටත් මෙම හෙළ බොජුන් හල් ක්‍රමය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇත.

මුළු ක්ෂුද්‍ර පරිසර පද්ධතියම විනාශ කරන වල්නාශකයක් වූ ග්ලයිෆොසෙට් නම් වූ රසායනිකය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගැනීම.

2016 අය වැය මඟින් මෙතෙක් වී ගොවිතැනේදී රසායනික පොහොර සඳහා පමණක් ලබා දී තිබූ රජයේ සහනාධාරය කිසිදු අඩුවක් නොකොට ස්වභාවික ගොවිතැන සඳහා ද ලබාදීමට පියවර ගැනීම ආදී කරුණු ප්‍රමුඛ තැනක් ගනී.

අභියෝගය ජය ගැනීමට නම් තවදුරටත් කාබනික ආහාර, අධික මිල සහිත සුඛෝපභෝගී ආහාරයක් නොවිය යුතුය. එනම් වෙළෙඳ පොළේ වස විස නැති ආහාර ද වස විස ඇති ආහාරවල මිලටම ලබාගැනීමට පාරිභෝගිකයාට හැකිවිය යුතුය. එබැවින් වත්මන් රජයේ ශීර්ෂ පාඨය බවට පත්වී ඇත්තේ “අඩු මිලට වැඩි පෝෂ්‍ය ගුණ” යන්නයි. එවිට සමස්තයක් ලෙස රට, වසවිස නැති සහලින් පෝෂිත කිරීමට හැකි වේ. ගොවියාට දැනට ගොවිතැනෙන් ලැබෙන ලාභයම වස විස නැති ගොවිතැන හරහා ලබාගැනීමට හැකිවේ. එමෙන්ම දැනට පවතින මිලටම සහල් වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට හැකිවන බැවින් අඩු ආදායම්ලාභී පාරිභෝගික ජනතාවටද කිසිදු අපහසුතාවයකින් තොරව ආහාර මිලදී ගැනීමට හැකි වේ. වස විසවලින් තොර වී ගොවිතැනේදී දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස දැනට ගොවීන් භාවිතා කරන වැඩි දියුණු කළ ප්‍රභේද වෙනුවට පාරම්පරික වී ප්‍රභේද ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව මුළු භූමි ප්‍රමාණයෙන් 30% ප්‍රමාණයකට පාරම්පරික වී ප්‍රභේද වසර 03ක් ඇතුළත හඳුන්වාදීමට ඉලක්ක කෙරේ.

එමෙන්ම වැඩි දියුණු කළ වී ප්‍රභේද භාවිතයේ දී ද රසායනික පොහොර සහ පලිබෝධ නාශක වෙනුවට ජෛව විද්‍යාත්මක හා යාන්ත්‍රික ක්‍රම භාවිත කිරීමට කටයුතු කෙරේ. එහිදී ක්‍රමානුකූලව වසර 03ක් ඇතුළත රසායනික ක්‍රම භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කෙරේ.

2002 ‍‍කෙරුනු සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වී ගොවිතැනට ‍යොදාගන්නා සමස්ත භූමි ප්‍රමාණයෙන් 83.7% කම එනම් හෙක්ටයාර් 646,738 කම වල් මර්දනය සඳහා වස විස සහිත වල්නාශක භාවිත කර ඇත. එමෙන්ම කෘමි හානි වැළැක්වීම සඳහා වී වගා බිම්වලින් 71.9% කම එනම් හෙක්ටයාර් 555,308 කට වස විස සහිත කෘමිනාශක භාවිත කෙරේ.

එම නිසා වස විසවලින් තොර ගොවිතැන කරා යන අභියෝගාත්මක ගමනේදී පලිබෝධ පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙයි. එය අදියර කිහිපයකින් සිදුකෙරේ. එහිදී පළමුව වගවිභාගයකින් තොරව සිදුකරන රසායනික පලිබෝධ නාශක ක්‍රම විධිමත් කෙරේ. ඒ සඳහා ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදයන් ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරේ. දෙවනුව ක්‍රමානුකූලව ගොවි බිම යථා තත්ත්වයට ගෙන සම්පූර්ණයෙන් වස විස නැති පලිබෝධ මර්දන ක්‍රම දක්වා යොමුවීමට අපේක්ෂිතය.

මේ සඳහා අතීත දැනුම් සම්භාරයත්, වර්තමානයේ වැඩි දියුණු කරන ලද පරිසර හිතකාමී පළිබෝධ පාලන උපක්‍රමත්, වල් මර්දනය සඳහා සරළ තාක්ෂණික ක්‍රම, රසායනික කෘමිනාශක වෙනුවට පරිසර හිතකාමී කෘමි විකර්ශක ආදිය හඳුන්වාදීම අවශ්‍ය වේ. තවද වස විස නැති වී ගොවිතැනේ දිගුකාලීන උපායමාර්ගයක් වශයෙන් දැනට ගොවීන් භාවිතා කරන වැඩිදියුණු කළ වී ප්‍රභේද වෙනුවට රෝග, කෘමිහානිවලට ඉතා හොඳින් ඔරොත්තු දෙන පාරම්පරික වී ප්‍රභේද ප්‍රචලිත කිරීමට අ‍ෙප්ක්ෂා කෙරේ.

* වස විස නැති පොහොර

දැනට තිරසාර ගොවිතැනට මුහුණදීමට සිදුව ඇති ප්‍රධානම අභියෝගය නම් රසායනික ගොවිතැන සඳහා පමණක් වාර්ෂිකව ලබාදෙන රුපියල් බිලියන 35ක පමණ වූ සහනාධාර මුදලයි. 2014/2015 මහ කන්නයේ දත්තවලට අනුව වී වගා කළ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 772,626ක් වන අතර එයින් 63.7%ක් රසායනික පොහොර පමණක් භාවිතා කර වගා කර ඇති අතර 35.3% ක් රසායනික සහ ස්වභාවික පොහොර යන දෙකම භාවිතා කර වගා කර ඇත.

ස්වභාවික ගොවිතැන සඳහා යොමු නොවී රසායනික පොහොර භාවිතයට යොමුවීම සඳහා ගොවියාට අනුබලයක් ලැබුණු ප්‍රධාන කරුණක් වූයේ රසායනික පොහොර සඳහා පමණක් ලබාදුන් සහනාධාරයයි. එම සහනාධාරය රසායනික ගොවිතැන ක්‍රම අතර සාධාරණ තරගයකට ඉඩ ලැබී ඇත. එම නිසා මෙම වැඩපිළිවෙළ යටතේ 2016/17 යල කන්නයේ සිට සහනාධාරය ලබාදෙන්නේ රසායනික පොහොරවලට නොව ගොවිතැනේ සැබවින්ම නිරත ගොවියාටය. එමගින් තමන් යෙදෙන්නේ කවර ගොවිතැන් ක්‍රමයට දැයි තීරණය කිරීමේ අයිතිය ගොවියාට හිමි වේ. තවද විස විස නැති තිරසාර ගොවිතැනට ගොවියා මාරුවීමෙන් පසු යෙදවුම් සඳහා යන වියදම අඩුවන අතර ගොවි බිමෙන් ගොවියාට ලැබෙන අස්වැන්න ද ඉහළ යන බැවින් ගොවිතැන සඳහා අනාගතයේදී විශේෂ සහනාධාරයක් අවශ්‍ය නොවනු ඇත. ගොවිබිමට පොහොර පදාර්ථ අවශ්‍ය වන්නේ එහි පෝෂ්‍ය පදාර්ථ හීනවන නිසාය. ගොවිබිමේ තිබෙන පෝෂ්‍ය පදාර්ථ ගොවි බිමෙන් ඉවත්වීමට ප්‍රධානම හේතුව වන්නේ පාංශු ඛාදනයයි. පාංශු සංරක්ෂණය ගොවිබිම සරුකර ගැනීමේ පළමු පියවරයි. සියලුම ගොවීන්ට තම ‍ෙගාවි බිමේ ඇති පෝෂ්‍ය පදාර්ථ උපරිම ලෙස රැකගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයීම ප්‍රමුඛම කාර්යභාරය ලෙස රජය විසින් සලකනු ලැබේ. මේ සියල්ලෙහි අපේක්ෂාව හරිතවත් ශ්‍රී ලංකාවක් අනාගත පරපුරට දායාද කිරීමයි. එමෙන්ම නිරෝගීමත් ජනතාවක් ලෙස ශ්‍රී ලාංකික දරු පරපුර නඟාසිටුවීමයි. එබැවින් සියලු දෙනා මෙම ජාතික වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳ ගනු ඇතැයි රජය අපේක්ෂා කරයි.


නව අදහස දක්වන්න