කාන්තා විමුක්ති සංක­ල්පයේ නිර්මාතෘ මේරි රත්නම්ද? | දිනමිණ

කාන්තා විමුක්ති සංක­ල්පයේ නිර්මාතෘ මේරි රත්නම්ද?

පිලිපීනයේ මැග්සයිසේ සම්මානය මේ වනවිට ශ්‍රී ලාංකිකයන් අට දෙනකු හිමිකර ගෙන තිබෙනවා. ඔවුන් නම් මේරි රත්නම්, ටාසි විට්ටච්චි, ආචාර්ය ඒ.ටී.ආරියරත්න, එල්.ටී.පී. මංජු ශ්‍රී, ෆර්නැන්ඩස් හර්මන් ජිල් ජෝශප් සහෝදර තුමා, මර්සලින් ජයකොඩි පියතුමා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා ආචාර්ය ඩබ්ලිව්.ඩී.අමරදේව.

මා නිවැරැදි නම් මැග්සයිසේ සම්මානය පිරිනැමීම ආරම්භ වුණේ 1958 දී. එහි මුල්ම සම්මානය දොස්තර මේරි රත්නම් මහත්මියට හිමිවීම සුවිශේෂත්වයක්. ඇය ශ්‍රී ලාංකික වුණත් කැනේඩියානු කාන්තාවක් බව කිවයුතු වෙනවා.

මේරි රත්නම් යනු කවුරුන්ද? ඇයට මෙබඳු ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් හිමිවන්ට තරම් ඇය අපේ රටේ කළ සේවය කුමක්ද? මෙය මගේ විමසුමට හසුවූ කාරණයක්.

රත්නම් දොස්තර මහත්මිය පිළිබඳ ලිපි ගොනුවක් අප ආයතන පුස්තකාලය සතුව තිබෙනවා. ඒ වගේම කුමාරි ජයවර්ධන මහත්මිය ලියූ එක්තරා පොත් පිංචක්ද මට කියවන්ට ලැබුණා. ‘දොස්තර මේරි රත්නම් - ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් සඳහා පුරෝගාමි වූ කැනේඩියානු කාන්තාවක්’ යනුවෙන් එය නම්කර තිබෙනවා. පොත පළකර ඇත්තේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය.

ඉහත පොතේ දැක්වෙන පරිදි මේරි රත්නම් යනු සමාජ ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය අධ්‍යාපනය, පවුල් සංවිධානය හා කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් උදෙසා කටයුතු කළ ජාතික මට්ටමේ නායිකාවක්.

මේරි හෙලන් අර්වින් කැනඩාවේ සිට ලංකාවට ආවේ 1896 දී. ඇය දෙමළ ජාතික එස්.සී.කේ.රත්නම් සමග විවාහ වීමත් සමග මේරි රත්නම් බවට පත්වුණා.

දොස්තර මේරි රත්නම් කැනඩාවේ සිටියදී පවා නොයෙක් සමාජ සේවා ව්‍යාපාරවල නිරතව සිටි බව කියැවෙනවා. ඇය එරට දිළිඳු ජනයා අතර අමද්‍යප, ආගමික හා සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවල වැඩකටයුතු කිරීම මගින් පොදු ජන උද්ඝෝෂණ පිළිබඳ අත්දැකීම් ලද බව කුමාරි ජයවර්ධන සඳහන් කර තිබෙනවා.

කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳ මනා වැටහීමක් දොස්තර මේරි රත්නම්ට තිබුණා. ඇය කුල භේදයටත් දෑවැදි ක්‍රමයටත් දැඩි විරෝධය දැක්වූවා. දෑවැද්ද නීති විරෝධි කළ යුතු බවයි ඇය කියා ඇත්තේ.

මේරි රත්නම් මෙරට ලිංගික අධ්‍යාපනයේ පුරෝගාමි දොස්තරවරියක්. ඇය විශේෂයෙන් උපත් පාලන ක්‍රම පිළිබඳ රෝගීන් දැනුවත් කර තිබෙනවා. මෙහිදී ඇයට ලැබී ඇත්තේ ප්‍රශංසා වෙනුවට චෝදනා බව ‘ඩේලි මිරර්’ හි පළවූ ලිපියක සඳහන්ව තිබෙනු මා දුටුවා.

ශ්‍රී ලංකා කාන්තා අරගලවල පුරෝගාමියා වශයෙන් අවුරුදු අනූවකට උඩදී කාන්තා අයිතිවාසිකම් ගැන සාකච්ඡාවට මඟ පෑදූ හා ආභාසය සැපයූ තැනැත්තිය වශයෙන් ඇයට ගරු කළ යුතු බව කුමාරි ජයවර්ධන පූර්වෝක්ත ‍පොත් පිංචේ කියා සිටි‍නවා.

දොස්තර මේරි රත්නම් අමද්‍යප ව්‍යාපාරයේ මූලිකයන් අතර කෙනකු ලෙසද හඳුන්වා දෙන්ට පුළුවන්. පිරිමින්ගේ බේබදුකමින් ස්ත්‍රීන්ට හා දරුවන්ට ඉන් වන විනාශකාරී ඵලවිපාක ගැන ඇය සමාජය දැනුවත් කරවන්ට උත්සුක වුණා. විශේෂයෙන් අමද්‍යප රැස්වීම්වලදී ඇය කතා පවත්වා මේ ගැන ජන අවධානයක් පෘථුල ලෙස යොමු කළා.

1934 – 35 කාල පරිච්ඡේදයේදී මෙරට පැතිර ගිය මැලේරියා වසංගතයේදී රත්නම් දොස්තර මහත්මිය රෝගීන්ට පිහිටවීම සඳහා දැක්වූ දායකත්වය අති ප්‍රශංසනීයයි. ඇය ආහාර හා බෙහෙත් වර්ග ලබාදෙමින් සහනාධාර කටයුතුවල නිරත වුණා. මැලේරියා රෝගීන්ට බෙහෙත් පමණක් නොව පෝෂ්‍යදායි ආහාර ද ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇත්තේ දොස්තර මහත්මියයි. පරිප්පු, මාමයිට් එහිදී බෙදාදුන් අතර ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාට ‘පරිප්පු මහත්තයා’ යන නමපටබැඳුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේරි රත්නම් මහත්මියගේ පුත් රොබින් රත්නම්, සූරියමල් ව්‍යාපාරයේ සාමාජිකයකු වූ බවට මෙහිලා සඳහන් කළ යුතු තවත් කරුණක්.

දොස්තර මේරි රත්නම් දේශපාලනයටද සම්බන්ධ වුණා. ඇය 1937 දී බම්බලපිටිය නගර සභා ආසනයට තරගකර එහි ප්‍රථම මන්ත්‍රීවරිය වුණා.

අවුරුදු 89ක් ජීවත් වූ රත්නම් දොස්තර මහත්මිය 1962 මැයි 15 වැනි දින මිය ගියා. ඇය ගැන අනුස්මරණ ලිපි ලියූ පුවත්පත් ඇය විදෙස් රටවලින් මෙරටට පැමිණ නොයෙක් ක්ෂේත්‍රවල පුරෝගාමි කාර්ය භාරයක් ඉටුකළ මේරි පොස්ටර්, මියුසියස් හිගින්ස්, ඇනී බෙසන්ට් වැනි කාන්තාවන් සමඟ සංසන්දනය කළා.

අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මහත්මිය දොස්තර මේරි රත්නම් ගැන සඳහන් කරමින් කියා ඇත්තේ “ ඇගේ ජීවිතය වූ කලී බොහෝ කලක් යනතුරුම සමාජ සේවකයන්ගේ ප්‍රයත්නවලට ආභාසය හා ආලෝකය සපයන ආත්ම පරිත්‍යාගය හා කැපවීම පිළිබඳ අනගි නිදසුනක් වනු ඇති” බවයි.

සුනිල් මිහිඳුකුල

[email protected]


නව අදහස දක්වන්න