ලෝක විනා­ශය | දිනමිණ

ලෝක විනා­ශය

දෙමලිච්චෝ අතොරක් නැතිව නද දෙන්නේ මුළු මිදුලත් වත්ත පිටියත් තනි භුක්තියට පවරා ගත්තාක් මෙනි. එපමණක් ද? වහල උඩ පවා දුව පනිමින් ඒ කඩිසර කුඩා කුරුල්ලෝ ප්‍රාණවත්ව නැඟී හිඳිමින් දවස ඉතා වේගයෙන් ගෙවී යන බව ද දවසේ උපරිම ඵලය භුක්ති විඳින ලෙස ද නොකියා කින්නාක් බඳු ය.

“ඇහෙනවද දෙමලිච්චන්ගෙ සද්දේ?”

මම කුසීතව යහන වැළඳ වැතිර ඉන්නා දරුවකුගෙන් අසමි.

“ඇහෙනවා නේන්නම්. කන් දෙකත් එක්ක රිදෙනවා. මොකට ඔච්චර හයියෙන් කෑ ගහනවද මන්දා. අපි බීරියි කියල ද දන්නෑ ඒ ගොල්ලො හිතා ඉන්නෙ..”

කොල්ලා ආඩපාලි කියයි.

“පේනවද ඒ ගොල්ලන්ගෙ දඩි බිඩිය... කම්මැලිකමක් ගෑවිලාවත් තියෙනවද...?”

ඔහු හිස ඔසවා මගේ දෑස ඩැහැගන්නට තතනයි.

“දැං මොකක්ද අම්මා ඔය වහෙන් ඔරෝ කියන්න හදන්නේ?”

“මම කියන්නේ නැඟිටලා මිදුලට යන්න කියලා. මම විතරක් නෙමේ අර කට්ටිය කියන්නෙත් ඒකම තමා...”

“නිදිමතයි අම්මා...”යි නහයෙන් හඬමින් ඔහු මුනින් හැරුණේ ය.

“මේක පුදුම නිදිමතක්නෙ... අනේ ළමයො අපට ජීවත් වෙන්න තියෙන්නෙ බොහොම පුංචි කාලයක්. ඒ ටික කාලෙනුත් බාගයක් විතරම නිදාගෙන හරි යනවද?”

මම ඔහු වෙත නැඹුරුව දෙවුර සොලවාලමි.

“අම්මත් දෙමලිච්චියක් වගේ කියවනවා. අනේ යන්න අම්මා මට නිදාගන්න දීලා...”

“බෑ බෑ... ඔයා නැඟිටලා මිදුලට යන්නම ඕන....”

“මිදුලට ගිහිං මම මොකද කරන්නෙ?”

ඔහු කෝපයෙන් අසයි.

“මුකුත් කරන්න එපා. චුට්ටක් බලං ඉන්න.... අහන් ඉන්න... කුරා කූඹියෝ හිටං හෝ ගාලා වැඩ. අඩු තරමින් පනුවෙක්වත් කම්මැලිකමේ ගුලිවෙලා ඉන්නවද බලන්න....”

මම පොරෝනය ඉවතට ඇද පසෙකට විසි කරමි.

“අයියෝ මොකක්ද අම්මා.... අම්මා හැමදාම ඔය කූඹියොයි පනුවොයි එක්ක මොනා කරනවද මංදා... අපි ඇවිල්ලා යංග් ජෙනරේෂන් එක. අපිට ඔය පුංචි පුංචි සත්තුන්ගෙන් වැඩක් නෑ...”

“ඇයි වැඩක් නැත්තේ? කිසිම සතෙක් වැඩක් නෑ කියලා පැත්තකට දාන්න බෑ. කැරපොත්තා පවා ඉන්න ඕන. ආහාර දාමය ගැන අහල ඇතිනෙ. ආහාර දාමය බිඳ වැටුණොත් මොකද වෙන්නෙ? සමතුලිත බව නැතිවෙනවා පරිසරයේ ජීවයේ... ඔයා මේක නොදැන ඉන්න විදියක් නෑනෙ....”

ඔහු උඩුකය කෙළින් කළේ ය.

“මට මොකද අම්මා ඕක බිඳ වැටුණහම...? අනේ මට ටිකක් නිදාගන්න දෙන්න...” ඔහු ආයාචනා කළේ ය.

“ඒක බිඳ වැටුණහම ලෝකයක් ඉතිරි වෙයිද මනුස්සයෝ....? අනිත් එක මිනිහා කියන්නෙත් සතෙක්. ආඩම්බරකම පැත්තක දාලා අනෙක් පුංචි පුංචි සත්තු ගැනත් හිතන්න ඕන... ටිකක් හොයලා බලන්න ඕන.‍”

“හොයලා බලනවා නේන්නම්. මිනිස්සු කොච්චර සත්තු මරනවද....? ගහ කොළ විනාශ කරනවද....? කොහොමටත් මේ යන විදියට මේ ලෝකේ තව වැඩි කාලයක් පවතින්නෙ නෑ අම්මා....”

මම බියෙන් ද ශෝකයෙන් ද ඇළලී ගියෙමි. මේ ඉලංදාරියා කියන කතාව ඇත්ත ය. ඉවක් බවක් නැතිව පරිසරය වනසා දමන උඩඟු, අනුවණ මිනිසා මේ රමණීය පෘථිවියේ විනාශය ගෙන එන බව සිතීමෙන් පවා හද දැවේ.

“මිනිස්සු අනෙක් සත්තු විතරක් නෙමේ මිනිස්සුන්වත් කොච්චර මරණවද අම්මා....”

ඔව්! තිරිසන් සතකු තව සතකු මරා දමන්නේ ආහාරය පිණිස පමණි. එහෙත් බුද්ධියෙන් ඉහළ මිනිසා තමාගේ වර්ගයා විනාශ කර දමන්නේ අතිශයින් නොවැදගත් හා අසාධාරණ හේතු මත ය.

“පේනවනේ අයි එස් අයි එස් කාරයෝ මිනිස්සුන්ගේ බෙලි කපවන හැටි....”

මද්දු ත්‍රස්තවාදී කණ්ඩායමක් සිහිපත් කරන්නේ කිසිවක් ගිල දමමිනි.

“අනේ මේ තරම් ලස්සන ලෝකෙක ඇයි අපට සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න බැරි?”

මම අපමණ සංවේගයෙන් ප්‍රශ්න කරමි.

“ගෙදරකවත් සතුට සාමය ආදරය නැතිව ගමක රටක ලෝකෙක ඒ දේ තියෙන්නෙ කොහොම ද අම්මා...”යි කී පොඩි පුතා යළි ඇඳේ වැතිරුණේ ය.

“බෑ... බෑ.... ආයෙ නිදා ගන්න බෑ.... නැඟිටින්න නැඟිටින්න.”

මම ඔහු නැඟිටුවාලන්නට වෑයම් කළෙමි.

“ලෝක විනාශෙට කලින් මට චුට්ටක් නිදා ගන්න දෙන්න අම්මා...”යි බැගෑබර හඬින් කී ඔහු පොරෝනයෙන් සියොළඟ වසා ගත්තේ ය.

ශාන්ති දිසානායක

[email protected]

නව අදහස දක්වන්න