නෙස්ලේ නවතම කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරයි | දිනමිණ

නෙස්ලේ නවතම කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරයි

 නෙස්ලේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තම නැවුම් කිරි මිලදී ගන්නා සමාගමයි. 20,000ක් පමණ දේශීය කිරි ගොවීන් ප්‍රමාණයකගෙන් නෙස්ප්‍රේ, මයිලෝ සහ මිල්ක්මේඩ් වැනි නිෂ්පාදන සඳහා අවශ්‍ය නැවුම් කිරි මිලදී ගන්නා නෙස්ලේ සමාගම ඒ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3.6ක් පමණ වැය කරයි.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවමත් වර්ධනීය තලයකට පැමිණ නොමැති නිසා දේශීය කිරි ගොවීන් නිපදවන කිරි මෙරට වෙළෙඳපොලේ ඉල්ලුමට ප්‍රමාණවත් නොවේ. මේ තත්ත්වයෙහි සංවර්ධනයක් ඇතිකරවීම සඳහා නෙස්ලේ සමාගම 1980 දශකයේ ආරම්භයේ සිටම දේශීය ආයතන සහ බලධාරීන් සමග එක්ව කටයුතු කරයි.

නෙස්ලේ සමාගමේ අපේක්ෂාව වන්නේ කිරිවල ගුණාත්මකභාවය මෙන්ම සැපයුම ඉහළ නැංවීම පමණක් නොව දේශීය කිරි ගොවීන්ට තිරසාර ජීවනෝපාය මාර්ගයක්ද ලබාදීමටයි.

පෝෂණය ලබාදීම සහ පැටවුන් බෝ කිරීම, සතුන්ගේ සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගැනීම සහ ගොවිපොළ කළමනාකරණය වැනි පුළුල් පරාසයක පැතිරුණු තාක්ෂණික සහ ගුණාත්මක භාවිතාවන් සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට නෙස්ලේ සමාගම විසින් ක්‍රමානුකූල පුහුණු සහ සංවර්ධන වැඩසටහන් පවත්වනු ලබයි. වැඩි කිරි ප්‍රමාණයක් දොවාගත හැකි දෙනුන් බෝ කර ගැනීම සඳහා කෘතී‍්‍රම සිංචනය පිළිබඳ දැනුම ලබා දීමට අමතරව වැදගත් උපකරණ සහ ඖෂධ ලබා දීම සහ ගොවිපොල වැඩි දියුණු කරගැනීම සඳහා මූල්‍ය උපදේශනය ලබා දීමද නෙස්ලේ සමාගම විසින් සිදුකරයි.

මේ වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කිරි ගවයින්ගෙන් 22%ක් සිටින උතුරු පළාත තුළ කිරි මිලදී ගැනීමේ ජාලය පුළුල් කිරීමට සහ එම කලාපයේ කිරි කර්මාන්තය සංවර්ධනය සඳහා නෙස්ලේ සමාගම සැලසුම්කර තිබේ.

නෙස්ලේ සමාගම විසින් උතුරු පළාතේ වඩ්ඩකච්චි නගරයේ නවතම කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීම නිසා ප්‍රදේශයේ කිරි ගොවීන්ට තම නැවුම් කිරි සෙල්ෂියස් අංශක 04 උෂ්ණත්වයෙහි තබා ගැනීමට හැකියාව ලැබේ. මීට පෙර නැවුම් කිරි ගබඩා කිරීම සඳහා ප්‍රදේශයෙහි ප්‍රමාණවත් පහසුකම් නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කිරිවල ප්‍රමිතිය අඩුවීම සහ කිරි අපතේ යාම සිදුවිය.

නව අදහස දක්වන්න