සීමා නිර්ණයන් අවසන් වනතුරු ඡන්දයක් නෑ | දිනමිණ

සීමා නිර්ණයන් අවසන් වනතුරු ඡන්දයක් නෑ

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න
ඉෂාරා සිල්වා

සීමා නිර්ණය පිළිබඳ අවසන් තීරණයකට එළ‍ඹෙන ‍තෙක් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වී‍මේ කිසිඳු ‍නෛතික හැකියාවක් ‍නොමැති බවත් සීමා නිර්ණය කිරීම පිළිබඳ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ 23/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-

ජනතා නි‍යෝජනයක් සහතික කිරී‍මට ‍නොහැකි ‍කොට්ඨාශ සීමා නිර්ණයක් තුළ මැතිවරණයක් පැවැත්වීම යහපාලන රජ‍යේ ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ද පටහැනි බවද අගමැතිවරයා අවධාරණය කෙළේය.

රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අප ආණ්ඩුව ලද ජනවරම තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින අතර එම ස්ථාවර‍යේ කිසිඳු ‍වෙනසක් සිදු වී ‍නොමැත. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ ‍නොපැවැත්වීමට ‍හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු වුවමනාවක් ආණ්ඩුවට ‍නොමැත. එ‍සේම පළාත් පාලන ආයතනයන්හි නි‍යෝජනය වැඩි කරමින් සියයට 25ක කාන්තා නි‍යෝජනයක් සහතික කර පළාත් පාලන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු පියවර රජය විසින් ගන්නවා.

‍කොට්ඨාශ සීමා නිර්ණය කිරී‍මේ ජාතික කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය කිරී‍මේ වාර්තාව පළාත් පාලන ආයතන ඡන්ද විමසී‍මේ ආඥා පන‍තේ 3 ඇ වගන්තිය යට‍තේ අංක 1928/26 හා 2015 අ‍ගෝස්තු 21 දා ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ති‍බෙනවා. ‍මේ සීමා නිර්ණය කිරී‍මේ කමිටුව විසින් කරනු ලැබූ කටයුතු සම්බන්ධ‍යෙන් දැවැන්ත මහජන වි‍රෝධයක් එල්ල වූ අතර එමඟින් ජාතික සංහිඳියාව බිඳවැ‍ටෙන බවට ද ‍චෝදනා එල්ල විය.

ඒ අනුව ‍කොට්ඨාශ සීමා නිර්ණය කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති අභියාචනා විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පළාත් පාලන ඡන්ද විමසී‍මේ ආඥා පන‍තේ 3 ඇ වගන්තිය යට‍තේ පළාත් පාලන ආයතන ‍කොට්ඨාශ සීමා නිර්ණය විමර්ශන කමිටුවක් පත් කරන ලදී. පාර්ලි‍මේන්තු‍වේ ප්‍රධාන ‍දේශපාලන පක්ෂ නි‍යෝජනය වන පරිදි එම කමිටුව පත්කරනු ලැබූ අතර එයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සඳහා නිලධාරී කමිටුවක් ද පත්කරන ලදී. එම කමිටුව ‍‍මේ සම්බන්ධ‍යෙන් උනන්දුවක් දක්වන ‍‍දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා මහජනතාව ‍වෙත සිය නි‍යෝජනය ඉදිරිපත් කිරීම සඳහා 2015 වස‍රේ ‍නොවැම්බර් මස 30 දා දක්වා මාසයක් කල් ලබා‍දෙන ලදී.

එ‍හෙත් ‍‍මෙ‍ලෙස ලබා‍දෙන ලද කාලය මසක් ප්‍රමාණවත් ‍නොවන බව ඇමැතිවරයා විමර්ශන කමිටුව තීරණය කරනු ලැබූ අතර ඒ අනුව කාලය තවත් මසකින් දීර්ඝ කරන ලදී. එ‍හෙත් ඊට පසුද තවදුරටත් පැමිණිලි හා ‍යෝජනා ලැ‍‍බෙමින් පැවැති බැවින් පසුගිය ‍පෙබරවාරි මස 20 වැනි දා පැමිණිලි හා ‍යෝජනා බාරගැනීම අවසන් බවට නි‍වේදනය නිකුත් කරන ලදී. එ‍හෙත් එම දි‍නෙන් පසුව ද තවදුරටත් පැමිණිලි හා‍ යෝජනා ලැ‍බෙමින් පවතී. ‍මේ ‍හේතු‍වෙන් සීමා නිර්ණය පිළිබඳ පැමිණිලි හා ‍යෝජනා විමර්ශනය කිරී‍මේ කාර්යය අ‍පේක්ෂිත තත්ත්වයට වඩා සංකීර්ණ තත්ත්වයට පත්ව ති‍බේ. ‍

මේ අභියාචනා‍ සළකා බැලී‍මේ ක්‍රියාවලිය තුළින් ‍කොට්ඨාශ සීමා මායිම් නැවත සළකා බැලී‍මෙන් අනතුරුව සීමා නිර්ණය කිරීම පිළිබඳ අවසන් තීරණයට එළඹිය යුතුව ඇති අතර ‍මේ කමිටු‍වේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇත. ඒ ආකාරයට සීමා නිර්ණය පිළිබඳ අවසන් තීරණයකට එළ‍ඹෙන ‍තෙක් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වී‍මේ කිසිඳු ‍නෛතික හැකියාවක් ‍නොමැති බවත් ජනතා නි‍යෝජනයක් සහතික කිරී‍මට ‍නොහැකි ‍කොට්ඨාශ සීමා නිර්ණයක් තුළ මැතිවරණයක් පැවැත්වීම යහපාලනආණ්ඩුව ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ද පටහැනි බව අවධාරණය කරමි. එ‍සේ දැනට පළාත් පාලන ආයතනවල පරිපාලනය බිදවැටී ඇති බවට විවිධ පාර්ශව විසින් සිදුකරන ප්‍රකාශ තර‍යේ ප්‍රතික්‍ෂේප කරනවා. ආණ්ඩුව සීමා‍ නිර්ණය කිරී‍මේ කටයුතු ප්‍රමාද කරන බවට ද එල්ලවන ‍චෝදනා තර‍යේ ප්‍රතික්‍ෂේප කරනවා. ඡන්දය තියන්න වුවමනාවක් තිබෙනවා.ගැටලුවක් තියෙනවා නම් මහ ඇමැතිවරුන්ට කියන්න.සන්ධානය රැස්වෙන වෙලාවක ජනාධිපතිතුමාට කියන්න මහඇමැතිවරු වැඩකරන්නේ නැත්නම්.පළාත් පාලන මැතිවරණයක් ගැන අපිට විශාල කැක්කුමක් තිබෙනවා.ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.

නැඟෙනහිර සාම්පූර්වල සභිකයන් 10කට ඡන්ද 42519ක් තිබෙනවා. එක් සභිකයෙකුට ඡන්ද 4251ක් අවශ්‍යයි. දෙහිඅත්ත කණ්ඩිය සභිකයන් 21 ඡන්ද 45831ක් ඡන්ද 2161ක් අවශ්‍යයි.කොළඹ හැමතැනම බහු ආසන දාලා.මේ සීමා නීර්ණය කළ නිලධාරීන් හොයලා, පරීක්ෂණයක් තියලා, ඒ අයගෙන් ගාස්තුව අයකරගන්න.මැතිවරණයට එන්නෙ කොයි පක්ෂයෙන්ද, අලුත් පක්ෂයක් ද?සන්ධානයෙන් එනවද? අපට ප්‍රශ්නයක් නෑ. එජාපය සීමා නීර්ණය කර තිබෙනවා.ඒක සංශෝධනය දාලා කරමු. හොඳම සීමා නීර්ණය එක්සත් ජාතික පක්ෂයේ එකයි.සංශෝධන 44ක් තිබෙනවා.

නව අදහස දක්වන්න