කන්නන්ගර ශ්‍රී නාමය නිති සිහිකරන විදුපියස | දිනමිණ

කන්නන්ගර ශ්‍රී නාමය නිති සිහිකරන විදුපියස

විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය.

78 මාර්තු මස 14 වන දින මහත් හරසරින් යුතුව මේ පුණ්‍ය භූමියේ රෝපණය කරන ලද ඒ කුඩා පැළය දහසක් දුක් කරදර මැද හැදී වැඩී අද දැවැන්ත වෘක්ෂයක් බවට පත්ව ඇත. අප දරුවෝ දැන් ඉමහත් භක්තියෙන් ආදරයෙන් එහි මදුර වූ ඵල භුක්ති විඳිති. මීට දශක දෙකහමාරකට ප්‍රථමයෙන් එවකට ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි එම්. එච්. මොහොමඩ් මහතාගේ අනුග්‍රහයෙන් හිටපු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් ආරම්භ කරන ලද මේ විද්‍යාලය වර්තමානයේ ලබා ඇති ප්‍රගතිය අතිශයින්ම ප්‍රශංසා කළ යුතුය. එය කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් අතර අග්‍රගණයේ විදුහලක් බවට පත්ව ඇති බව නොරහසකි.

අපට නිදහස් අධ්‍යාපනයේ ආලෝකය ලබා දුන් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිදුන්ගේ ශ්‍රී නාමයෙන් අරඹන ලද මේ පින්කෙතෙහි විදුඑළිය ලබාගත් දරුවන්ගේ සංඛ්‍යාව මුල් අවස්ථාවේදී තිස්දෙනෙකුට පමණ සීමා විය. පන්ති කාමරද 3කට සීමා විය. මේ දරුවන්ට සිප් සතර ලබාදීමට සිටියේ ගුරු මාතාවන් තිදෙනකු පමණි. අද එම පූජනීය භූමිය සුවිශාල ගොඩනැගිලි කිහිපයකින් සමන්විතය. දූ දරුවන් වෙනුවෙන් ඇප කැප වෙන ඇඳුරු මඩුල්ල 54කි. විදුහල් මාතාවගේ සෙවණෙහි හැදෙමින් වැඩෙමින් නැණ නුවන පාදගන්නා දූ දරුවන්ගේ සංඛ්‍යාව දෙදහසට ආසන්නය.

මේ විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වූයේ ආර්. ඒ. ඩී. සී. නානායක්කාර මහත්මියයි. කලක් වෙළෙඳ පොළක් වශයෙන් පරිහරණය කරන ලද මේ පාසල් භූමිය වර්ෂා කාලය තුළදී එකම මඩ වගුරක් බවට පත්විය. සිසු දරුවන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ දහසකුත් එකක් දුක් කරදර මධ්‍යයේය. විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය හා දෙමාපියන් මේ සියලුම බාධක හා දුෂ්කරතාවලට මුහුණ දුන්නේ දැඩි ආත්ම ශක්තියෙන් යුක්තවය. අනතුරුව මේ විදුහලට පැමිණි දෙවැනි විදුහල්පතිනිය වූයේ එස්. එස්. කේ. ආරියවංශ මැතිනියයි. එතුමියගේ කාල වකවානුවේදීද මේ විදුහලේ තරමක ප්‍රගතියක් දැකිය හැකි විය.

1988 මෙම විද්‍යාලයට ජී. පී. ජී. ජී. තිරිමාවිතාන මහත්මිය එහි දියුණුවට විශාල මෙහෙවරක් කළාය. මේ කාල පරිච්ජේදයේදී විදුහල් මාතාව භෞතික සම්පත් අතින්ද පෝෂණය වූවාය. විදුහල්පතිනියගේ කැපවීම මත නව තෙමහල් ගොඩනැගිල්ලක්ද පුස්තකාලයක්ද පාසලට ලැබුණු අතර පාසල වටා තාප්පයක්ද ඉදිකරන ලදී.

1998 මෛත්‍රීපාල සිල්වා මැතිතුමා විදුහල්පති වශයෙන් මේ විද්‍යාලයට පා තැබීමෙන් අනතුරුව එහි නව යුගයක් උදාවිය. විදුහලේ දරු දැරියන්ගේ උන්නතියට තම කාලය, ශ්‍රමය වැය කරමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කළ මෙතුමා 21 සියවසට උචිත ආකාරයෙන් අධ්‍යාපනය තුළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට අපමණ වෙහෙස වූයේය.

මේ යුගයේදී පාසල තුළ සියලුම ක්ෂේත්‍රවල සුවිශේෂ උසස් පෙළ වාණිජ විෂය ධාරාව හා විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම, පාසල තුළ ක්‍රීඩා හා සමිති සමාගම් 50කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම හා බහුකාර්ය ගොඩනැගිල්ල ක්‍රියාකාරකම් ගොඩනැගිල්ල, උසස් පෙළ විද්‍යා ගණිත අංශය ඇතුළත් තෙමහල් ගොඩනැගිල්ල, ජනමාධ්‍ය ඒකකය වැනි භෞතික සම්පත් පාසලට එක්කර ගැනීමට එතුමා සමත්විය.

එතුමාගෙන් පසු පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ ඩබ්. නිගමුනි මහතාගෙන් පසුව විදුහල්පති ධුරයේ කටයුතු භාරගත්තේ එස්. වී. කාරියවසම් මහතායි. එතුමාගේ විදුහල්පති කාලසීමාව තුළදී පාසලේ අවශ්‍යතාවයක් වූ බුදුමැදුර සකස් කර සිසු අයිතියට පැවරීම, නව පිවිසුම් දොරටුව හා ක්‍රීඩාගාරය සකස් කිරීම සිදුවිය.

2015 ජූලි 03 වන දින කන්නන්ගර මාතාවගේ තුන්වන දරු පරපුරේ පුරුකක් වූ සුමේධ සංජීව වනිගසේකර මහතා විදුහල්පති සම්මුඛ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලබා විදුහල්පති ලෙස පාසලට පත්විය. එතුමාගේ ආගමනයත් සමඟ දෙමාපියන් හා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වය වර්ධනය වූ අතර පාසලනව මඟකට යොමුවිය. ඉතා කෙටි කාලයක් තුළදී පළමු ආදි ශිෂ්‍ය කණ්ඩායමේ මැදිහත්වීමෙන් පාසලේ උසස් පෙළ අංශය නවීකරණය කර එස් 5 ක්‍රමයට සකස් කිරීම ප්‍රධාන ශාලාව නවීන අංග උපාංග යටතේ ශ්‍රවණාගාරයක් බවට පත්කිරීම හා ගුරු විවේකාගාරය හා විදුහල්පති කාර්යාලය නවීකරණය කිරීම, 89 කණ්ඩායම මැදිහත්වීමෙන් විදුහල්පති කාර්යාලයට අවශ්‍ය කාර්යාල උපකරණ ලබාදීම, ඉදිකර තිබූ නව පිවිසුම් දොරටුව හා ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීම 131 වන කන්නන්ගර සමරු සතිය, අර්ථවත් ලෙස හා උත්කර්ෂවත් ලෙස සැමරීම, සුමේධ වනිගසේකර විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් සිදුවිය.

නව ගමන් මගට ප්‍රවේශ වෙමින් පාසල විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයකි.

2015 වසරේ 13න් පහළ 2 වන පෙළ සිංගර් ලීග් තරගාවලියේ දී ලකුණු 737 ක් ලබාගනිමින් හොඳම පිතිකරු ලෙස සම්මාන දිනාගත් ඩබ්. ඒ. ගිම්හාන් තීක්ෂණ කුමාර පුතණුවන් මෙම තරගාවලියේදී ශාන්ත සෙබස්තියන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දු 10 කදී ලකුණු 50ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ වයස අවු.13න් පහළ වේගවත්ම අර්ධ ශතකය ලබාගැනීම සුවි‍ෙශ්ෂ ජයග්‍රහණයකි.

සංවර්ධනය කාණ්ඩයේ පාසලක් ලෙස ආරම්භ කරන ලද විද්‍යාලයේ රගර් ක්‍රීඩාව වසර 14ක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකාවේ පළමු කණ්ඩායම් 10 අතරට පැමිණීමට හැකිවීම පාසල ලද සුවිශේෂී ජයග්‍රහණයකි. සමස්ත ලංකා පාසල් 18න් පහළ සත් සාමාජික රගර් තරගාවලි‍ෙය් බඳුන අනු ශූරතාවය දිනාගැනීමට හැකිවීම රගර් කණ්ඩායමක් ලෙස ලබාගත් තවත් ජයග්‍රහණයකි.

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිත සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය නුදුරු අනාගතයේදීම ප්‍රදේශයේ ජාතික පාසල්වලට අභියෝගයක්වන පළාත් පාසලක් බවට පත්වන පෙර ලකුණු පහළ කර ඇත.


පියවරෙන් පියවර ඉදිරියට ගිය තිස් අට වසරක්

මෙයට දශක තුනහමාරකට පෙර නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ ශ්‍රී නාමයෙන් අතිදුෂ්කර පසුබිමක ළමුන් තිස්දෙනකු වැනි කුඩා ප්‍රමාණයකින් ඇරඹි මෙම විද්‍යාලය දිගු පියවරක් ඉදිරියට තබමින් අද සිසුන් 1800ක් පමණ ඉගෙනුම ලබන ප්‍රධාන පාසලක් බවට පත්ව ඇත. මේ සඳහා දායක වූ හිටපු විදුහල්පතිනියන්වන ආර්. ඒ. ඩී. සී. නානායක්කාර මහත්මිය, එස්. එස්. කේ. ආරියවංශ මහත්මිය, ජී. පී. ජී. ජී. තිරිමාවිතාන මහත්මිය පාසල ප්‍රජාව වෙත ගෙනයමින් මහඟු මෙහෙවරක් ඉටුකරමින්, නායකත්වය දුන් ඩී. මෛත්‍රීපාල සිල්වා මහතා ඉදිරි ගමන මෙහෙය වූ එස්. යූ. කාරියවසම් මහතා මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කරමි.

විද්‍යාලයේ තුන්වන කණ්ඩායම නියෝජනය කරමින් සිප් සතර හදාරා වර්තමාන විදුහල්පති ධුරය දක්වා පැමිණි මඟ මා සිහිපත් කරනුයේ හද පිරි සතුටිනි. ‘පියවරක් ඉදිරියට” තේමාව යටතේ තැබූ පියවර වසර දෙකක් තුළ භෞතික හා ගුණාත්මක සම්පතින් සංවර්ධනය වූ අධ්‍යාපනික මෙන්ම විෂය බාහිර හා විෂය සමගාමී ජයග්‍රහණ ලබාගනිමින් ප්‍රදේශයේ සියලුම ජාතික පාසල්වලට අභියෝග කළ හැකි බස්නාහිර පළාතේ හොඳම පළාත් පාසල බවට පත්කිරීම මාගේ ඒකායන ඉදිරි දැක්ම වන්නේය.

විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් නිබඳව කැපවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නියෝජ්‍ය විදුහල්පතිනිය, සහකාර විදුහල්පතිවරු, අංශ ප්‍රධාන, ශ්‍රේණි ප්‍රධාන, ගුරු මහත්ම මහත්මීන් ඇතුළු මාගේ ‍සහෝදර ගුරු මහත්ම මහත්මීන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය පිළිබඳ ගෞරවාදරයෙන් හා හදපිරි සතුටින් සිහිපත් කරමි. ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් හා අනෙකුත් ශිෂ්‍ය දූ පුතුන්ගෙන් ලද සහය ඉතා අගය කොට සළකමි. එමෙන්ම මා හට අනගි සහයක් ලබාදෙන පාසල් සංවර්ධන සමිතියේ නිලධාරි මණ්ඩලයට දෙමාපියන්ට සහ මා හා නිබඳව රැඳෙමින් දිරිගන්වමින් සහය දක්වන ආදිශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට මාගේ කෘතඥතාව හිමිවේ.

මෙම අතිදුෂ්කර ගමනට නිබඳව සහය වන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අවට පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරු මණ්ඩලවලටත් කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත් මාගේ කෘතඥතා පූර්වක ස්තුතිය පුද කරමි.

ඉදිරි ජයග්‍රහණ අරමුණු කරගනිමින් එහි මුල්පියවරක් ලෙස 2016.03.19 වන දින “පියවරක් ඉදිරියට” මහා පා ගමන පවත්වන අතර පාසලට ආශිර්වාදය ලබාගැනීම වෙනුවෙන් 2016.03.14 වන දින සර්ව රාත්‍රික පිරිත් පින්කම හා පසු දින ස්වාමීන් වහන්සේලා තිස්අට නමකට හීල් දානය පිරිනැමීමට කටයුතු යොදා ඇත. එම පිංකමට හා පා ගමනට අප හා අත්වැල් බැඳ ගන්නැයි සියලුම කන්නන්ගර ආදි දූ පුතුන්ට හිතවතුන්ට සුබ පතන්නන්ට ඇරයුම් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

සුමේධ සංජීව වනිගසේකර

විදුහල්පති සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය කොළඹ 08

නව අදහස දක්වන්න