මාධ්‍ය ක්ෂේත්‍රයට ආවෙ ‍අහම්බෙන් නෙමෙයි | දිනමිණ

මාධ්‍ය ක්ෂේත්‍රයට ආවෙ ‍අහම්බෙන් නෙමෙයි

ධම්මිකා සුරංජි පතිරණ
 වසන්ත දුක්ගන්නාරාළ

ජීවිතය මුණගැසෙන්නේ එය සොයායන්නවුන්ට ම ය. ගමේ ගෙදර එළිපත්ත මත හිඳ අනන්ත වූ ආකාසයට දෑස යොමා යමක් සොයන ඔහු පිළිබඳ මුලින්ම හඳුනාගත්තේ අම්මා ය. ගුරුවරියක වූ ඈ තුළ මේ විමසිලිමත් දරුවා පිළිබඳ සුබ සිහින මැවෙන්නට ඇත. වන අඩවි නිලධාරියකු වූ අප්පච්චි ද නිරතුරු විමසිලි සිතින් පසුවන පුතු පිළිබඳ නිහඬ සතුටක් විඳින්නට ඇත.

මන්ද බොහෝ දේ ලැබෙන්නේ සොයා යන්නවුන්ට බව ඔහු ජීවිත අත්දැකීම් ඇසුරේ හඳුනා සිටි බැවිනි. මේ සොයා යෑම දිගටම නිහඬව සිදුවෙමින් පැවතිණ. ගෙදරින් පාසලටත්, පාසලින් ගමටත්, ගමෙන් නගරයටත්, නගරයෙන් සරසවියටත් මේ විමසිලිවන්තයා පිළිබඳ සැලවන විට, ඔහු බොහෝ දේ සොයාගෙන අහවර ය.

වසන්ත දුක්ගන්නාරාළ නොහොත් “දුකා” තුළින් නළුවෙක්, මාධ්‍යවේදියකු, ගී පද රචකයකු, ගත්කතුවරයකු හා වෙළෙඳ ප්‍රචාරකයකු නිර්මාණය වන්නේ එකී සොයා යෑම තුළ ය.

* ඔබ ජීවිතයේ ඉලක්ක පසුපස හඹා ගිය පුද්ගලයෙක් ද?

ඔව්. මට පුංචි කාලේ ඉඳන්ම ඉලක්ක තිබුණා. මගේ මුල්ම සිහිනය ගුරුවරයෙක් වීමයි. ඒත් කෙටි කලකින් එකී සිහිනය බිඳවැටෙනවා. ඉන්පසුව මට වුවමනා වෙන්නේ නළුවෙක් වෙන්න. මගේ පාසල් කාලය පුරාවටම නළුවකු වීමට මා දැරූ උත්සාහයන් රැසක් තියෙනවා.

* පසුව ‍ඔබේ නළු සිහිනයත් බිඳවැටෙනවද?

ඔව්. ඒත් එය සිදුවන විට මම පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වාම එකී සිහිනය රැගෙන ඇවිත් තිබුණා. මම කොළඹ ඇවිත් නළුවෙක් විදිහට ප්‍රසිද්ධ වේදිකාවත් සමඟ සම්බන්ධ වෙද්දීම වාගේ ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා වැනි රංගවේදීන් ඇසුරු කරන්න ලැබෙනවා. එක දවසක් මහේන්ද්‍ර මගේ නළු සිහිනය ගැන කියූ දෙයකට මට බොහොම කනගාටුවක් ඇතිවුණා. “උඹ නළුවෙක් වෙන්න යන ගමන ගැන මට සැකයක් තියෙනවා” මහේන්ද්‍රගේ එම ප්‍රකාශය නිසා ම මම මා විමසන්න උත්සාහ දැරුවා. මා තුළ නළුවෙක් නැත්නම් සැබෑවටම ජීවත්වන පුද්ගලයා සොයා යා යුතු බව මට හැඟී ගියා. ඉන් පසුව ගෙවුණු රස්තියාදුකාර කාලවකවානුවකයි ජැක්සන් ඇන්තනීට මා හමුවන්නේ.

* එය සුවිශේෂ මුණගැසීමක් ද?

ඔව්. ඒ වන විට ජැක්සන් ඇන්තනි මහතා “සවන” ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස වැඩ බාර අරන් එම ආයතනයට මාධ්‍යවේදීන් සොයමින් සිටි සමයක්. ඔහු සොයමින් සිටි පුද්ගලයා මා බවට පත්වුණා. ඒ අනුව 1995 වර්ෂයේ මම වෘත්තීය මාධ්‍යවේදියෙක් බවට පත්වුණා.

* මාධ්‍ය ක්ෂේත්‍රය ඔබේ ජීවිතයට අහම්බයක්ද?

නැහැ. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අතිශය රමණීය අත්දැකීමක් මා ඒ වන විටත් අත්විඳ තිබුණා. ප්‍රේමකීර්ති ද අල්විස් නමැති සුවිශේෂී මිනිසා මම ඒ වන විටත් දැන හඳුනාගෙන සිටියා. එවකට පාසල් දරුවකුව සිටි මට, ඔහු පූර්වාදර්ශයක් වුණා. අනුරාධපුරයේ අපේ ගෙවල්වලට ආසන්නයේම රජරට සේවයේ චමරිය තිබුණෙ. එතැනට යන එන ගුණදාස කපුගේ, ප්‍රේමකීර්ති වැනි ප්‍රවීණයන්ගේ ඇසුර ලබන්න අප පුරුදුවෙලා සිටියා. රජරට සේවයේ ප්‍රේමකීර්ති කරන වැඩසටහන් දෙස බලා ඉන්න මට අවස්ථාව ලැබුණා විතරක් නෙවෙයි, රජරට සේවයේ වැඩසටහන්වලටත් මට සම්බන්ධ වෙන්න ලැබුණා.

* ගීත පද රචකයෙක් ලෙසත් මේ වන විට ඔබ අපේ රටේ බොහෝ ප්‍රචලිත චරිතයක්.

මේ වන විට ගීත රචනා තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මා වෙතින් බිහිවී තිබෙනවා.

* මෑත කාලයේත් ඔබේ ගීත රචනා වෙනුවෙන් තැනුණ රූප රචනා පිළිබඳ සිදුවූ උණුසුම් වාතාවරණය ඔබට බලපෑවාද?

මගේ නිර්මාණ පිළිබඳ කතාබහක් ඇතිවෙද්දී පිටස්තරයකු ලෙස ඒ දෙස බලා සිටින්න මම කැමතියි. ඒත් වෙළෙඳ ප්‍රචාරණ ලෝකය තුළ එසේ නිහැඬියාවකින් ඉන්න අවසරයක් නැහැ. එමනිසා එවැනි කතාවලට මගේ අදහස් දක්වන්න මට සිද්ධ වෙනවා.

* ගොවිකම පිළිබඳ ගෙන ගිය වෙළෙඳ ප්‍රචාරණය තුළ ඔබ විවේචනයට ලක්වූවා නේද?

එම විවේචනය ආවේ සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි. එදෙස විචාර ඇසින් බැලූ අය තුළින් එතනදී මම කරන්න උත්සාහ කළ දෙය තුළ ඇති යහපත් පැත්ත දකින්න ඔවුන් කැමති වුණේ නැහැ. ඒ නිසයි එවන් විවේචනයක් මට එල්ල වුණේ. ඒත් තරුණ ගොවියා තුළ ගොවිතැන පිළිබඳ ධනාත්මක සිතුවිලි ඇතිකරමින් කෘෂි රසායන භාවිතය අවම කිරීම, පොහොර භාවිතය තුළින් පෙර අස්වනු හා පසු අස්වනු ඉහළ නංවාලීම වැනි යහපත් අරමුණු රැසක් එම කටයුත්ත තුළ පැවතුණා. පසු කලෙක මිහින්තලය හා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨ මඟින් නිකුත් කළ පර්යේෂණ වාර්තාවල එකී ප්‍රතිඵල සටහන් වුණා.

* අපි ආයෙත් අතීතයට යමු. ඔබේ ගම, නිවෙස, “දුකා” නම් වූ ඔහු ගොඩනැඟෙන අන්දම දරාගත්තේ කොහොමද?

මම ඉපදුණේ නුවර හිඟුල්ගල.කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹලා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුළත් වුණත්, මගේ අම්මා මගේ කලාකරුවෙකු වීමේ සිහිනය ඉවසා සිටියේ හරිම අවිනිශ්චිත බවකින්. අප්පච්චි නම් මම කලාකරුවෙක් වෙනවට කොහෙත්ම කැමැති වුණේ නැහැ. මම මගේ සිහිනය දිනාගන්නා කාලය වන විට එය දකින්න අම්මා ජීවතුන් අතර සිටියේ නැහැ. අප්පච්චි නම් ඒ පිළිබඳ නිහඬ සතුටක් විඳි වග මට හැඟුණා.

*එළැඹෙන අවුරුදු වසන්තයට පෙර ඔබ නෙළුම් පොකුණට වසන්තය කැඳවන්න සූදානම් වන වග අපට දැනගන්න ලැබුණා.

මගේ මාධ්‍ය දිවියට විසිපස් වසරක් පිරීම අරබයා අප්‍රේල් දෙවැනිදා නෙළුම් පොකුණෙදී ප්‍රසංගයක් සංවිධානය වෙමින් පවතිනවා.

“දුකා” නම් එකී ප්‍රසංගය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් මගේ ගී පද රචනා විසිපහක් සජීවීව ගැයෙනවා. එදිනට මගේ දෙවැනි ගීත රචනා පොත “මං සිංහයාට බයයි නංගියේ” සහ මා විසින් වෙනස් ඇසකින් ලියූ “ඒ තමයි දුකා” මගේ ජීවිත අත්දැකීම් ඇතුළත් පොත එළිදැක්වෙනවා.

එපමණක් නෙවෙයි, එදිනට තවත් සුවිශේෂ දෙයක් සිදු වෙනවා. ජයවර්ධනපුර සරසවිය ඇසුරු කරගත් සොඳුරු ප්‍රේම ගීතයක් මා විසින් පද රචනා කර, දර්ශන රෝහණ දිසානායක සංගීතය නිර්මාණය කර , කසුන් කල්හාර විසින් එම වේදිකාව මත මුල්වරට ගයනවා.

*“දුකා” ප්‍රසංගයට ඔබේ ඇරියුම...

එදිනට “දුකා” ප්‍රසංගය විඳගන්නට නෙළුම් ‍පොකුණට පැමිණෙන්න කියලා මගේ හිතවතුන්, රසවතුන් හා ජයවර්ධනපුර සරසවි සගයන්ට මම ඇරියුම් කරනවා .

 

නව අදහස දක්වන්න