යහපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමයක් | දිනමිණ

යහපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමයක්

හිනිදුම විශේෂ රවින්ද්‍ර ලියනගේ
හිටපු ජනපතිනිය රැස්ව සිටි පිරිස අමතමින් ඡායාරූප-හිනිදුම විශේෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා, වැරැදි කරපු අය හොරු, මිනිමරුවන්, දුෂිතයන්. කසිප්පු මුදලාලිලා, කුඩුකාරයන් අපි ආරක්ෂා කළ යුතු දැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිනිදුම ආසන බල මණ්ඩලයේ දී ප්‍රශ්න කළාය.

හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ මහතා විසින් සංවිධාන කළ මේ රැස්වීම අතර නෙළුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිනිය මෙසේ ද කීවාය.

"මේ පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන අපිත් එක්ක ඉන්න අය හා අලුත් අය එකතු කරගෙන ඉදිරියට යනවාද කියන එක තමයි අපි තීන්දු කළ යුත්තේ. පසුගිය වසර නවයේ බලයේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. පක්ෂයේ ප්‍රතිපත්ති නෙවෙයි රජ කළේ. පුද්ගලයන් කිහිප දෙනකුගේ ප්‍රතිපත්ති තමයි රජ කළේ. පුද්ගලවාදයක් තිබුණේ. ඒ පුද්ගලයන්ට අවශ්‍ය විදියට රට විනාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගොඩනඟනවා.

දුෂණය වූ විනාශ වූ රට හදලා තමයි පක්ෂය හදන්න වෙන්නේ. මම අවුරුදු නවයක් පැත්තකට වෙලා හිටියේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපති ධුරය භාරදීලා පක්ෂය භාරදීලා පැත්තකට වෙලා හිටියා.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ දැන් ඔය පක්ෂය කඩන්න හදන මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කල්ලිය රටේ හැම තැනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරින්ට රැස්වීම් තියාගෙන ගියා. මැතිනිය පක්ෂයෙන් පන්නන්න ඕන කියලා. ඒ වැඩ කළේ යුඑන්පිය හා ජේ. ආර්. ජයවර්ධන වෙනුවෙන්. ජේ. ආර්. මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළා. පක්ෂය වැටෙයි කියලා හිතාගෙන. නමුත් මැතිනියට තියෙන අනුකම්පාව නිසා පක්ෂය තවත් ශක්තිමත් වුණා.

ඒ වේලාවේ පක්ෂ මුලස්ථානයට අඟුල් දමලා යතුර යුඑන්පියට භාර දුන්නා. විජය , මම, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක පක්ෂ මුලස්ථානයට ගියා පස්සේ විජය අතින් ගහලා දොර කඩලා තමයි පක්ෂ මුලස්ථානය ඇතුළට ගියේ. අවුරුදු එකහමාරක් තිස්සේ මැතිනිය උසාවි හතකට අරන් ගියා. දැන් ඔය පක්ෂය කඩන්න හදන අයම. උසාවි හතකට මැතිනිය අරන් ගියා පක්ෂයේ ලකුණ පාට අපට ඕන කියලා. අපි කොහොම හරි ඒ නඩු ටික දිනුවා. හංසයා ලකුණෙන් අපි අපේ පක්ෂයේ ලේකම්තුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න අප කටයුතු කළේ මේ පක්ෂය බේරාගැනීමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලවාදය වෙනුවට අප අනුගමනය කළේ ප්‍රතිපත්ති හා දර්ශනයයි. ඒ දර්ශනය ගැන තමයි අපි කතා කළේ. පක්ෂයේ දර්ශනය මත තමයි අපේ ආණ්ඩු කටයුතු කළේ. ජනතාවගේ ආණ්ඩුවක් නම් ජනතාවගේ පක්ෂයක් නම් අපි හැම විටම ප්‍රමුඛත්වය දෙන්නේ ජනතාවට. රට දියුණු කරන්න දුප්පත්කම නැති කරන්න. හොඳ රැකියා අවස්ථා ලබා දෙන්න තමයි අප කටයුතු කළේ. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ජනතාවගේ පාලනයක් නම් අපි කරන්නේ ජනතාවගේ වත්කම් හොරකම් කරන්න බැහැ.

පක්ෂයේ ඉහළ මට්ටමේ ඉන්න අයට පක්ෂයේ සභාපතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට හොරකම් කරන්න බැහැ ජනතාවගේ වත්කම්. පාරක් හදනවා නම් පාරට යන්නේ ලක්ෂ දහයයි නම් ලක්ෂ 25ක් දමලා ඉතිරි ටික සාක්කුවේ දමා ගන්න බැහැ. ඒ ආකාරයට කටයුතු කළ නායකයන් මේ පක්ෂයේ එදත් හිටියා අදත් ඉන්නවා. එක්තරා කාලයක පොඩ්ඩක් විකෘති වෙලා අනික් පැත්ත ගැහුවා. ඒ නිසා අද රට බංකොළොත් වෙලා. මේ රජයට ඒ ප්‍රශ්න විසඳන්න තියෙනවා.

යහපාලනය ගැන දැන් කතා කරනවා. පළමුවෙන්ම මේ රටේ යහපාලනය ආරම්භ කළේ 56 දී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන්. යහපාලනය කියලා කියන්නේ ජනතාවගේ පාලනය. යහපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමයක්. පසුගිය ආණ්ඩුවෙන් අසිමිත ලෙස දුෂණ ඇති වු නිසා ඒවා නතර කිරීමට දැන් මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා. එජාපයත් එක්ක එකතුවෙලා ආණ්ඩු කරනවා. 56 දී අපේ පක්ෂයේ දර්ශනය, ප්‍රතිපත්ති පිළිගෙන තියෙනවා නම් එජාපය එක්ක ආණ්ඩු කිරීමේ ඇති වැරැද්ද මොකක්ද?

නමුත් මෙය ඉතා සංකිරණ දෙයක්. මේ වගේ දෙයක් මීට කලින් මේ රටේ වෙලා නැහැ. ඒ නිසා මේක අපට තමුන්නාන්සේලාට අදහාගන්න අමාරුයි. අපි හැමදාම යුඑන්පියත් එක්ක ඇණ කොටා ගත්තා. මරා ගත්තා. දැන් හිටපු ගමන් ඒ අයයි අපියි එකතු වෙලා ආණ්ඩු කරනවා. එක කැබිනට් මණ්ඩලයේ ඇමැතිකම් කරනවා. පළාත් සභාවේත් එහෙමයි. සහෝදරත්වයෙන් කටයුතු කරනවා. අපට එය අදහාගන්න බැරි වුණාට අවුරුදු නවයක් මේ රටට කරපු මහා විනාශය නිසා අපට එහෙම තීන්දුවක් ගන්න වුවමනා වුණා. යුද්ධය ජයග්‍රහණය කළා. එය ඉතා හොඳයි. නමුත් යුද්ධය ජයග්‍රහණය කළේ එක් අයෙක් තනිවම නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කළා. ත්‍රස්තවාදය ඉවර කළා. ඉතාමත් ප්‍රශංසනීයයි. නමුත් ඒ සඳහා මීට පෙර තිබු රජයන් වසර විස්සක් තිස්සේ විශාල වැඩ කොටසක් කළා. එයට මගේ රජයත් ඇතුළු වුණා. මගේ රජය කාලයේ ගෙනාපු අවි ආයුධ පාවිච්චි කර රාජපක්ෂ රජයෙන් යුද්ධය ඉවර කළා. ඒ සඳහා නායකත්වය දුන්නා. එය ඉතා හොඳයි.

නමුත් රටේ ආර්ථිකය විනාශ වුණා. අපි ඉතා මහන්සියෙන් ගොඩනැඟූ අධ්‍යාපනය කපෝති කළා. රටේ සභ්‍යයත්වය ඉවරයි. පොලිසිය දේශපාලනීකරණය කළේ කවුද? පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නේ නැහැ. නීතිය කඩාගෙන වැටුණා. අධිකරණයට බලපෑම් කළා.කුඩු මුදලාලිලා අපරාධ කරුවන් ආරක්ෂා කළා."


නව අදහස දක්වන්න

Or log in with...