බෝම්බ කට්ටලය දකුණේ පිරිසකගේ වැඩක් | දිනමිණ

බෝම්බ කට්ටලය දකුණේ පිරිසකගේ වැඩක්

චාවකච්චේරි ප්‍රදේශයේ දී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයේ ඒවා නොවන බවත් උතුරේ යළිත් කොටි සංවිධානය බිහිවන බවට මතයක් ගොඩනැඟීමට උත්සාහ කරන දකුණේ පිරිසක් ගත් උත්සාහයක් බවට සැකකරන බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා පැවසීය.

උතුරේ දේශපාලන බලවේගවලට හෝ ජනතාවට යළි ත්‍රස්තවාදයක් ඇතිකිරීමේ උවමනාවක් නොමැති බව කියාසිටින ඒ මහතා උතුරේ ජනතාව සාමය හා සහජීවනය වෙනුවෙන් හඩදෙමින් නැඟී සිටීම දකුණේ ජාතිවාදී පිරිසට අභියෝගයක් වී ඇති බවත් කීවේය.

උතුරේ සාමකාමී තත්ත්වයක් පවතින අතර ජනබලයෙන් ආණ්ඩුබලය පිහිටුවීමට බැරි වූ පිරිස් උතුරේ යළි ත්‍රස්තවාදයක් ගොඩනැ‍ගෙන බව පෙන්වීමටත් ඒ තුළින් උතුරේ හමුදාව තවදුරටත් ව්‍යාප්ත කරවීමට දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස චාවකච්චේරි බෝම්බ හමුවීම පිළිබදව අදහස් කරන බවත් පැවසීය.

කෙසේ වෙතත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් නිවෙසේ හිමිකරු සහ පදිංචිව සිටි පුද්ගලයින්ගෙන් සාධාරණ විමර්ශනයක් කර සත්‍ය හෙළි කිරීමට රජය පියවර ගතයුතු බවද ශිවාජිලිංගම් මහතා අවධාරණය කළේය.

නව අදහස දක්වන්න