දරුවන්ට අලුත් ලෝකයක් දීම රජයක වගකීම හා යුතුකමයි | දිනමිණ

දරුවන්ට අලුත් ලෝකයක් දීම රජයක වගකීම හා යුතුකමයි

අතීතයේ තරණ පරපුර නාගරික, පිටිසර, උගත්, බුද්ධිමත්, ආදී විවිධ අර්ථ කථන දෙමින් වර්ගීකරණය කළ ද නවීන තාක්ෂණය අභිමුව තරුණයන් එකම තලයක සිටින බව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජාතියක් ගොඩනැගීමේදී ජාතියේ දරුවන් වෙනුවෙන් නව ලෝකය විවර කරදීම රජයක වගකීම සහ යුතුකම යැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පසුගිය දා (2) සමාප්ත වූ යොවුන් පුරය 2016 ජාතික වැඩසටහනට එක්වෙමිනි.

රටේ සියලු පළාත් නියෝජනය කරමින් තරණ තරුණියන් පන්දහසක් එකට රොඳ බැඳ සිටි මේ දැවැන්ත වැඩ සටහන සැනකෙළියක ස්වරූපයක් ඉසිලීය.

තරුණ තරුණියන්ගේ ක්‍රීඩා, කලා, කුසලතා ඔප නංවන අයුරින් එය සංවිධානකර තිබුණි.

සමාප්ති උළෙලට එක්වීමට පෙරාතුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උත්සව භූමියේ තිබූ ප්‍රදර්ශවන කුටිවලට යමින් තරුණ තරුණියන් සමඟ සුහඳ කතා බහක නිරත වූහ.

නවීන තාක්ෂණයේ අභිමන් විදහා දක්වමින් වේදිකාව නිර්මාණය කර තිබුණේ මනරම් හැඩ තල එක්කරමිනි.

යොවුන් පුරයේ ආකර්ෂණය දිනාගත් ඉසව්ව වූයේ යොවුන් කුමරා සහ කුමරිය තෝරාපත් කිරීමේ වැඩසටහනයි.

එහිදී යොවුන් කුමරා ලෙස කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ එච්. කේ. ඒ නිරෝෂණ ද , යොවුන් කුමරිය ලෙස කොළඹ දිස්ත්‍රික්යේ ඩබ්ලිව්. ඒ .එන් මධුවන්ති ද අභිෂේක ලැබූහ.

වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද සඳහන් කළේය.

අපේ ලෝක උරුමයක් වූ ඓතිහාසික සීගිරිය පුරවරයට ඔබ අප සියලූ දෙනා එක්වී සිටිනවා . යොවුන් පුරයේ පුරපතිතුමා ඇතුළු මේ සඳහා සහභාගි වන යෞවන යෞවනියන් සියලූ දෙනා ඉතා භාග්‍යවන්ත දරු පිරිසක් බව මා විශ්වාස කරනවා.

ජාතියක් ගොඩනැඟීමේ දී ජාතියේ දරුවන් වෙනුවෙන් නව ලෝකය විවර කරදීම රජයක වගකීම සහ යුතුකමයි. අපේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වූ මහගම සේකරයන් මීට වසර 40කට පෙර පැවසූ ප්‍රකාශයක් මගේ මතකයට නැගෙනවා. “ලෝකය තනි යායක්“ බව මහගමසේකරයන් පැවසුවා. අද නව තාක්ෂණයත් සමඟ අන්තර්ජාලය මුළු විශ්වයම එකම යායක් බවට පත්කර තිබෙනවා.

හතළිස් වසරකට පෙරාතුව මහගමසේකරයන් එසේ පවසද්දී අන්තර්ජාලය හෝ ජංගම දුරකථනය අප සතුව තිබුණේ නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව යොවුන් පුරය බිහිවුණා. එහි ප්‍රධාන නියමුවන් ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ඔබ සියලූ දෙනාට උදාවී තිබෙනවා. පළමු යොවුන් පුරය වසර 32කට පෙර ඇරඹුණා. අවසන් යොවුන් පුරය වසර 27කට පෙර පවත්වා තිබෙනවා. මම යෞවනයෙක්ව සිටිය දී එදා යොවුන් පුර සංකල්පයක් තිබුණේ නැහැ. නමුත් දේශීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් බොහෝ තරුණ වැඩසටහන්වලට තරුණ කඳවුරුවලට තරුණයෙක් ලෙස මම සහභාගි වී තිබෙනවා.

පාලකයන් වන ඔබ තරුණයන් වෙනුවෙන් කරන්නේ කුමක්දැයි ඇතැම් තරුණ දරුවෝ අපෙන් ප්‍රශ්න කරනවා. මට ඒ සඳහා තිබෙන්නේ ඉතා කෙටි පිළිතුරක්. ඒ ඔබේ සිහින ලෝකය සැබෑ කර ගැනීමේ නිර්මාණශිලී දායකයා වන්නේ ඔබයි. තරුණයන් බලාපොරොත්තු වන අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් සහ ඔවුන්ගේ සිහින ලෝකය සැබෑ කර ගැනීමේ සැබෑ නියමුවන් වන්නේ ඔබමයි. ඒ නිසා එය ඔබට භාරයි. අපිට එහිදී යම් කාර්යයක් තිබෙනවා. ඔබ ඔබේ ලෝකය ගොඩනඟද්දී අපි පාලකයන් ලෙස ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය, සම්පත් පරිසරය සකසාදීම කළ යුතු බව මා විශ්වාස කරනවා.

අද නව තාක්ෂණික ලෝකයේ ඔබ තරගකාරී යෞවන යෞවනියන්. ඔබ තාක්ෂණය හදාරන්න. ඔබ තාක්ෂණය අවබෝධ කර ගන්න. ඔබ තාක්ෂණය හදාරන්න. ඔබ තාක්ෂණය ඔබේ දෙපතුලේ සිට ඔබේ හිස දක්වාම රඳවා ගන්න. ඔබ තාක්ෂණයට ආදරය කරන්න. නමුත් ඔබ කිසි දිනක තාක්ෂණයේ වහලෙක් වෙන්න එපා.

ඔබ තාක්ෂණය මෙහෙය විය යුතුයි. තාක්ෂණය කළමනාකරණය කළ යුතුයි. කිසිවිටෙකත් තාක්ෂණයට ඔබව හැසිරවීමට ඉඩ දෙන්න එපා. තාක්ෂණයට ඔබව හැසිරවීමට ඉඩ දුන්නොත් ඔබ පරාජය වෙනවා. ඒ නිසා ඔබේ ජයග්‍රණය තිබෙන්නේ ඔබ තාක්ෂණය හසුරවන ආකාරය අනුවයි.

ඔබ විභාග සමත් වෙනවා සේම ඔබේ ජීවිතය සමත් විය යුතුයි. ඒ සඳහා නව ලෝකයේ දොරටු විවර කිරීමට අපි සැම විටම රජයක් ලෙස අග්‍රාමාත්‍යතුමත් මමත් අවංකව කැප වෙනවා. මීට දශක කිහිපයකට පෙර සමාජයේ සිටින තරුණයන් විවිධ කොටස් ලෙස හැඳින්වුවා. නාගරික තරුණයෝ, පිටිසර තරුණයෝ , උගත් තරුණයෝ , බුද්ධිමත් තරුණයෝ කියා තරුණයන් හැඳින්වුවා. නමුත් වර්තමානයේ නව තාක්ෂණයත් සමඟ ඔබ නව ලෝකයකට එක් වී සිටිනවා. ඒ නිසා කිසිම ආකාරයකින් ඔබව එසේ නම් කරන්න පුළුවන්කමක් නැහැ.

මානව සමාජයේ විශිෂ්ටයන් ලෙස මේ ලෝකය ගොඩනැඟීමට, ඉදිරියට ගෙන යෑම නියමුවන් ලෙස ඔබට ඒ සියලූ ශක්තීන් තිබෙනවා. ඒ නිසා මේ යොවුන් කඳවුර යොවුන් පුරය ඔබ ලැබූ භාග්‍යක් යැයි මා විශ්වාස කරනවා.

යොවුන් පුරයට ලංකාවේ පළාත් නවයෙන්ම සියලූ දිස්ත්‍රික්ක ඒකරාශී වී සිටිනවා. අපි මේ කාලයේ නව රජය ලෙස නිරතුරුව කතා කරන වචන දෙකක් ඔබේ මතකයේ තිබෙනවා. යහපාලනය සහ සංහිඳියාව යන්න ඒ වචන දෙකයි. මේ වචන දෙක සමහර අය උපහාසයට ලක් කරනවා. ඇතැම් අය මේ වචන දෙක හාස්‍යට ගෙන තිබෙනවා. තවත් සමහරුන් මේ වචන දෙක ප්‍රතික්ෂේප කරනවා. එසේ කරන්නේ මේ වචන දෙකේ තිබෙන වටිනාකම නොදත් නිසා යැයි මම විශ්වාස කරනවා. මේ රටේ අනාගතය රඳා පවතින්නේ යහපාලනය සහ සංහිඳියාව යන වචන දෙක යථාර්ථවාදීවීම මතයි.

මෙය සාමාන්‍ය යොවුන් පුරයක් පමණක් නොවෙයි. මේ ඔබ දැනුම ලබා ගත් පුරයක් පමණක් නොවෙයි. ඔබ අත්දැකීම් ලැබූ පුරයක් පමණක් නොවෙයි. ඔබ එකිනෙකා හඳුනා ගත්ත පුරයක් පමණක් නොවෙයි. මෙය සංහිඳියාවේ පුරයක් කියා මා දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසාත් ඔබෙත් මගෙත් රට හෙට දවසේ හොඳ රටක් කරන්න අපි සෑම කෙනෙක්ම සංහිඳියාව යහපාලනය වැළැඳ ගත යුතු වෙනවා.

ඒ වචන දෙක දේශපාලන පක්ෂවලට සීමා වූ වචන දෙකක් පමණක් නොවෙයි. ඒ වචන දෙක සැබෑ ලෙස මානව සමාජයේ උතුම් ශ්‍රේෂ්ඨ වචන දෙකක්. යථාර්ථවාදී මානව සමාජයක් ප්‍රබුද්ධ ලෙස ගොඩනැගීම සඳහා වූ වචන දෙකක්. මේ සිටින තරුණ ඔබ වගේම මේ රටේ සමස්තයක් තරුණ දරුවන් මා සලකන්නේ මගේම දරුවන් ලෙසයි. ඔබ සියලු දෙනා මේ රටේ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතුයි. ඔබ සියලූ දෙනා සහජීවනයෙන් ඔබේ සමාජය ගොඩනැඟීමේ වගකීම භාරගත යුතුයි. ඔබ සියලූ දෙනාටම එක හා සමානව වරප්‍රසාද තිබිය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම එක සේ අයිතීන් සහ වරප්‍රසාද භුක්ති විඳිය යුතුයි. ඒ උතුම් ඉලක්කය කරා යාම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මමත් පොදු ජාතික සංකල්පයක සිට කටයුතු කරනවා. ඒ ශ්‍රේෂ්ඨ සමාජය, ශ්‍රේෂ්ඨ රට ගොඩනැඟීම සඳහා ඔබ සියලූ දෙනාගේම කැපවීම අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. මේ පින්වන්ත දරුවන් දෙස අපි ඉතාමත්ම ගෞරවයෙන් සහ විශ්වාසයෙන් බලා සිටිනවා. අපි සෑම කෙනෙක්ම ඔබට ආදරය කරනවා. අපි සෑම කෙනෙක්ම ඔබට ගෞරව කරනවා. ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීම ජාතියේ පෞරුෂත්ව වර්ධනයයි. ඔබේ දැනුමේ සහ බුද්ධියේ වර්ධනය ජාතියේ අනාගතයයි. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨත්වය විශිෂ්ටත්වය විඳ ගැනීමට අප සියලු දෙනාම එක්ව කටයුතු කරමු.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා- රටක් ලෙස ඓතිහාසික පුරවරයට පැමිණ සිටිනවා. එදා අපේ රටේ තිබූ නවීන තාක්ෂණය, පාලන ක්‍රමය ලෝකය මවිත කළා. විදේශිකයන් පැමිණ මේ රටේ ඉතිහාසය පිළිබඳ අධ්‍යනයකර විදේශ රටවල මෙවන් පාලන ක්‍රමයක් ස්ථාපිත කරන්නේ කෙසේදැයි යන්න කල්පනා කළා. අද තරුණ බුද්ධිය තරුණ ජවය මේ ප්‍රදේශයට ගෙනාවා. එමඟින් රට ඉදිරියට ගෙන යන ක්‍රමවේදය පිළිබඳ සැලසුම් සකස්කර තිබෙනවා. පසුගිය සමයේ අපේ රටේ ආයතන, අපේ රට පුද්ගල ප්‍රතිරූප හමුවේ ගොඩනැඟුණා. පුද්ගලයන් මත ගොඩනැඟුණු රටවල් එම පුද්ගලයන්ගෙන් පසු බිඳ වැටෙනවා. ඒ නිසා නව සංකල්පයක් යටතේ මේ රට වෙනත් දිශාවකට හැරවීමට ක්‍රියා කළ යුතුයි. මේ ආයතන මේ අමාත්‍යාංශය එක් එක් කුමාරවරුන්ගේ පාලනය යටතේ පැවතුණා. ඔවුන්ගේ ප්‍රතිරූප මේ ආයතන මඟින්ඉදිරියට ගෙන ගියා. අපි ඒ ක්‍රමය වෙනස් කර මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් මේ අමාත්‍යාංශ සකස් කර තිබෙනවා.

බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා - තරුණ යොවුන් පුරය හරහා විශාල පිරිසක් දේශපාලනයට ප්‍රවිශ්ඨ වී සිටිනවා. ජනවාරි අටවැනිදා ඇති කළ වෙනසත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යොවුන් පුරයට එක්වී සිටිනවා. රටේ ප්‍රධාන පක්ෂ දෙකම යොවුන් පුරයට එක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. තරුණ සේවාවෙන් පසුගිය සමයේ විශාල සේවාවක් කර ගැනීමට හැකියාව තිබුණා. නමුත් පසුගිය සමයේ එය කරගැනීමට නොහැකි වුණා. සියලු දේශපාලන පක්ෂවල පිරිස් එකම වේදිකාවේ සිට අද යොවුන් පුරයට එක් වෙනවා. මෙය දේශපාලන දිවියේ සතුටු වෙන දිනයක්. මෙවර පන්දහසක් මේ යොවුන් පුරවය සඳහා එක් වෙනවා. ලබන වසරේ තරුණ තරුණියන් දස දහසක් ඊට කර ගැනීමට අගමැතිවරයා තීරණය කර තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගගේ මහතා- ජීවිතය වියදම්කර අත්දැකීම් ලබා ගන්නවා. ගමේ අත්දැකීම් තරුණ තරුණියන් සමඟ මෙහිදී බෙදා හදා ගන්නවා. ඔබ ඔබේ කඳවුරේ විනයක් ඇතිව කටයුතු කළ නිසා අද අපිට කොන්ද කෙලින් තබා කටයුතු කළ හැකියි. ඔබ සැම මෙහිදී ලබාගත් අත්දැකීම් ගමේ සිටින නංගිලාට, මල්ලිලාට ලබා දෙන්න. ප්‍රාණයක් නොමැතිව පසුගිය සමයේ මේ රටේ තාරුණ්‍ය පැවතුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තාරුණ්‍යට නැවත ප්‍රාණය ලබා දුන්නා.

යොවුන් පෙරමුණේ පුරපති රධික ජයලත් මහතා- තාරුණ්‍යයට ශක්තියක් අභිමානයක් ඇති කිරීමට, අපේ ශක්තියට ලෝකයට පෙන්වීමට අපිට ඇති අවස්ථාව මෙයයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ කළා. රටේ සංහිඳියාව පිළිබඳ නිතර කතා කරන අවස්ථාවක රටේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් මෙතැනට එක් රැස්ව සිටිනවා. ඔවුන්ට ජාති ආගම් වාද නැහැ. පිංච මලක් නෙළුම් මලක් අතැතිව ඔවුන් නිදහසේ සැරිසරනවා. ඔවුන්ගේ එකම අරමුණ මේ රටේ උන්නතියයි.

මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ග්‍රාමීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා, කර්මාන්ත සහ වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, යන මහත්වරු පාර්ලිමේන්තු හා පළාත් දේශපාලනඥයන්, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අනාගතයට හිමිකම් කියන තරුණ පරපුරේ පුරවරය යොවුන් පුරයයි

යොවුන් පුරය කියන්නේ අනාගතයට හිමිකම් කියන තරුණ පරපුරේ පුරවරයි. හොඳ අනාගතයක් අපේක්ෂාවෙන් තරුණ තරුණියන් පන්දහසක් කැඳවා තිබෙනවා. ඔබ සැම ඔබේ අනාගතය සකසා ගැනීමට මෙහි පැමිණ සිටිනවා. ඔබේ අනාගතය සකසන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය වන යොවුන්පුරයට ඔබ කැඳවා තිබෙන්නනේ දශක දෙකකට පසුවයි.

රට පුරා විසිර සිටින තාරුණ්‍යයේ දස්කම් විස්කම්වලට නව ජීවයක් ලබා දීමටත් තරුණයන්ගේ සිතුම් පැතුම් බෙදා හදා ගැනීමටත් යොවුන්පුරය කඳිම තෝතැන්නක්.

වසර 1984 දී පළමු යොවුන්පුරය පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කළා. එය දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා යටතේ ආරම්භ වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. මෙහි අරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ජාතික ආණ්ඩුව කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළට ඔබ සම්බන්ධකර ගැනීමයි. අවුරුදු තිහක් පැවැති යුද්ධය නිමා වූණා. දැන් ඔබ සියලු දෙනා හොඳ අනාගතයක් අපේක්ෂා කරනවා. යුද්ධයේ ඇති වූ ජාති, ආගම් භේද නිසා අපිට පසුපස සිටි රටවල් අපි පසුකර ඉදිරියට ගියා. ඒ අයට හොඳ අනාගත ලැබුණා. ඒ නිසා අපිට විශාල අභියෝගයක් ජයගැනීමට තිබෙනවා. තරුණ ඔබට හොඳ අනාගතයක් බිහිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්යට යටතේ එක් වෙලා සිටිනවා. අපේ ආණ්ඩුව ඉදිරි පස් වසරේ ගන්නා තීන්දුවල ප්‍රතිලාභ හිමි කර ගන්නේ ජනාධිපතිතුමා, මම, ඇමැති මණ්ඩලය හෝ ප්‍රධාන ඇමැතිවරු නොවෙයි. එහි ප්‍රතිලාභ හිමි වන්නේ ඔබ සැමටයි. ජාතිවාදී ආගම්වාදී අදහස් පසෙකලා අපි යුද්ධයෙන් පසු එක මවකගේ දරුවන් ලෙස, ශ්‍රීලාංකිකයන් ලෙස සියලු දෙනා එක් කිරීමට වැඩ සටහනක් ආරම්භ කළා. ඔබ සැම සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු දෙනා එකම අහසක් එකම පොළවක් යට එක්වී සිටිනේ මේ රටේ අනාගතය භාර ගැනීමටයි. අපේ ජීවිත කාලයේ අත්දුටු ජාතිවාදි, ආගම්වාදී ත්‍රස්තවාදය නැවත එපා. අපිට අවශ්‍ය ඔබ සැම එක්සත් රටක ශ්‍රීලාංකික අනන්‍යතාවයෙන් ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යෑමටයි. දශක එකහමාරක දී පොහොසත් රටක් ලෙස නඟාසිටුවීම අපේ ඒකායන අරමුණයි. ඔබ සැමට රැකියා ලබා දීමට රැකියා දශ ලක්ෂයේ වැඩපිළිවෙළ ආරම්භකර ඊළඟ මාස කිහිපයේ රට ඉදිරයට ගෙන යන වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කරනවා.

නිෂ්පාදන වැඩි කොට තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය, මුල්‍ය ව්‍යාපාර, ඇති කොට කඩා වැටුණු ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට පියවර ගන්නවා. ක්‍රමානුකූල අධ්‍යාපන ක්‍රම, නිවාස ක්‍රම, පාසල් , වෘත්තිය, උසස් අධ්‍යාපනයක් ඇති කර ලෝකයේ හොඳම ක්‍රමයක් ඔබට ලබා දීමට අපි ක්‍රියා කරනවා. එහි උරුමය හිමි වන්නේ ඔබටයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ව්‍යාපෘතියට පක්ෂ භේදයෙන් තොරව ගමේ සියලු දෙනාගේ සහාය ලැබෙනවා. මේ රටේ සියලු දෙනා ශ්‍රීලාංකිකයන්. පසුව පක්ෂවලට සහාය දෙන්න පුළුවන්. අලුත් ශ්‍රීලංකාවක් ඇති කිරීමට, ඔබට හොඳ අනාගතයක් ලබා දීමට අපි යොවුන් පුරය ආරම්භ කළා.

යොවුන් සම්මේලන, යොවුන් පාර්ලිමේන්තුව නඟාසිටුවීමට මිලියන 250ක් ලබා දෙනවා. යොවුන් සේනාංකය ප්‍රතිසංවිධාන කර තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබා දෙනවා. අපි භාර ගෙන තිබෙන්නේ පොඩි අභියෝගයක් නොවෙයි. ඔබ සැමට අනාගතයක් සකස් කර දෙන අභියෝගයයි. අපි සැම එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික ආණ්ඩුව සමඟ ඒගමන ඉදිරියට ගෙන යමු.

නිරුෂි විමලවීර, තිළිණි ජයසිංහ, ඉෂාරා සිල්වා සහ මාතලේ දිසා සමූහ

නව අදහස දක්වන්න