අශිකාගේ බලාපොරොත්තුව නැතිවෙලා | දිනමිණ

අශිකාගේ බලාපොරොත්තුව නැතිවෙලා

තුන්වැනි තැන හෝ ලැබේවි කියා පුංචි බලාපොරොත්තුවක් තිබුණා

 විවාහක රූ රැජන කිරුළට තරග වැදුණු රංගන ශිල්පිනිය අශිකා මතසිංහ

 පෙම්වතිය, අම්මා හෝ ආච්චි අම්මා වුණත් ඒ චරිතය හොඳයි නම්, යම් දෙයක් කරන්න පුළුවන් නම් මම එය බාර ගන්නවා.

අශිකා මේ දවස් වල විවේකීව ගත කරනවා වගෙයි?

ඔව්. පහුගිය කාලේ විවාහක රූ රැජන තරගය නිසා තරමක් මහන්සි වුණා. දැන් නම් විවේකීව ඉන්නවා. ඒත් පොඩි බබා ගේ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. ඒක නම් සාමාන්‍ය දෙයක් නේ.

හිටි හැටියේ රූ රැජනක් වෙන්න උත්සහ කළේ ඇයි?

පොඩි කාලේ ඉඳන් මෙවැනි තරගයකට ඉදිරිපත් වෙන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒ සිහිනය තමයි මේ සැබෑ කර ගත්තේ. ඇත්තටම ඒ දේට මාව දිරිමත් කළේ මගේ සැමියා. අයදුම් කළෙත් පහු ගිය නත්තල් දවසේ උදේ පාන්දර එකට විතර . මට තිබුණු ලොකුම අභියෝගය මගේ ඇඟ කෙට්ටු කර ගැනීම. ඉතින් මාසයක් ඇතුළත වගේ මගේ ඇඟත් කෙට්ටු කර ගත්තා.

ඉදිරිපත් වීමේ සිහිනය සැබැවක් කරගත්තට කිරුළට හිමිකම් කියන්න බැරිවීම ගැන දුකක් නැද්ද?

පුංචි දුකක් තිබුණා. නමුත් විවාහක රූ රැජන කිරුළ ගැන නෙමෙයි. ෆොටොජෙනික් වගේ කුමක් හෝ පැජන්ට් එකකින් මට ජයග්‍ර‍ණය කරන්න පුළුවන් වෙයි කියලා හිතුණා. මේ තරගයේ තුන්වැනි ස්ථානය හරි ලැබේවි කියල පුංචි බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි දැන් නම් ඒ ගැන දුකක් නැහැ.

එම තරගාවලිය පක්ෂපාති වුණා යැයි චෝදනා තිබෙනවා?

එහෙම කාටවත් අසාධාරණයක් වුණා යැයි මං හිතන්නේ නැහැ. මේ කිරුළට හිමි කම් කියු අය එයට සුදුසුයි කියලා මං හිතනවා. මොකද ඒ හැමෝම ලොකු කැපවීමකින් සූදානමකින් තමයි මේ තරගාවලියට සහභාගී වුණේ. ඉතින් ඔවුන් ගේ මහන්සියේ ප්‍ර‍තිඵල ඔවුන් අත්වින්දා. මගේ ආසාවට මම සහභාගි වුණා මිසක් මට ඒගැන ලොකු දැනුමක් තිබුණෙත් නැහැ.

නමුත් මෙවන් තරග දිහා තවමත් වපර ඇසින් බලන අය ඉන්නවා?

ඔව් හැබැයි මාව එහෙම කිසිම කෙනෙක් විවේචනය කළේ නැහැ. කිසිම වචනයක් නොකියන විදිහටවැඩකරන්න මම ඒ තරගාවලිය පුරා වග බලා ගත්තා.ඇත්තටම මේ වගේ තරගයකින් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා.ගොඩක් අයව හඳුනා ගත්තා.ඉතින් මට නම් මෙහි වැරැද්දක් පෙනෙන්නේ නැහැ.

දරුවන්ගේ වැඩ රාජකාරි මැද රුව ගැන සැලකිලිමත් වෙන්න අශිකාට වෙලාවක් තිබුණද?

මම රූපය රැක ගන්න කියලා ලොකු දේවල් කරන්නේ නැහැ.ගෙදරදීපොල් සම්බෝලයට ගන්න දෙහි කැල්ල මිරිකලා ඒක මුහුණේ අතුල්ල ගන්නවා. සැලඩ් හදන්න පිපිඤ්ඤාකැපුවොත් පෙති දෙකක් අරන් ඇස් වල තියා ගන්නවා.ඒ වගේ දේවල් මිසක් විශේෂ දේවල් කරන්නේම නැහැ. හැබැයි අපිව වයසට යවන අවලස්සන කරන ගුණාංග වලින් මං සම්පුර්ණයෙන් ඈත් වෙලා ඉන්නේ. ඊර්ෂ්‍යාව, වෛරය කියන දේවල් අපේ ජීවිතයට වගේම අපේ රුපයටත් හානි කරනවා. ඒ දේවල් වලින් මම මුළුමනින්ම ඈත් වෙලයි ඉන්නේ.

අශිකා දැන්ම රංගනයට නැවත එකතු වෙන්න අදහසක් නැද්ද ?

පහුගිය දවස් වල නාට්‍යයකට එකතු වුණා. මිට කලින් කරපු නාට්‍ය කිහිපයකුත් විකාශය වෙන්න තියෙනවා. දැනටත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. පහු ගිය දවස් වල වුණු පොඩි අත පසු වීමක් නිසා ෆිල්ම් එකක් මට මඟ හැරුණා. ඒ ගැන නම් ටිකක් දුකයි.

අශිකා පෙම්වතියගේ චරිතයට සමු දේවිද?

පෙම්වතිය, අම්මා හෝ ආච්චි අම්මා වුණත් ඒ චරිතය හොඳයි නම්, යම් දෙයක් කරන්න පුළුවන් නම් මම එය බාර ගන්නවා.

විටින් විට ඔබ රංගනයෙන් තාවකාලිකව ඈත් වුණා. ඉතින් ඒ ස්ථාවරය නැවත් හදා ගන්නේ කොහොමද?

මා වටා හොඳ මාධ්‍ය සහෘදයන් පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් ගෙන් මට නිරන්තරයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.ඒ වගේම මම සමග වැඩ කළ අධ්‍යක්ෂවරු නිෂ්පාදක කණ්ඩායම් මගේ කැපකිරීම් සහ දක්ෂතාවය හඳුනනවා. ඒ නිසා මගේ හැකියාව ගැන විශ්වාස කරනන්න පුළුවන් පිරිසක් සිටින නිසා ස්ථාවරත්වය ගොඩ නඟා ගැනිම එතරම් අපහසු නැහැ.

අහම්බෙන් පවුලට එකතු වුණු අමුත්තා දැන් ලොකුයි නේද?

අනේ ඔව්.. දැන් අවුරුද්දකටත් කිට්ටුයි. දැන් පුතා ගේ පුරා ඇවිදිනවා. වචන අහුලාගෙන කතා කරන්න හදනවා. ඉතින් එයා දිහා බලද්දි ලොකු සතුටක් දැනෙන්නේ. බබාලා තුන්දෙනාගේ හුරතල් වැඩවලින් ගේ පිරිලා තියෙන්නේ..

අශිකා නැවත කොළඹ පදිංචියට ආවා කියලා ආරංචියි?

ඔව්. බබාලා පාසල් යන කාලේ වෙද්දි කොළඹ එන්නයි අපි සැලසුම් කරගෙන හිටියේ. ඉතින් අපි දැන්නුගේගොඩ පදිංචියට ආවා.

දරුවනුත් අම්මාගේ අඩි පාරේම යාවිද දන්නැ?

අනේ මන්දා.. ඔවුන් තෝර ගන්න පාරක යන්න දෙනවා. රංගනය තෝරා ගත්තත් අකැමැත්තක් නැහැ. හැබැයි වෙන ජොබ් එකක් කරන ගමන් තමයි රඟපාන්න වෙන්නේ.

නව අදහස දක්වන්න