අගමැති මැදිහත්වීමෙන් වරාය වර්ජනය අවසන් | දිනමිණ

අගමැති මැදිහත්වීමෙන් වරාය වර්ජනය අවසන්

චන්ද්‍රිකා පෙරේරා
ජීවනී පතිරණ

 * සියලු සේවකයන්ට විශේෂ දීමනාවක්

 * කපාහැරි ප්‍රසාද දීමනා ගෙවයි

 * ජයබහළු දිරි දීමනා මාස 2කින්

වාර්ෂික ප්‍රසාද දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය ආරම්භ කළ සේවක වැඩ වර්ජනය හා උපවාසය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ (11) දහවල් අවසන් විය.

වාර්ෂික ප්‍රසාද දීමනා අඩු කිරීම මුල්කරගෙන එම වෘත්තීය ක්‍රියා මාර්ගය ගෙන තිබුණු අතර ඊට ජාතික සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිතිය ද එක්ව සිටියහ. මේ අතර සේවකයන් සිව්දෙනෙක් වරාය අධිකාරියේ වහලයට නැඟ උපවාසයක් ද අරඹා තිබිණි.

මේ වෘත්තිය අරගලය හේතුවෙන් සියලුම පර්යන්ත සේවා අක්‍රිය වු අතර වරායෙන් පිටත නැව් හතළිහකට ආසන්න ප්‍රමාණයක් නැංගුරම් ලා තිබූ බව අනාවරණය විය. මෙවන් තත්ත්වයක් හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෘත්තිය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් ඊයේ(11) පෙරවරුවේ අරලියගහ මැදුරේ දී පැවැත්විණි. මේ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදීම අවුරුදු ප්‍රසාද දීමනාවෙන් කපා හරින ලද රුපියල් පන්දාස් එකසිය හැත්තෑවක මුදල අද (12) ලබා දීමටත් ජයබහළු පර්යන්තයේ දිරි දීමනා මාස දෙකකින් ලබා දීමටත් එකඟතාව පළවී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ දිරි දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති යෝජනා සාකච්ඡාකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම ඇතුළු එකඟතාවන්ට පැමිණීමත් සමඟ වැඩ වර්ජනය උපවාසය ඇතුළු සියලු වෘත්තීය ක්‍රියා මාර්ගඅත්හැරියහ.

වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවට වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග ,සංවර්ධන උපායමාර්ගහා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, මෙන්ම ජාතික සේවක සංගමයේ උප සභාපති හා මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා යන මහත්වරු ද සහභාගී වූහ. 

 

නව අදහස දක්වන්න