ලක්ෂිකාට පුරුදු නැති දේ මොකද්ද? | දිනමිණ

ලක්ෂිකාට පුරුදු නැති දේ මොකද්ද?

කුඩාකල පටන් ම රංගනයට දස්කම් දැක් වූ නව පරපුරේ නිළියක වන ලක්ෂිකා දිල්රුක්ෂි ජයවර්ධන ගමෙන් නගරයට පිවිසෙන්නේ රංගන ශිල්පිනියක වීමේ සිහිනය සිතේ සිරකර ගනිමිනි. බොහෝ දුෂ්කරතා මැද ඒ සිහිනය සැබෑකර ගන්න ඇය රංගනයේ යෙදෙමින් දිගු ගමනක නිරත වීමට සැරැසී සිටින්නී ය. ඒ නිසාමදෝ පසුගිය දිනවල ලක්ෂිකා ජයවර්ධන සම්මානයකින් ද පිදුම් ලැබුවා ය. මේ ඒ පිළිබඳත්, රංගනයට පිවිසීමේ සිට වර්තමානය දක්වාත් ඈ සමඟ ‘රසමංජරිය’ට කළ සාකච්ඡාවකි.

* පළමුවෙන් ම ඔබ කලා ක්ෂේත්‍රයට පා නඟන්නේ කුමන නිර්මාණයක් ඔස්සේ ද?

මිචෙල් ෆොන්සේකාගේ ‘සුපිරි අන්දරේ’ කියන චිත්‍රපටයයි මගේ පළමු නිර්මාණය වන්නේ.

* ඔබ ටෙලි නාට්‍යවල රඟපෑමට රංගනයෙන් දායක වන්නේ ඊට පසුවද?

ඔව්. ඒ අතර ‘ලොක්කි’, ‘මොණර කඩදාසි’, ‘එළකිරි කඩේ’, කියන ටෙලි නාට්‍ය කිහිපය ම සුවිශේෂයි.

* මේ දිනවල ඔබගේ රංගනය දකින්නට හැක්කේ කුමන නිර්මාණවල ද?

මේ දිනවල මා නරඹන්නන් හමුවට පැමිණෙන්නේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘යකඩ කහවණු’ හා චාමර ජනරාජ් පීරිස්ගේ ‘VVIP’ කියන මේ ටෙලි නාට්‍ය ඔස්සේයි. ඉදිරියේ දී විකාශය වීමට නියමිත ‘ටී ටුවෙන්ටි’ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකමත් මගේ රංගනය ඔබට දැක ගැනීමට ලැබේවි.

* ඔබගේ පවුලේ අයත් කලාවේ නියැළෙන අය ද?

මගේ පවුලේ අය කිසිවකු ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඒ නිසා අද මේතාක් දුරට මා යම් තැනක සිටිනවාද ඒ ගමන පැමිණියේ මා තනිවමයි. මේ ගමනේ දි මට උදව් කළ අය බොහොම සිටියා. ඔවුන්වත් සිහිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

* පසුගිය කාලයේ ක්ෂේත්‍රයේ දී ඔබ බොහොම කතාබහට ලක්වුණු නිළියක් වුණා?

ක්ෂේත්‍රයේදි මට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට වුණා. ඒ සියල්ල සඳහා මා ඇත්ත කතා කළා. නිතර ම මම විශ්වාස කරන දෙයක් වන්නේ කවදා හරි දිනන්නේ සත්‍ය බවයි. ඒ වගේ ම තවත් සමහරු මට රඟපාන්න බැහැ කියලත් කිව්වා. ඒ සියලු දේම මම බොහොම ඉවසීමෙන් අහගෙන සිටියා. ඒත් දවසක මගේ දක්ෂතා පෙන්වනවා කියන අදහස සිතේ තිබුණා.

* පසුගිය දිනවල ඔබ ලබා දුන්නේ ඒ අයට හොඳ පිළිතුරක් ද?

පසුගිය දවස්වල ටෙලිනිස සංසදයෙන් කළ කෙටි චිත්‍රපට තරගයට මා රඟපෑ ‘රූපාන්තරණය’ කියන කෙටි චිත්‍රපටයත් ඉදිරිපත් වුණා. එහිදී මා රඟපෑවේ මහාචාර්යවරයකුගේ බිරියකගේ චරිතයයි. ඒ රඟපෑමට මට මේ කෙටි චිත්‍රපට තරගාවලියේ දි හොඳ ම නිළියට හිමි සම්මානයයි හිමිවුණේ. එහි පැවැතුණු උත්සවය සඳහා ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහත්තයා ඇතුළු බොහෝ ප්‍රවීණයන් රැසක් පැමිණ සිටියා.

* එහිදී ඔබට ඩී. බී. නිහාල්සිංහයන්ගෙන් විශේෂ ඇගයීමකුත් හිමිවුණා ද?

ඇත්තට ම ඔව්. අාචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් කියන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්. ඔහු මට කතා කරලා පැවසුවේ “ලක්ෂිකා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඔයා හොඳ දේවල් තෝරාගෙන, ඒ නිර්මාණවලට සහභාගි වෙන්න. ඔයාලගේ නිෂ්පාදනය පුංචි එකක් වුණත් ඒ ඇතුළේ ඔයා කළ චරිතයේ රිද්මය, ගලායෑම බොහොම හොඳයි” කියලයි. තවත් බොහෝ දේවල් ඔහු පැවසුවා. එතැන ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන උදයකාන්ත වර්ණසූරියත් සිටියා. ඔහු පැවසුවෙත් එවැනි කෙනෙකුගෙන් ඒ විදියේ අදහස් පෙළක් කිසිම කෙනෙකුට පහසුවෙන් හිමි නොවන බවයි.

* අවුරුදු දිනවල දිනවල විකාශය වූ ‘කිඳුරු කුමාරයා’ ටෙලි නාට්‍යයේ ඔබ කළ රංගනය ගැන බොහෝදෙනාගේ කතාබහට ලක්වුණා නේද?

සුදත් රෝහණ මහත්තයා අධ්‍යක්ෂණය කළ මේ ටෙලි නාට්‍යය ටෙලිනිස සංගමයෙන් කළ පළමු ටෙලි නිර්මාණයයි. එහි ප්‍රධාන චරිතයටයි මා පණ පෙව්වේ. ඒ රඟපෑම සඳහා මට බොහෝ ප්‍රතිචාර ලැබුණා.

* ඔබ එහි රඟපාන මිලීගේ චරිතය ප්‍රතිනිර්මාණය කළේ කොහොම ද?

මිලී කියන්නෙ බීරළු ගොතන තරුණියක්. ඒ නිසා මට බීරළු ගොතන්නත් පුරුදු වුණා. මොකද ඒ වනවිට මම බීරළු ගොතනවා දැකලා තිබුණේ නැහැ. මේ නිසා අන්තර්ජාලයට ගිහින් මම සෝදිසි කරලා බැලුවා. ඒ වගේ ම බීරළු ගෙතීම උගන්වන්න කෙනෙකුත් ගෙනැත් තිබුණා. ඒ කෙනාගෙන් මා බීරළු ගොතන්න ඉගෙන ගත්තා.

* ඔය තරමට ම ඔබ ඔවුන්ගේ චරිතවල දැක්ක වෙනස්කම් මොනවා ද?

ඔවුන් වචන ශබ්ද කරන විදිය ගැන මට අධ්‍යයනයක් කරන්න සිදුවුණා. ඒ සඳහා මා කළේ සුදත් රෝහණ මහත්තයාගේ ඒ පළාත ගැන කලින් නිර්මාණය වුණු නිර්මාණ කිහිපයක් ම මේ චරිතය රඟපෑමට පෙර නැරැඹීමයි. ඒ වගේ ම නාට්‍යයේ දි අපට ‘කිඳුරු නාඩගම’ නටන්න වෙනවා. මමත්, මධුශානුත් අපි දෙන්නා ‘කිඳුරු නාඩගම’ කරන ශිල්පියා සමඟ ඒ දේවල් පුරුදු වුණා. මට හැකි උපරිමයෙන් මෙහි මා රඟපෑවත්, මට සිතන්නේ මීටත් වඩා උපරිමයෙන් මට රඟපාන්නට තිබුණු බවයි.

* ඔබ මීට පස්සේ රඟපාන්නේ තෝරා බේරා ගැනීමකින් යුතුව ද?

රූපවාහිනියේ නිතර ම මුහුණ පෙන්න ගෙන ඉන්නවාට වඩා මතක සිටින එක් චරිතයක් මඟින් ක්ෂේත්‍රයේ නමක් ගොඩනැඟෙනවා නම් එවැනි නිර්මාණ කිරීම වඩාත් හොඳයි.

* ඔබ බොහෝ ඡායාරූපවල සැරැසී සිටින්නේ කොට ඇඳුම්වලින්. නිතර ම එලෙස සැරැසෙන්නේ අනෙක් අයගේ අවධානය දිනා ගන්න ද?

ඔබ අසන්නේ බොහෝදෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. බොහෝ පුවත්පත්වලින් හෝ සඟරාවකින් පොටෝ ෂූට්වලට කතා කරද්දි ඒ ගත යුතු විදිය ගැන විස්තර කරනවා. ඒ අදහසට අනුව බොහොම වැදගත් විදියට මගේ ලිමිට් එකට අනුවයි මා ඒ පින්තූරවලට පෙනී සිටින්නේ. අනෙක් කාරණය නම් කොටට අඳින එක ම නිළියත් මම නොවෙයි. පින්තූරයක් බලලා කෙනෙකුව මනින්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ මිනිස්සු කොයිතරම් බුද්ධිමත් ද, ක්ෂේත්‍රයේ ඉන්න අය කොයිතරම් බුද්ධිමත් ද කියන කාරණය ගැන මට තිබෙන්නේ ප්‍රශ්නයක්.

* රංගනයට අමතරව ඔබ නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා ද?

මුලින්ම මම නිවේදිකාවක් විදියට ස්වර්ණවාහිනියෙන් මියුසික් කියන වැඩසටහනටයි පිවිසෙන්නේ. මාස කිහිපයකින් පස්සේ ඒ වැඩසටහන නතර කරනවා. නැවතත් ජාතික රූපවාහිනියේ බ්‍රහස්පතින්දා රාත්‍රි 10 සිට 12 දක්වා ‘රූ. කොම්’ කියන වැඩසටහනත් සමඟයි මා නරඹන්නන් හමුවට පැමිණෙන්නේ. එහිදී අපි කතාබහ කරන්නේ තාක්ෂණය පිළිබඳවයි. තාක්ෂණය කොහොමද නිවැරැදිව ජීවිතවලට භාවිත කරන්නේ කියන කාරණයයි මේ වැඩසටහනෙන් දැක්වෙන්නේ. එහි නිෂ්පාදක ලෙස කටයුතු කරන්නේ රවී අබේවික්‍රමයි. ඒ වගේ ම මේ වැඩසටහන නිකම් ඉඳගෙන කරන්න පුළුවන් වැඩසටහනක් නොවෙයි. තොරතුරු සොයලා මහන්සියෙන් කළ යුතු වැඩසටහනක්. ඒ නිසා බ්‍රහස්පතින්දා දවස ම මම කිසිම කටයුතුතකට වෙන් කරන්නේ නැතිව ඒ වැඩසටහන වෙනුවෙනුයි වෙන් කරලා තියෙන්නේ.

තිලානි ශානිකා

නව අදහස දක්වන්න