සීගිරිය නව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය ඇරඹෙයි | දිනමිණ

සීගිරිය නව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය ඇරඹෙයි

ජීවනී පතිරණ

සීගිරිය ලොව සුවි‍‍ශේෂිත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමේ දැවැන්ත වැඩසටහනක් රජය අරඹයි.

විදේශ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අරඹා ඇති මේ දැවැන්ත වැඩපිළිවෙළ යටතේ දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය යොමු වෙන අයුරින් නව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සීගිරිය ප්‍රවර්ධන කිරීමට සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ යටතේ ඓතිහාසික වටිනාකමින් යුත් කලාප සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාට හිමි වෙන අතර එහි පවතින ඓතිහාසික වැදගත්කම පිළිබඳ හඳුන්වා දීමක්ද සිදු කෙරේ. ඒ යටතේ ඓතිහාසික සීගිරි පුරවරයේ යටිතල පහසුකම් නිසි ප්‍රමිතියෙන් නංවාලීමටත්, හෝටල් කර්මාන්තය නඟා සිටුවීමටත්, සංචාරක මඟපෙන්වනන්ගේ තත්ත්වය උසස් කරමින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ දැවැන්ත වැඩසහනක් මේ වන විටත් ආරම්භ කර ඇත.

සංචාරක මඟපෙන්වන්නන් සඳහා නිල ඇඳුමක් හඳුන්වා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ. එමෙන්ම සංචාරක සේවා සපයන හෝටල් ආපනශාලා, සහ නිවාඩු නිකේතන සඳහා අනුමත බලත්‍රයක් නිකුත් කිරීමටද කටයුතු යොදා තිබේ.

සංචාරකයන් සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු හිතකර ආහාර පාන සැපයෙන අවන්හල් සඳහා“tourist friendly eating place" නමින් නව ලාංඡනයක් හඳුන්වාදීමටද අධිකාරිය මඟින් කටයුතු යොදා තිබේ.

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සීගිරි පුරවරයේදී පසුගිය(09)දා හඳුන්වා දුන්නේය.

නව වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි කටයුතු සහ ඉඩම් ඇමැති ජෝන් අමරතුංග මහතා මෙසේ කීය.

සහතික නොලද සංචාරක මඟ පෙන්වන්නන් පිළිබඳ පැමිණිලි රැසක් අප වෙත ලැබී තිබෙනවා. ඉන් බොහෝ අය තැරැව්කරුවන් ලෙස පෙනී සිටින්නන්. මෙය අපේ රටේ කීර්ති නාමයට හානියක්. ඒ පිළිබඳ සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තරයට යෑමට ඉඩ තිබෙනවා. පසුගිය දිනවල බීච් බෝයිස්ලා නිසා සංචාරක කර්මාන්තයට දැඩි හානියක් සිදු වුණා. ඒනිසා සංචාරක මඟ පෙන්වන්නන්ට නිසි පුහුණුවක් ලබා දී ඔවුන්ගේ වෘත්තීය ගරුවත්වය ආරක්ෂා කිරීමට රජය තීන්දු කර තිබෙනවා.

වසර 2020දී සංචාරක කර්මාන්තයෙන් මිලියන 15ක ආදායමක් ඉපැයීම අපේ අභිලාශයයි. අද සීගිරි පුරවරයේ අංග සම්පූර්ණ පොලීසියක් ස්ථාපිත කර තිබෙනවා. සංස්කෘතික ත්‍රිකෝණයෙන් ලබා ගන්නා ආදායම යටි මඩි ගසන්නේ නැතුව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොමු කළ යුතුයි. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ නිසා සංචාරක කලාපවල ත්‍රිරෝද රථ, ටැක්සි ලියාපදිංචි කිරිම කෙරේ අවධානය යොමු වී තිබෙනවා. සීගිරි පර්වතය ආසන්නයේ බීමට ජල බෝතලයක් ලබා ගැනීමට පවා ස්ථානයක් නැතැයි සංචාරකයෙක් මා සමඟ පැවසුවා. ඒ පිළිබඳ විෂය භාර ඇමැති ලෙස මම කනගාටු වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම කෙරේ මගේ අවධානය යොමු වුණා.

සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන, අධ්‍යක්ෂ ජෙනරාල් මල්රාජ් කිරිඇල්ල, යන මහත්වරුද අධිකාරියේ නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

නව අදහස දක්වන්න