අවුරුදු නැකැත්වල වැරැද්දක් නැහැ | දිනමිණ

අවුරුදු නැකැත්වල වැරැද්දක් නැහැ

මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කිරීම සඳහා යොදා ගත් නැකැත්වල කිසිදු වැරැද්දක් නොමැති බව රාජ්‍ය නැකැත් කමිටු සමාජිකයන් ප්‍රකාශ කළහ.

මත භේදයට තුඩු දී ඇති මෙම වසරේ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති  අතර එහිදී මෙම කමිටුවේ සමාජිකයන් මේ බව ප්‍රකාශ කළහ.

එවකට පළ වූ ලිත්වල විවිධ ආකාරයෙන් නැකැත් පල වීම හේතුවෙන් 1983 සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජමු ලොකුබණ්ඩාර මහතා සමාජිකයින් 30කින් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුව පත් කළ බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසීය.

මෙම කමිටු ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිෂ්‍යවේදීන්ගෙන් සහ ලිත් කර්තෘවරුන්ගෙන් සමන්විතය වන බවත් ආණ්ඩු මාරු වුවාද මෙම කමිටුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තම කණ්ඩායමේ සමූහික සංවාදයක් තුළින් අලුත් අවුරුදු නැකැත් තීරණය ගනු ලබන බව එම කමිටු සමාජිකයෝ පෙන්වා දෙති.

බස්නාහිර දිශාව අසුභ දිශාවක් නොවන අතර එම දිශාව බලා 1862 සිට අවස්ථා 24 කදී හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කර තිබෙන බවත් ආහාර අනුභවය සහ වැඩඇල්ලී චාරිත්‍රය ද අවස්ථා 31කදී ඉටු කර තිබෙන බවත් මෙම රාජ්‍ය නැකැත් කමිටුව පෙන්වා දුන්නහ.

එම කමිටුව පෙන්වා දෙන්නේ සෑම වර්ෂයකම ජුනි මාසය වන විට අදාළ වර්ෂයේ නැකැත් ලිත සකස් කර සංස්කෘතික අමාත්‍යාංශයට භාර දීමෙන් පසු එම අමාත්‍යාංශය මඟින් එය ප්‍රකාශයට පත් කරන බවයි.

අනාදීමත් කාලයක සිට ග්‍රහයන්ට හිමි පාටක් තිබෙන අතර ඒ අනුව එම නැකැත් චාරිත්‍රවලට යොදා ගත යුතු පාට තීරණය වන බව ද එම පිරිස වැඩිදුරටත් පෙන්වා දුන්නහ.

 

නව අදහස දක්වන්න