පක්ෂයකට එක් නායකයෙක් බව උගන්වන්න වෙලා | දිනමිණ

පක්ෂයකට එක් නායකයෙක් බව උගන්වන්න වෙලා

නිරුෂි විමලවීර

එක් දේශපාලන පක්ෂයකට එක් නායකයකු පමණක් සිටිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතාට ඉගැන්වීමට සිදුව ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

සෑම පුද්ගලයකුටම සිටින්නේ එක් මවක් පමණක් බව අවධාරණය කළ ඒ මහතා ඒ අයුරින්ම පක්ෂයකටද සිටිය හැක්කේ එක් නායකයෙක් පමණක් යැයිද පැවසීය.

ප්‍රධාන ඇමැතිවරයා එසේ සඳහන් කළේ බස්නාහිර පළාත් මහ ඇමැති කාර්යාලයේදී ඊයේ(19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ශ්‍රීලනි පක්ෂයේ විනය අනුව පක්ෂයට ගරු කරන නායකයෙක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය යුත්තේ පක්ෂයේ මැයි රැළියට බවද

පක්ෂයේ බෙදන්න, පාක්ෂිකයන් අතරමං කරන්න, පාක්ෂිකයන් දෙකඩ කරන්න රාජපක්ෂ මහතාට කිසිඳු අයිතියක් නැතැයිද ඇමැතිවරයා අනාවරණය කළේය.

සැබෑ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් එක්වන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පක්ෂ මැයි රැළියට බව තමාට පැහැදිලි බව කී මහ ඇමැතිවරයා ඇතැම් පාක්ෂිකයන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හේතුවෙන් අන්ද මන්ද වී සිටින බව කීවේය. ගාල්ලේ පැවැත්වෙන මැයි රැළියේදී ආසන සංවිධායකවරු, පක්ෂයේ ක්‍රියාකාරීන්, පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරු, ඇමැතිවරු ප්‍රථම වරට හමු වෙන බව පැහැදිලි කළ ඒ මහතා එය සාර්ථක මැයි රැළිය වෙන බවට දැනටමත් තොරතුරු අනාවරණය වෙන බව කීය.

ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ට නිසි තැන හිමි වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බව කී ඒ මහතා පසුගිය කාලේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ට හොඳ අමාත්‍යාංශ නොලැබුණ බවත් එවකට පක්ෂයේ ඇමැතිවරුන්ට කතා කිරීමේ නිදහස පවා ඇහිරී තිබූ බව පැවසීය.

“අපි සියලු දෙනා පක්ෂයේ මුල් බීජයෙන් පැමිණි අයයි. බද්ද වූ අය නොවෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන්නේ අද කතා කරන අය නොවෙයි. පක්ෂ හා නායකත්වය සමඟ සිටින අයයි . ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තිබෙන්නේ එක් මැයි රැළියයි. එය ගාල්ලේ පැවැත්වෙනවා. දේශපාලන එක හතුරෙක් අපිට සිටිනවා. පක්ෂ තුළ හතුරන් සිටින්න බැහැ. ජවිපෙ තුළ කුමන වාද භේද තිබුණද ඔවුන් පක්ෂයක් ලෙස එකට එක්වී මැයි රැළියට එක් වෙනවා. එසේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්වී මැයි රැළියට යා නොහැකි මන්දැයි‘‘ ප්‍රශ්න කරන බවද වැඩි දුරටත් කීවේය.

බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමැති ගාමිණි තිලකසිරි, සෞඛ්‍ය ඇමැති සුමිත් ලාල්ද මෙන්දිස්, අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ ,ප්‍රවාහන සහ සමූපකාර ඇමැති ලලිත් වනිගරත්න, යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ. 

නව අදහස දක්වන්න