විනිසුරුවරයකු ලෙස ඇමැතුමක් දුන් සැකකරු අධිකරණයට | දිනමිණ

විනිසුරුවරයකු ලෙස ඇමැතුමක් දුන් සැකකරු අධිකරණයට

සුභාෂිණී සේනානායක

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට අදාළ සැකකරුවකුට ඇප ලබා දෙන ලෙසට විනිසුරුවරයෙක් බව කියමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඇමැතුමක් දුන් බන්ධනාගාරගතව සිටින සැකකරු ලබන මැයි මස 3 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (19) නියෝග කළාය. අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළාය. අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

කඩුවෙල අධිකරණයේ පවතින හෙරොයින් නඩුවකට අදාළ සැකකරුට සහනයක් ලබා දෙන ලෙස මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා කතා කරන බවට හඟවමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දුන් ඇමතුම ලබා දී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති දුරකතනයකින් බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් එම දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවකු වන සුජිත් කුමාර නමැත්තා බවට අනාවරණය වූ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු මෙවැනිම ඇමතුම් විශාල ප්‍රමාණයක් විනිසුරුවරුන් ලෙසින් සහ රජයේ නිලධාරීන් ලෙසින් විවිධ කාර්යාලවලට ලබා ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් සමඟ සහයෝගයෙන් සිදුකළ මෙහෙයුමකින් පසුව මෙම දුරකතනය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

නව අදහස දක්වන්න