පසුගිය රජයට පාරවල් හදන්න ටෙන්ඩර් පටිපාටියක් තිබුණේ නැහැ | දිනමිණ

පසුගිය රජයට පාරවල් හදන්න ටෙන්ඩර් පටිපාටියක් තිබුණේ නැහැ

සමන්මලී ප්‍රියශාන්ති

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණයේදී ජයග්‍රහණය කළේ නම් අපේ රටට ජාත්‍යන්තර වෙළෙඳ තහංචි වැටෙන්නට ඉඩ තිබුණු බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

රුපියල් කෝටි 228 ක වියදමින් පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරමින් පැවති උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ විදේශ ආධාර අපේ රටට ලැබුණෙ නැහැ. අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට ලක් වෙලා කොන් වෙලා තිබුණේ. මානව හිමිකම් සංවිධාන මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා 03 ක්, අවුරුදු 03 ක් සම්මත කිරීම නිසා ලෝකයා අපෙන් ඈත් වෙමින් තිබුණා.

වසර දෙකක පාලන කාලයක් තිබියදී මැතිවරණයක් පැවැත් වූයේ රට ඉදිරියට ගෙනියන්න බැරි බව මහින්ද රාජපක්ෂ දැනගෙන හිටිය නිසයි. සමහරු කියනවා දෛවඥයින්ගේ කීමට මැතිවරණයක් තිබ්බා කියලා. ඒවා විහිළු කතා. 1950 වන විට ලෝකයේ කිසිම රටක් චීනය සමඟ සම්බන්ධකම් පැවැත්වුයේ නැහැ. 1952 ආර්.ජී සේනානායක මහතා තමයි චීනය සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළේ. අපෙන් රබර් දෙන්නත්, චීනයෙන් සහල් දෙන්නත් ගිවිසුම් ගත වුණා. ඒ ගිවිසුමට එදා බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. හැබැයි ඒ අයම පසුව ඒ ගැන හොඳ කිව්වා. පසුගිය රජය කාලයේ පාරවල් හදන්න ටෙන්ඩර් පටිපාටියක් තිබුණේ නැහැ. තියපු මුල් ගල් අසීමිතයි. ක්‍රියාත්මක වූ දෙය සීමිතයි. මගේ අමාත්‍යාංශයේ නිලධාරින් මුල් ගල් තියන්න මට කියන කොට මම කියන්නේ ඒවා පැලවෙන්න දෙන්න එපා කියල යැයි කීවේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ෂමල් සෙනරත් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 

නව අදහස දක්වන්න