www.guru.lk සමඟ සංගා | දිනමිණ

www.guru.lk සමඟ සංගා

 ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු, වෘත්තිකයෙකු මෙන්ම විශිෂ්ට ලාංකිකයෙකු වන කුමාර් සංගක්කාර සමඟ නායකත්වය පිළිබඳව සිදුකරන සුවිශේෂී පාඩම් මාලාවක්, අන්තර් ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් ආරම්භ කිරීමට සූදානම් වේ.

ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ ‘සංගා’ යන නාමය බැබළවීම සඳහා ඔහුගේ අවුරුදු 15ක ක්‍රිකට් ජීවිත කතාවේ කැපී පෙනුණු කරුණු කාරණා, සිද්ධීන් සහ වෘත්තාන්ත ආකාරයෙන් විස්තර කෙරෙන පාඩම් 20කින් යුතු මෙම අන්තර්ජාල පාඨමාලාවෙන් නායකයෙකු ලෙස අභියෝගයන්ට මුහුණදීම සහ තීරණ ගැනීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබාදෙනු ඇත. මෙම පාඨමාලාවට සාමාන්‍ය පරිගණකයක්, ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් මාර්ගයෙන් www.guru.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය.

‘නායකයෙකු වීම - ක්‍රිකට් වෙතින් පාඩම්’ යන අරුතින් යුතුව මෙම පාඨමාලාව නම්කර තිබෙන්නේ Being a Leader – Lessons from Cricket යනුවෙනි. කුමාර් සංගක්කාරගේ පුද්ගලික අත්දැකීම් ඔස්සේ සකස් කර තිබෙන මෙම පාඨමාලාව මගින් ලැබෙන ආදර්ශ තමන්ගේ පුද්ගලික, වෘත්තීය සහ සමාජ ජීවිතය කෙරෙහි අදාළ කර ගැනීමේ හැකියාව මේ තුළින් ප්‍රජාවට හිමිවේ. මෙම පාඨමාලාව දිනකට රුපියල් 10ක ගාස්තුවක් යටතේ දේශීය පුද්ගලයින්ට හැදෑරිය හැකි අතර විදේශීය පුද්ගලයින්ට ණයපත් මගින් හෝ පේපෑල් සේවාව මගින් එක් වරකදී මුදල් ගෙවා පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව හිමිවේ. “Guru.lk සම්පත් දායකයින්ගේ මඬුල්ලට කුමාර් සංගක්කාර මහතා සම්බන්ධ කර ගැනීමට හැකිවීම අපට ගෞරවයක්,” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම වෙබ් අඩවියේ හිමිකාරීත්වය දරමින් එය කළමනාකරණය කරන හෙඩ්ස්ටාර්ට් ප්‍රයිවඩ් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, හසිත දෑල මහතා පවසයි. “ක්‍රිකට් පිටියේදී මෙන්ම පිටතදීත් නායකත්වය ලබාදීම වෙනුවෙන් ඔහු සියලුම වයස් කාණ්ඩවල මිලියන ගණනක ජනතාවගේ නොමද ආදරයට සහ බුහුමනට පාත්‍රවී තිබෙනවා. එසේම, ක්‍රීඩාවේ තවත් බොහෝ උසස් පුද්ගලයින් සමඟ ඔහු ක්‍රීඩාකර තිබෙන අතර තවත් බොහෝ පිරිසක් ‍සමඟ සම්බන්ධතා පවත්වනවා. මේ නිසා, වෘත්තීය ජීවිතයේදී හෝ පුද්ගලික ජීවිතයේදී සාර්ථකත්වයට පත්වීමට ඔහුගේ දැනුම මෙන්ම සහයෝගයද ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති.”

මෙම පාඨමාලාව ඩයලොග් හෝ මොබිටෙල් පෙර හෝ පසු ගෙවුම් සම්බන්ධතාවයකින් මිලට ගත හැකි අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක වේ. මෙම පාඨමාලාව තම E Learning වැඩසටහන් සඳහා එක්කර ගැනීමට කැමති සමාගම් වලට ඒ සඳහා අවස්ථාව තිබෙන බව හෙඩ්ස්ටාර්ට් ආයතනය පවසයි.

නව අදහස දක්වන්න