මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන්නේ නැහැ | දිනමිණ

මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන්නේ නැහැ

 විජයානි එදිරිසිංහ

මූල්‍ය අපරාධ කොට්ඨාසය කිසිසේත් අහෝසි නොකරන බවත් අනිවාර්යයෙන්ම එහි පරීක්ෂණ කටයුතු තවත් පුළුල් කරන බවත් නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

රාජ්‍ය මුදල්, දේපළ සොරකම් කිරීමේ චෝදනා ලැබූ පුද්ගලයන්ට එරෙහි පැමිණිලි කඩිනමින් විභාග කිරීමට කටයුතු කරන බවත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

රජයත් මහජනතාවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ ඒ අරමුණ පිරිසිදුවත් අපක්ෂපාතීවත් ඉටු කිරීම සිය අරමුණ බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.

ඒ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ගෑවුණු සෑම කෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරීක්ෂණ මේ වන විටත් අවසන් වෙමින් පවතින බව පවසන ජයසුන්දර මහතා අද හෙටම ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවද ප්‍රකාශ කළේය.

තවද මෙම පරීක්ෂණ විධිමත්ව සහ සැලසුම්ගතව සිදුවිය යුතු බැවින් ඒවා ඒ ආකාරයෙන් කරගෙන යන බවත් මෙම පරීක්ෂණවලදී කිසිදු දේශපාලන පළිගැනීමක් නැති අතර පුද්ගලයා කවුරු වුවත් එම ඝාතනයට සම්බන්ධ සෑම කෙනකුම අත්අඩංගුවට ගන්නා බවද ප්‍රකාශ කළේය.

පොලිසිය කිසිසේත් දේශපාලනීකරණය වෙන්නේ නැහැ. විවේචන කරන පුද්ගලයන් මොන දේ කීවත් කළත් වැරදි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත් නවත්වන්නේ නැති බවත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම තොරතුරු හෙළිදරව් කළේ නිල වශයෙන් ඔහු එම තනතුරේ ඊයේ වැඩ භාරගෙන පොලිස් මූලස්ථාන නිලධාරීන් සහ ‍නිලධාරිනියන් ගෞරවාචාර පෙළපාලියෙන් පසු හමු වී අනතුරුව පැවැති මාධ්‍ය හමුව අවස්ථාවේදීය.

පොලිස් දෙපාර්තමේන්තුව යන්න හැඳින්වුවත් මෙය වැඩි වගකීම් ඇති විශේෂ වු සේවාවක් බැවින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය මත පොලිසිය 'ශ්‍රී ලංකා පොලිසිය' යනුවෙන් හැඳින්වීමට පොලිස්පතිවරයා විසින් සැලසුම් කර තිබේ.

'මෙහෙයුම් පොලිසියෙන්' බැහැරව මානුෂීය සේවයකින් යුත් මහජන පොලිස් සේවාවක් හරහා බුද්ධිමය තොරතුරු මත පදනම් වූ පොලිස් සේවාවක් ඉටු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කරගෙන යයි.

ප්‍රජා පොලිස් සේවාව ශක්තිමත් කර මහජනතාවට ඒ හරහා සුවිශේෂී සේවාවක් ඉටු කරදීමට පොලිස්පතිවරයා විසින් දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් තුරන් කර දැමීමේ රජයේ අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහාද, මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, අපරාධ නිවාරණය සහ විසඳීම, අපරාධ විසඳීමේ ප්‍රතිශතයට සාපේක්ෂව වැරැදිකරු වීමේ ප්‍රතිශතයද ඉහළ නැංවීම, අපරාධ විසඳීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම, නවීන තාක්ෂණය අපරාධ විමර්ශනයට තව තවත් දායක කර ගැනීම, මහේස්ත්‍රාත් අධිකරණවල නඩු මෙහෙයවීමේ කටයුතු වෘත්තීමය භාවයක් සහිතව වර්ධනය කිරීම, මාර්ග ආරක්ෂාව සහ අනතුරු අඩු කර ගැනීම, රථවාහන තදබදය අඩු කර ගැනීම, විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රටේ ජනතාව මුදා ගැනීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඉදිරි සැලසුම් අතර ප්‍රමුඛත්වයක් හිමි වී තිබේ.

පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහාද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මහජන සේවයට මුලිකත්වයක් දෙමින් පොලිසිය මහජනතාවටත් මහජනතාවට පොලිසියත් වන අයුරින් ඔවුන් වෙනුවෙන් විශාල සේවයක් ප්‍රජා පොලිස් සේවය හරහා ලබාදීමටද කටයුතු යොදා ඇත. 

නව අදහස දක්වන්න