මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන් | දිනමිණ

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන්

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

කොළොන්නාව ප්‍රදේශවාසීන්ට වසර 30 ක කාලයක් මුළුල්ලේ මහත් හිරිහැරයක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කෙරෙන ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම ‍ඊයේ (5) පෙරවරුවේ එම කසළ කන්ද පාමුලදී සිදුකෙරුණි.

බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා එංගලන්තයේ එස්. ජේ. පී. වේස්ට් ටූ එනජි සමාගමේ අධ්‍යක්ෂ ඉම්රාන් අලි මහත්වරු අතර මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.

කසළ කන්ද හේතුවෙන් කොළොන්නාව ජනතාවට සිදුවී ඇති හිරිහැරය සම්බන්ධව අදාළ ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන හා දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ඉදිරිපත් කොට තිබූ දුක්ගැනවිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව එම දෙපළ විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

මේ ගිවිසුම ප්‍රකාරව මෙතෙක් කල් නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ එම ඉඩම මෙදින සිට බස්නාහිර පළාත් සභාව සතුවන අතර කසළ බැහැර කිරීම්වලදී වීදුරු, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය වෙන් වශයෙන් වෙන්කොට තැබීම එම ස්ථානයේදීම කෙරෙන අතර සමාගම අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ එම ස්ථානයේදී සවිකොට නිමකිරීම මාස 6 කදී අවසන් කිරීමට නියමිත බව ද මහ ඇමැතිවරයා කීහ.

මෙහි වැඩ ආරම්භ කිරීමත් සමඟ කුණු කන්දේ කසළවලින් දිනකට කසළ ‍ටොන් 4000 ක් ඉවත් කළ හැකි වන බවද, ඉන් අනතුරුව ක්‍රමානුකූලව සියලුම කසළ ඉවත්කොට නැවත පළාත් සභාව මඟින් මෙම ප්‍රදේශයේ පවතින අඩුපාඩුවක් ලෙස බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගණ හා මල්වතු වැනි දර්ශනීය ඉදිකිරීම් සඳහා නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරකරන බව ද මෙම කසළ බැහැර කරන ක්‍රමය විදේශ රටවල ඉතාම සාර්ථක වැඩපිළිවෙළක් බව ද අවශ්‍ය වූ විටෙක ‍ෙමම බැහැර කරන කසළ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව ද කීය.

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා, මෙම කසළ කන්ද කොළොන්නාවෙන් ඉවත් කොට දැමීම තමා පාර්ලිමේන්තු ධුරය ලැබූ දා සිට තම හදවත තුළ පැවැති බලවත්ම ගැටලුව බව ද, නොයෙක් විට මේ සඳහා සැළසුම් කළත් මෙවර රජයේ අනුග්‍රහය මත පළාත් සභා මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ආරම්භ කරන වැඩපිළිවෙළ ඉතා සාර්ථක දෙයක් බැවින් ඒ සඳහා සිය සහයෝගය ලබාදෙන බව ද කීහ.

කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංග ආරච්චි මහතා,

මේක කොළොන්නාව ජනතාවට තිබුණු විශාලතම ගැටලුවයි. රජයේ අනුග්‍රහය මත යාන්ත්‍රික වශයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළකින් මෙම කුණු කන්ද ඉවත් කිරීමට ගෙන ඇති තීරණය කාලෝචිත පියවරක්.

කොළොන්නාව නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා,

ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය මත බස්නාහිර පළාත් මහ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන මෙම ව්‍යාපෘතිය සාර්ථක වන බව තම විශ්වාසය බව ද කීය.

කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ අනුශාසක විටියල කවිධජ හිමි, කොළඹ මහ නගර සභාවේ වැඩබලන නගරාධිපති ටයිටස් පෙරේරා, නාගරික මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා, කොළොන්නාව නගර සභා නාගරික මන්ත්‍රීන් වන සාලිය වික්‍රමසිංහ, සුදත් සේනක, වී. එස්. ගුත්තිල සිල්වා (විපක්ෂ නායක) හා ප්‍රදීප් රාජකුමාරන් මහත්වරු ද මීට එක්වූහ. 

නව අදහස දක්වන්න