ජපන්නුන්ටත් තොරණ පෙන්වු ආරියදාස මාස්ටර් | දිනමිණ

ජපන්නුන්ටත් තොරණ පෙන්වු ආරියදාස මාස්ටර්

උදිත ගුණවර්ධන
ඡායාරූප - සමන්ත වීරසිරි

තොරණ කලාව කාලය සමග වෙනස් වෙමින් එල් ඊ ඩි තොරණ ඉදිවෙමින් තිබේ. එහෙ‍ත් මෙම වෙනස ගැන ඔහුට එතරම් මනාපයක් නැත. “තොරණක් නම් තොරණක් වගේ තියෙන්න ඕනැ”. මේ අලුත් ක්‍රමවලින් තොරණ හැදුවත් ඒවායේ තොරණ ගතිය හරිම අඩුයි. තොරණ ඉදිකිරීමේදි විදුලි ශිල්පියා සහ චිත්‍ර ශිල්පියා අතර ඇති සබඳතාව ගැන ආරියදාස මහතා ට ඇත්තේ අපූරු උදාහරණයකි.

“අපි දෙගොල්ලො ගහයි පොත්තයි වගේ” . මොටාගෙදර වනිගරත්න, ජයසිරි සේමගේ ,පුෂ්පානන්ද දෙනිපිටිය , ආරියදාසයන්ගේ සමකාලිනයන්ය. අදටත් තොරණ රසිකයන් ගේ සිත් තුළ ඉතිරිව ඇත්තේ එදා සොඳුරු මතකයන්ය.

වෙසක් සඳ නැග එමින් තිබේ බොදුනුවෝ පමණක් නොව සෙසු බැතිමතුන්ද වෙසක් උළෙල‍ට සූදානම් වෙති.වෙසක් සමය ප්‍රතිපත්ති පූජාවේ නියැලෙන මහා මංගල්‍යක් ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරැදි වුවද වෙසක් මංගල්‍යයේ දී ආමිස පූජාවටද ප්‍රමුඛ තැනක් හිමිවේ . එහිදී තොරණ පහන් කූඩු දන්සල් ප්‍රමුඛය. තොරණ දඒ අතරින් ප්‍රමුඛ අංගයකි.තොරණ කථාව අලංකාර දෙයක් ලෙස අපට පෙනුනද තොරණ තරම් තොරණේ කථාව ලස්සන නැත. තොරණ අලංකාර කරන විදුලි ආලෝකය සැපයීම සුන්දර දෙයක් ලෙස අපට සිතුණද තොරණ විදුලි ආලෝක කිරීමේ කථාව අප සිතන තරම් සුන්දර නැත.තොරණ තොරණ ඉදිකිරීමට වෙහෙසෙන්නෝ අපමණය.චිත්‍ර ශිල්පීන් විදුලි ආලෝක කරණ ශිල්පීන් කටු තොරණ ඉදිකරන්නන් ද ඒ අතරින් සුවිශේෂය එයින් විදුලි ආලොක කරණය සැමගේ අවධානය යොමු වූ ඉසව්වකි.

එකල තොරණ ඉදිකිරීම විදුලි රටා ඇතුලු සැම අංගයකින්ම කප්ගසා සිටියේ තොටළඟ තොරණය මෙම තොරණේ ඉතිහාසය අවුරුදු දශක පහ ඉක්මවා යයි. එදවස තොරණක් නරඹනවා නම් තොටළඟ තොරණ නැරඹිය යුතුයැයි කියමනක් තිබුණි නවලෝක තොරණ පිටකොටුව තොරණ ටද පසුකාලිනව මෙම අගය එක්වී තිබුණි. මෙම සැම තොරණක්ම අඩි හැට නොව හැත්තෑවද ඉක්මවා තිබුණි මෙම තොරණවල විදුලි බල්බ ප්‍රමාණය හැට දහස ඉක්මවීම සාමාන්‍ය තත්වයක්ව තිබුණි.

මෙවායේ විස්මිත විදුලි රටා දක්නට තිබුණි. ඒවා නිකම්ම නිකම් විදුලි රටා නොව තොරණ ජාතකයට අදාළ වන ලෙස සකස් කරන ගද විදුලි රටාය. මෙම විදුලි රටා එදවස හඳුන්වන ලද්දේ පොඩි ආරියදාස ගේ විදුලි රටා ලෙසය. නමින් ඔහු පොඩි ආරියදාස වුවද ලොකු වැඩ කළ මිනිසෙකි. වෙසක් සමයේ අතිශය කාර්යබහුල පුද්ගලයකු වන ආරියදාස මහතා මෙවර වෙසක් උළෙලේ දී සිටින්නේ නිහඬවය. එහෙත් ආරියදාස මහතාට අතිශය සුන්දර හා දස්කම්වලින් සපිරි ඉතිහාසයක් තිබේ.

ජීවිතයේ වැඩිකලක් කොළඹ මාලිගාවත්තේ ජීවත් වූ ආරියදාස මහතා අද දිවිගෙවන්නේ මහරගමට නුදුරු ඇරැවුවල ප්‍රදේශයේය. ආරියදාස අද නිහඬ දිවියක් ගත කළද ඔහුට අප සමග කීමට දහසක් දේ තිබේ . අප පැමිණි කාරණය ගැන සාවදානව අසා සිටි ආරියදාස මහතා තමන්ගේ යටගියාව සිහිපත් කළේ පිළිවෙලටය.

මම පුංචි කාලේ ඉඳලම තාක්ෂණයට ලොකුවට උනන්දු වුණා. ඒ උනන්දුව කොච්චරද කියනවා නම් අවුරුදු දහ අට දහ නවය වෙද්දිම මට විදුලි රටා ගැන වගේම වයරින් ගැන ලොකු අශාවක් උනන්දුවක් ඇති වුණා. ඒ උනන්දුව තොරණක් වගේ ඉහළටම ගියා. දවස් වකවානු නම් දැන් මතක නැහැ. මගෙ මතකය හැටියට අවුරුදු හතලිහකට විතර කලින් තමයි මුලින්ම තොරණක් තනියෙන් ගැහුවේ. මම රස්සාවක් විදිහට නොවෙයි මේ දේවල් පටන් ගත්තේ. මිනිස්සු තොරණ බලා සතුටු වෙද්දි ලොකු සංතෝසයක් ඇති වෙනවා.

යූ . ඩබ්ලිව් සුමතිපාල මහතා ගේ ආයතනයක් තිබුණා ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව මම එතැනට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. තම අතීතය සිහිපත්කරද්දී ඔහුගේ මුහුණ දීප්තිමත්ව බැබලුණි . ඔහු පසුගිය දශක හතරට තොරණ තුන් සියයකට අධික ප්‍රමාණයක් ඉදිකර තිබේ. ඔහු සමහර වෙසක් පොයවලට තොරණ පහ හයක් විදුලි ආලෝක කර තිබේ. බොරැල්ල, නවලෝක, පිටකොටුව පමණක් නොව මෑත කාලයේ ඉදිකළ ඉතිහාසයේ දිගම තොරණ වන යුනියන් පෙදෙසේ සිරස තොරණ විදුලි ආලෝකයෙන් අලංකාර කර ඇත්තේද ආරියදාසයන්ය.

මෙරටට පමණක් නොව අන්තර්ජාතිකවද ආරියදාසයන්ගේ නම පැතිර ගිය කාලයක් තිබුණි.

ඉතිහාසයේ පළමු වතාවට මෙරට ශිල්පීන් අඳින ලද මෙරට විදුලි ශිල්පීන් හැඩ වැඩ කළ තොරණක් විදේශයක ප්‍රදර්ශනය කළේ ආරියදාස මහතාය. අසූව දශකයේ මෙරට තොරණක් ජපානයේ ඉදිකළේ ආරියදාස මහතා හා පිරිසය.අද පවා එම සුන්දර මතකයන් ඔහු සිහිපත්කරන්නේ හද පිරි සතුටිනි. අපි ගම්උදාවක ප්‍රදර්ශනය කළ තොරණක් තමයි ජපානයේ ප්‍රදර්ශනය කළේ ‍. මේ වැඩේට ලංකාවෙන් ඔබ විතරද ගියේ ? අප ආරියදාසයන්ගෙන් විමසුවෙමු. මම සහ තව කිහිප දෙනෙක් තමයි ජපානයට ගියේ. උදව්වට ආවේ ජපානේ අය. අපි අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. එතකොට මේ තොරණ කොපමණ කාලයක් ජපානේ පෙන්නුවාද? අප විමසුකල ආරියදාස මහතා ලබා දුන්නේ විශ්මය ජනක පිළිතුරකි. මස හයක් අපි එක දිගට තොරණ පෙන්නුවා. අපේ තොරණ තොරණ කලාවට ජපානයේදී ප්‍රසාදය සහ ප්‍රතිචාරය ලැබුණා.

තොරණ කලාවට නව මං කියා දුන් ආරියදාසයන්ට විශාල ගෝල පිරිසක්ද සිටිති. අද තොරණ විදුලි ශිල්පීන් වැඩි හරියක් ඔහුගේ ගෝලයන්ය .එහෙත් ගෝලයන් නිසා ආරියදාසයන් විශාල පාඩම් ඉගෙන ගත්තතෙකි. ඒ ගැන ඔහු මතකය අවදිකරන්නේ වේදනාබරිතවය. මට ගෝලයන් ගොඩක් හිටියත් මම වඩාත් විශ්වසයෙන් කටයුතු කළ ගෝලයෙක් සිටියා. කවදාවත් එයා ඒ විශ්වාසය බින්ඳේ නැහැ. ඒත් අවාසනාවට එයා මිය ගියා. ඉන්පසු තමයි ප්‍රශ්නේ ඇතිවුණේ. ගෝලයා මිය යද්දි මගේ සන්තකව තිබුණ ලොකුම වස්තුව වු තොරණ උපකරණ සියල්ල තිබුණේ ගෝලයා ළඟ. මේ ටික රුපියල් ලක්ෂ ගාණක් වටිනවා. ඒත් අද ගෝලයා නැහැ. එයාගේ බිරිය මට මගේ තොරණ බඩු ටික දෙන්නේ නැහැ.

අද මම මේ දේ නිසා අසරණ වෙලා. එදා තොරණ නිර්මාණයෙන් දැවැන්තයෙක් වූ ආරියදාස මහතාගේ නෙතග කඳුලක් නැග එන අයුරු අප දුටුවෙමු. අද තොරණ කලාව ලක්ව ඇත්තේ කුමන ඉරණමකටද යන්න අප විමසූ කළ ඔහු අපට ලබාදුන්නේ මෙවන් පිලිතුරකි. මේ වෙද්දි අලුත් පරම්පරාවේ අය මේ වගේ දේවල්වලට කැපවෙන්නෙ නැහැ. එනිසා තොරණ කලාවට අනාගයක් තියෙයිද කියලා සැකයි .

තොරණ කලාව කාලය සමග වෙනස් වෙමින් එල් ඊ ඩි තොරණ ඉදිවෙමින් තිබේ. එහෙ‍ත් මෙම වෙනස ගැන ඔහුට එතරම් මනාපයක් නැත. තොරණක් නම් තොරණක් වගේ තියෙන්න ඕනැ. මේ අලුත් ක්‍රමවලින් තොරණ හැදුවත් ඒවායේ තොරණ ගතිය හරිම අඩුයි.

තොරණ ඉදිකිරීමේදි විදුලි ශිල්පියා සහ චිත්‍ර ශිල්පියා අතර ඇති සබඳතාව ගැන ආරියදාස මහතා ට ඇත්තේ අපූරු උදාහරණයකි. අපි දෙගොල්ලො ගහයි පොත්තයි වගේ . මොටාගෙදර වනිගරත්න, ජයසිරි සේමගේ ,පුෂ්පානන්ද දෙනිපිටිය , ආරියදාසයන්ගේ සමකාලිනයන්ය. අදටත් තොරණ රසිකයන් ගේ සිත් තුළ ඉතිරිව ඇත්තේ එදා සොඳුරු මතකයන්ය.

තොරණකට කොච්චර වියදමක් යනවද? අප සිත්තුළ මතුවූ පැනය ආරියදාසයන්ට ‍වැටහුණේ ඉවෙන් මෙනි .තොරණක් කරනවා නම් ලක්ෂ හැටක්වත් යනවා. බල්බ් විතරක් හැට දහසක් යනවා. ඇත්තෙන්ම තොරණක් කරන එක ලේසි වැඩක් නොවෙයි. එතකොට මේ වියදම පියවා ගන්නෙ කොහොමද ? තොරණක් කරලා වියදම පියවා ගන්න පුලුවන්. ආධාර පරිත්‍යාග වගේම සම්මාදන් එකතු වෙනවා . ඒත් තොරණක් කියන්නේ ආදායම් මාර්ගයක් නොවෙයි. එනිසා මම නම් කවදාවත් සල්ලි ඉස්සරහට දමා ගෙන වැඩ කළේ නැහැ .

කොළඹ නගරයේ ඉදිවන තොරණ පිට පළාත්වලට හයර් කිරිමද අපූරු කතාවකි. කොළඹ ඉදිවන බොහෝ තොරණ පොසොන් පෝයට පිටපළාතවලට හයර් කරති. මෙසේ හයර් කරන තොරණ නැවත කොළඹ ගෙන එන්නේ නැත. යළි කොළඹ රැගෙන එන්නේ විදුලි අාම්පන්න පමණි .එහෙත් තොටළඟ තොරණ කිසිදා කුලියට ලබා නොදුන් තොරණකි.

තොටළඟ තොරණ ආලෝකවත් කරමින් තම ශිල්පී දිවිය ඇරැඹු ආරියදාස අද වනවිට තොරණ තුන් සියයකට වඩා ඉදිකර තිබේ .මට පුදුම සංතොසයක් තියෙන්නේ මගේ සේවය ගැන. මම ලංකාවේ උසම තොරණ වගේම සිරස ඉදිකළ දිගම තොරණටත් විදුලි රටා ලබා දුන්නා. මේ වැඩ ගැන අද මම නිහඬව ලොකු සතුටක් ලබනවා. ආරියදාසයන් මේ කියන්නේ හද පිරි සතුටිනි.

තොරණ ශිල්පියකු ලෙස ආරියදාසයන් කළ මෙහෙවර ගැන ප්‍රවීණ චිත්‍ර ශිල්පියකුවන ආනන්ද ප්‍රේමලාල් මහතා දක්වන්නේ මෙවැනි අදහසකි. ආරියදාස මහතා සුවිශේෂ කෙනෙක් ඔහු තොරණ ජාතක කතාව අනුව තමයි විදුලි රටාව නිර්මාණය කරන්නේ හැම කෙනාටම මේ හැකියාව නැහැ. බල්බ් ටිකක් පත්තු කළාට ඒක තොරණක් වෙන්නේ නැහැ .අද ගොඩක් අය ‍ලයිට් කාරයෝ වුණාට ආරියදාස ළඟටවත් එන්න බැහැ.

ආරියදාස මහතා අද නිහඬ දිවියක් ගත කළද ඔහුගේ එකම සිහිනය බවට පත්ව ඇත්තේ ලබන මීළඟ වෙසක් පෝයට යළි තොරණක් ආලෝකමත් කිරීමය. ආරියදාස මහතා කියන ආකාරයට තොරණක් ඉදි නොකර සිටීම පිස්සු හැදෙන වැඩකි. ඔහුට සල්ලි අවශ්‍ය නැත. අවශ්‍ය කරන්නේ යළිත් තොරණ විදුලි රටාවෙන් ආලෝකවත් කිරීම පමණි.

නව අදහස දක්වන්න