අහිංසක දියණිය හා අභීත දියණිය වෙනුවෙනි | දිනමිණ


 

අහිංසක දියණිය හා අභීත දියණිය වෙනුවෙනි

 මා මුලින්ම බුලියින්ග් (bullying) යන ඉංග්‍රීසි වචනය ඉගෙන ගත්තේ ටොම් බ්‍රවුන්ස් ස්කූල් ඩේස් (Tom Brown’s School Days) නමැති පොතෙනි. එසේ නම් අපේ පවුලේ වැඩි මහලු සහෝදරයන් පවා කුඩා අපට එලෙස හිරිහැර කිරීම වැරදි නොවේදො කියා මගේ කුඩා මනසට තේරුම් ගියත් ඒ ගැන ප්‍රශ්න කළ විට “බුලියින්ග් කියන්නේ තනිකරම වැරදි දෙයක් ඒත්. එය ආසියානු රටවල සංස්කෘතියේ හැටි” වැනි පැහැදිලි කිරීමක් වුවත් ඒ තනිකරම වැරදි බව කියා දෙන්නට තරම් මගේ තාත්තා ලෝකය ගැන දැනීමක් ඇති මිනිසෙක් විය. “ආදරේට පොඩි එකාගේ සරම කැඩුවට මොනවා වෙනවද? ඌව කරේ තියන් ඉස්කෝලේ යන්නේ මම නෙමේද?” වැනි කතාවලින් ලංකාවේ පවුල් ඇතුළේම සිදුවෙන ඡ්‍යෙෂ්ඨයා විසින් කනිෂ්ඨයාට වන හිරිහැරය යුක්ති සහගත කෙරෙයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ සිදුවෙන ‘රැගින්ග්’ යන අක්‍රම කල්ක්‍රියාව (Disorderly Conduct) ගැන ස්වාධීන ගවේෂණයක යෙදෙද්දී ටොම් බ්‍රවුන් ගේ ඉස්කෝල දවස් ගැන පොත සඳහන් වී තිබෙණු දැක පුදුම නොසිතුණි. රැගින්ග් (ragging) ලෙස අප හඳුන්වන මේ සමාජ විරෝධී ක්‍රියාව තනිකරම නීතිය උල්ලංඝනය කිරීමක්, මානව හිමිකම් කඩකිරීමක්, අපරාධයක් ලෙස ඔප්පු කර පෙන්වීමට මා කළ සොයා බැලීම්වලදී මට හමු වූ බොහෝ ශාස්ත්‍රීය ගවේෂණවල රැගින්ග් යන අක්‍රම කල්ක්‍රියාව සෞඛ්‍ය ගැටලුවක් ලෙස අධ්‍යයනය වී තිබෙනු දුටුවෙමි. නැන්දම්මා විසින් ලේලියට වද දීම පරම්පරා ගණනක් පුරා රෝදයක් සේ කැරකීමේ චාරිත්‍රයට සම කොට ලංකාව, ඉන්දියාව, පකිස්තානය ආදී ආසියාවේ සමහර රටවලට විශ්වවිද්‍යාල තුළ සිදුවෙන මේ හිංසනය රටේ අපරාධ නීතියට අනුව දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස නොයෙක් තැන සඳහන් වී ඇත.

නමුත් රැගින්ග් යනු හීනමාන සංකීර්ණය ( inferiority complex) විදහා දැක්වීමක් ලෙස හඳුන්වා ගැනෙන්නේ නම් ඒ වඩා යෝජිත බව මගේ හැඟීමයි. රැගින්ග් යනු මානසික රෝගී තත්ත්වයක් නම් ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම පහසු කටයුත්තක් නොවෙනු ඇත. නමුත් අපරාධකරුවන් ලෙස ගෙන ඔවුන් හිර කඳවුරුවල ගාල් කරනවාට වඩා ඔවුන්ගේ නොදැනුවත්කම, පීඩාව මඟ හැරීම පිණිස උපකාර කිරීමට හැකියාවක් තිබේ නම් ඒ වඩාත් සුදුසුය. නවක වදය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ලෙස නීතියෙන් කටයුතු කිරීම, වද දෙන්නන්ටත් ඔවුන්ට ගොදුරු වීමට ඉඩ ඇති අයටත් මානව අයීතීන් සහ රටේ අපරාධ නීති ගැන දැනුවත් කිරීම අවශ්‍යයෙන් කළ යුතුයි. නමුත් මේ සාමූහික අපරාධය නිසා සිසුන් පීඩාවට පත් කිරීම වළක්වා ගැනීමේ දිගු කාලීන විසඳුමක් ලෙස නවක වදයේ මනෝවිඥානය පිළිබඳ අධ්‍යයනයක් පුළුල් ව සිදු විය යුතු යැයි ඉන්දියාව පුරා නවක වදය නැවත්වීමේ ව්‍යාපෘතියක නිරත වන හාර්ශ් අගාර්වාල් මහතා ‘නවක වදයේ මනෝවිඥානය හඳුනා ගැනීම’ මැයෙන් ඉදිරිපත් කළ ලිපියක සඳහන් කර තිබේ. (www.noragging.com)

අධ්‍යාපන ආයතන තුළ නවකවද දීමේ පුරුදු බටහිර රටවලින් ආසියානු රටවලට පැටවුණු ඒවා ලෙස ඇතැම් තැන සටහන් වී මුත් වර්තමානයේ බටහිර රටවල නවකවදය දීම සැලකන්නේ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙසයි. මිත්‍රත්වය, පෞරුෂය වර්ධනය කිරීමේ අරමුණින් නවකයා පෙළන්නේ යැයි කීවත් කෙනකුට හිරිහැර කිරීමෙන් යහපතක් වගා කරගනු නොහැක. කෙනෙක් කෙනෙකුට වද දීම සතුන් හීලෑ කිරීමට ඔවුන්ට පීඩා ඇති කරනවා වාගේ වැඩකි. වධයට ලක් වූ නවකයා ඊළඟ පරපුරට වද දෙන්නේ තරහා පිරිමසා ගැනීමෙ මනෝවිඥානය තුළ ය. නමුත් තමන් අපාරාධයක ගොදුරක් වූ බවට පිළිගැනීමට නොදාන්නාකම හෝ ලැජ්ජාව නිසා ඔවුහු ද නවකවද හිංසනයට උදවු දෙන්නෝ බවට පත් වෙති.

නවකවදය යන අපරාධය නිසා මානසික පීඩාවට පත්වී ජීවිතය නැතිකර ගත් අය පවා සිටිද්දී ලංකාවේ විශ්වවිද්‍යල තුළ ආචාර්යවරුන්, අපරාධ හා නීතිය පිළිබඳ විශේෂඥයන්, මනෝ විශේෂඥයන්, සමාජ විද්‍යාඥයන්, රටේ පාලකයන් සහ රටේ මහජනතාව එකතු වී ඒ ගැන කඩිනම් පියවර නොගැනීම අවාසනාවකි. අධ්‍යාපන ආයතනයක තුළ සිදු වන නවකවදය පමණක් නොව, වෙනත් තැනකදී වන අතවර, හිංසනයට එරෙහිව පවා යාමට හැකි ශක්තිය තුන්වෙනි ලෝකයේ මිනිසුන්ට සීමිත ය. නමුත් නවකවදයට එරෙහි වීමට ධෛර්ය ඇති නිවට නොවූ පරපුරක් බිහි කිරීම රටේ සැමගේ වගකීමයි. එම දරුවන් රැකීම ඔවුන්ට තමන්ගේ මානව අයීතින් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී නිදහස යන්න උපරිමයෙන් විඳීමට සුදුසු පරිසරයක් ඇති කිරීම සියල්ලන්ගේ වගකීමයි.

මෘදු (mild) නවකවදය සහ දැඩි නවකවදය කියා දෙයක් නැත. එය ගැහැනියක් බයයක ගමන් යද්දී පිරිමින් ඇගේ ශරීරය බලෙන් අතගෑම මෘදු ලෙසත්, හිස් බසය තුළ ඈ දූෂණය කිරීම දැඩි ලෙසත් වර්ග කොට මුලින් කී එකට ඉඩ දීමට ඉල්ලනවා වාගේ තර්කයකි. විශ්වවිද්‍යාල තුළ අයට මේ නවකවද ප්‍රශ්නය විසඳන්නට ඉඩ දෙන්න යන ඉල්ලීමත් එවැනිම එකකි. අපරාධකරුවන්ට සහ අපරාධයට ගොදුරු වන්නන්ට ඒ විසඳා ගන්න ඉඩ දෙන්න කියනවා වාගේ තර්කයකි.

නවකවදය දීමේ පරපීඩක හීනමානී මානසිකත්වය සෞඛ්‍ය ගැටලුවක් නම් ඒ ගැන විසඳුම ජාතික මට්ටමින් ඇති විය යුතු ය. විශ්වවිද්‍යාල තුළට ඇතුළු වන සහ එයින් පිට වන අයගේ මානසික සෞඛ්‍ය දිනෙක රටේ දියුණුවට මහත් සේ බලපාන හේතුවකි.

නවකවදයට එරෙහි වීමට කිසිවකුට පෞද්ගලික හේතුවක් තිබිය යුතු නොවේ. කෙනෙක් තව කෙනකුට හිරිහැර කිරීමට එරෙහි වීමට ඔබ සැමට වගකීමක් ඇත. මා මේ සටහන තබන්නේ පසුගිය වසරේ නවක වදය නිසා ජීවිතය අත් හළ අහිංසක දියණිය සහ මේ වසරේ නවකවද අපරාධයට එරෙහිව නීතිමය ක්‍රියා මඟට බට අභීත දියණියත් වෙනුවෙන් ය.

මේ සටහන ලිව්වේ හාර්ෂ් අගාර්වාල් මහතාගේ ලිපි, රාජෙශ් ගාර්ග් මහතා ඉන්ඩියන් මෙඩිකල් සයන්ස් ජර්නලයේ ප්‍රකාශ කළ ලිපි (Ragging: A public health problem in India) සහ තවත් එවැනි ලිපි, වාර්තා ඇසුරිණි.

හිමාලි එන්. ලියනගේ

[email protected] 

නව අදහස දක්වන්න