රාජ්‍ය නිලධාරීන්ගේ රටාව වෙනස් විය යුතුයි | දිනමිණ

රාජ්‍ය නිලධාරීන්ගේ රටාව වෙනස් විය යුතුයි

ජීවනී පතිරණ
ඡායාරූපය රුවන් ද සිල්වා
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ජාතික සංවිධායක සරත් චන්ද්‍රසිරි විතාන

රටක සිදුවන හදිසි ආපදා අවස්ථාවලදී දිසාපතිවරුන්ගේ සිට ග්‍රාම නිලධාරීවරුන් දක්වා සිදු කරන මෙහෙයුම් විපතට පත් ජනතාවට විශාල පිටිවහලක් වනු ඇත. මෙවන් අවස්ථාවලදී එම නිලධාරීන්ට අසීමිත බලයක් ආයතන සංග්‍රහයෙන් නිරන්තරයෙන්ම පැවරී ඇත. හදිසි ආපදාවන් සිදු වූ අවස්ථාවක ආයතන සංග්‍රහයට හෝ මුදල් රෙගුලාසිවලට අවනත නොවී තම අභිමතය පරිදි ස්ථානයට උචිත ආකාරයට කටයුතු කිරීමේ බලයක් මෙම නිලධාරීන්ට පැවරී ඇතත් එම නිලධාරීන්ගෙන් එවැන්නක් සිදු වන්නේ ද යන්න ගැටලුවකි.

සමහර නිලධාරීන් ආයතන සංග්‍රහයට සහ මුදල් රෙගුලාසිවලට අනුකූලවම එහිදීත් කටයුතු කරන්න යාම නිසා පවතින ආණ්ඩුවට එහි අවලාද විදින්නට සිදුව තිබේ.

හදිසි ආපදාවක් සිදු වූ අවස්ථාවක දිස්ත්‍රික් ලේකම්වරයාගේ පටන් ග්‍රාම නිලධාරියා දක්වා සියලු නිලධාරීන් කටයුතු කිරීමේ දී ඔවුන් මුහුන දෙන යම් අභියෝග රාජකාරීමය වශයෙන් බලපාන්නේ කෙසේද? යන්න පැහැදිලි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධරීයෙකු මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ජාතික සංවිධායක හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා සමග යෙදුණු පිළිසදරකි මේ.

රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අතිශයින් වැදගත් වන්නේ කුමන අවස්ථාවලදී ද?

උපතේ සිට මරණය දක්වාම අවශ්‍යයි. මේ රටේ සම්මත වූ සෑම ක්‍රියාවලියකටම රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ඉතා වැදගත්. ඒ පදනම තමයි තියෙන්නේ. උදාහරණයක් ලෙස මැතිවරණයකදී ස්වාධීනත්වය වගේම රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ඒ අයුරින්ම තිඹිරි ගෙයි සිට මිනී වළ දක්වාම, තවදුරටත් කියනවානම් උප්පැන්න මරණය සහතික නිකුත් කිරීම දක්වාම විහිදී යන්නක්. ඊටත් පසු විශ්‍රාම වැටුප, වැන්දඹු අනත්දරු වැනි අවස්ථා දක්වා රාජ්‍ය සේවය සිදු වෙනවා.

සමහර හදිසි ආපදාවලදී සිය දෛනික වෘත්තීය රටාවෙන් බැහැරව කටයුතු කරන්න සිදු වෙනවා. එය ඔබ දකින්නේ කොයි අයුරින්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මෙවැනි ආපදා අවස්ථාවල පමණක් නොව රාජ්‍ය සේවය හැමවිටම අවස්ථානුකූලව කටයුතු කිරීම අවශ්‍යමයි. එහි ප්‍රමුඛත්වය විය යුත්තේ අවස්ථාව හා අවශ්‍යතාවයි. ඇත්තටම චක්‍රලේඛයක් පාලනය කිරීමේ පනත බොහෝ විට වෙනස් විය යුතු කාලය එළැඹ ඇතැයි මගේ විශ්වාසයයි. වර්තමාන පාලන ක්‍රමයේ නියඟ,ගංවතුර දිස්ත්‍රික්ක වශයෙන් නම් වෙනවා. ඇතැම් දේවල් වෙන් වන්නේ මායිම්වලින්. ස්වභාව ධර්මයට සීමා මායිම් නෑ. ඒ නිසා අපේ රටාව අප මේ ගමන්කරන රටාව වෙනස් කරන්න සිදු වෙනවා.

විශේෂයෙන් ආපදා අවස්ථාවලදී නිලධාරීන් පොතේ හැටියට වැඩ කරන්න යාම නිසා කලට වේලාවට සිය සේවය සිදු වන්නේ නෑ. ඒ පිළිබඳ ඔබේ අදහස?

පොතේ හැටියට වැඩ කරනවට වඩා හිතේ හැටියටයි පාලනය කරන්න ඕනෙ. ලිතයි පාලනය කරන්නේ. ඒ නිසා කාල වකවානුව ලිතයි. නීති රාමුව පොතයි. බොහෝ වෙලාවට අපේ අය ගොඩක් බයවෙලා ඉන්නේ ඔය දෙකටයි. බය න්‍යාය රාජ්‍ය සේවයේ තිබෙනවා. ඒ කියන්නේ වැඩ කළොත් අමාරුවෙ වැටෙනවා කියන එක. අපේ ජීවිතයේ තරුණ, මැදි හා මහලු වැනි විවිධ අවධි පසු කරනවා. මුහුකුරා යනකොට less work less trouble වගේ විශ්‍රාම වැටුප තියාගන්න හිතනවා. එම නිසා ශ්‍රී ලංකා පරිපාලන සේවය දකින දෙය තමයි රාජ්‍ය සේවයේ උසස්වීම් පටිපාටිය, බදවාගැනීම් ක්‍රමවේදය, ස්ථානගත කිරීමේ ක්‍රමවේදය යන මේ සියල්ල කාලානුරූපීව අලුත් විය යුතුයි. නමුත් වර්තමානයේ සිදුවෙලා තිබෙන්නේ යෞවනය යල් පැන ගිය නීති රීති මත සිටීමයි.

අරණායක ප්‍රදේශයේ නායයෑම, කොළඹ ගංවතුර මෙවැනි අවස්ථාවලදී දිසාපතිවරයාගේ සිට ගමේ සිටින ග්‍රාම නිලධාරී දක්වා සේවය කෙසේ සිදු වූණි දැයි ඔබ සිතන්නේ?

මෙහෙමෙයි. ස්වභාව ධර්මයට සීමා මායිම් නෑ වගේම රාජ්‍ය නිලධාරියාට සීමා මායිම් තියෙනවා. එය වෙනස් කරන්න ආකල්ප වැඩි දියුණු විය යුතුයි. එහිදී ආකල්ප සංවර්ධනය වැදගත්. මෙවැනි ආපදාවලදී මිනිසුන්ගේ නැගීසිටීම අප දකිනවා. ඇත්තටම මෙවැනි රටක් ලෝකයේ කොහේවත් නෑ. නමුත් රාජ්‍ය නිලධාරියාට නිශ්චිතව එක වැඩක් හදුන්වා දී නෑ. උදාහරණයක් ලෙස ග්‍රාම නිලධාරී තනතුර. ඔවුන්ට පවුල් 250-300 අතර පරිපාලන කටයුතු සිදු කරන්න වෙනවා. ඒ වගේම පවුල් 2000-3000 වගේ ග්‍රාම නිලධාරී වසම් තිබෙනවා. මේවා පාලනය, කළමනාකරණය කරන්න කාලය මදි. එම නිසා මේවාට කිසියම් නිර්ණායකයක් ඇති කළ යුතුයි. අපි ග්‍රාම නිලධාරියාට බනිනවා. නමුත් ඔවුන්ට ගෙවල් කුලී, ප්‍රවාහන, ලිපි ද්‍රව්‍ය යන අවස්ථා සඳහා ලැබෙන දීමනා බැලුවොත් ඉතාමත් අඩුයි. මම බදුල්ල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප දිසාපති ලෙස වැඩ කළා. ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මොනතරම් කාර්යක්ෂමද කිව්වොත් තමන්ගේ වසමේ වයස අවුරුදු 18 සපුරන අයට උපන්දින සුභපැතුම්පතක් යවල තමන්ගේ හැදුනුම්පත හදාගන්න යැයි මතක් කිරීමක් කරනවා. එදා ඔහු සතුව පැහැදිලිව සංඛ්‍යා ලේඛන තිබුණා.

නමුත් අද මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඇතැම් අය නිශ්චිත සංඛ්‍යා ලේඛන දෙන්න අසමත්. හේතුවම ඔවුන් ක්‍රියාකාරී නැති නිසා. සීමා නිර්ණය හා වසම් වෙන් කිරීමේ කමිටු වාර්තාවක නිර්දේශ දුන්නට ක්‍රියාත්මක වී නෑ.

ආපදා අවස්ථාවල විවිධාකාර දේශපාලන නායකයන් ඒ ඒ ප්‍රදේශවලට එනවා. විවිධ පොරොන්දු ලබා දෙනවා. ඒ ලබාදෙන පොරොන්දු හා එය ඉටු කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්ද?

දේශපාලනඥයන් කරන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. එය නීතිගත කිරීම රජයේ වගකීමක්. එය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්. එම නිසා ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති නීති ගත කළ යුතුයි. හඳුනාගැනීම ක්‍රියාත්මක කිරීම අතර ඝට්ටනයක් තිබෙනවා. දේශපාලනඥයන් ප්‍රශ්න ඉදිරියේ සංවේදී වෙනවා. නමුත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයේ දී පහසුකම් සැපයිය යුතුයි. ඊට කාලීන සැලැස්මක් අවශ්‍යයි. හොඳ ක්‍රමවේද, හොඳ සැලසුම් ගම් මට්ටටම් සිට රාජ්‍ය මට්ටම දක්වා අප සතුව තිබෙනවා. උදාහරණයක් ලෙස ඉඩම් ලබාදීමේ ක්‍රමවේදය. එය දීර්ඝ ගමන් මඟක්. විවිධ ආඥාපනත් යටතේ ඉඩම් ලබාදීමේ දී ක්‍රමවේදය දීර්ඝකාලීනයි. ඇත්තටම මේවා යාවත්කාලීනව වෙනස් විය යුතුයි. එක් පැත්තකින් ආපදා අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ගමන්ම විකල්ප පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ඒහා සමාන්තරවම ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. සියල්ල ලේඛණ ගත කිරීම මත නැවත එය රාජ්‍ය සේවයේ භූමිකාවක් බවට පත් වෙනවා.

මට මතකයි 98,99 වසරවල තණමල්විල නියඟයෙන් පීඩාවට පත් ජනතාව සඳහා මාධ්‍ය ආයතනයක් සහන යාත්‍රා නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එදා ලොරි පිටින් ඇතිතරම් ආධාර ආවා. මිනිස්සුන්ට උසුලාගෙන යන්න බැරි තරමේ ලොකු වතුර බෝතල් දුන්නා. ඇතැම් අය වතුරටික හලලා බෝතලේ ගෙනිච්චා. තවත් අය වහලට සෙවිලි කරගන්න දුන්න තහඩු ටික තැබෑරුමට දීල බෝතලේ ගත්තා. ඒ නිසා මම කියන්නේ මේ සියලු දේ සංඛ්‍යාලේඛන අනුව සටහන් විය යුතුයි. ඒ වගේම මිනිසුනගේ චර්යාවන්ද වෙනස් විය යුතුයි.

ජනාධිපතිවරයා පසුගිය දිනෙක කදිම පණිවිඩයක් දුන්නා. ඒ පළමුව විපතට පත් වූවන් කඩිනමින් මුදවා ගැනීම, පසුව ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීම හා අවසානයේ ආපදාවන්ගෙන් වැළකීමට දීර්ඝ කාලීන විසඳුම් යන යෝජනාවන්. ක්ෂණික, මධ්‍ය හා දීර්ඝකාලීන් විසඳුම් අප දන්නා කාලයේ සිට ඉගෙන ගත් දේවල්. නමුත් මෙය අපේ පාලනාධිකාරියට ඇතුල් විය යුතුයි. ඒ සඳහා ක්‍රියාකාරී විසඳුම් අවශ්‍යයි.

එදා මීරියබැද්ද නාය ගිය අවස්ථාවේ මුළු රටේම අවධානය ඊට යොමුවුණා. එවකට සිටි දේශපාලන නායකත්වය පවා එම ප්‍රදේශයට ගියා. නමුත් එදා ජනතාවට දුන් පොරොන්දුවලින් බහුතරයක් තවම ඉටු වී නෑ ?

ඇත්තටම අප තවම පසුගාමීයි. ප්‍රධාන දෙය තමයි අපට තිබෙන පාරිසරික ප්‍රශ්නය. මොනව කළාත් එම ප්‍රදේශයේ ජනතාවට උපන් ගම දාල එන්න කැමති නෑ. ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කර ජීවනෝපාය ගොඩනැඟීමේ ක්‍රමවේදයක් තිබිලා නෑ. ඒ වගේම එම ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමත් ගැටලුවක්. ඇත්තටම මේ ව්‍යාපෘති ප්‍රමාදවීම පිළිබදව කනගාටු වෙනවා. අප හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න සූදානම්.

ආපදාවක් සිදු වූ මොහොතේ රටේම ජනතාව විවිධාකාර සහන අරගෙන යනවා. විදේශයෙන් පවා සහනාධාර ලැබෙනවා. ඒ වගේම සහනාධාර වැඩිවෙලා බෙදාගන්න පවා නොහැකි වී තිබෙනාව. නමුත් කාලයක් යනාකොට ආපදාවට ලක් වු අය ගැන කවුරුතු බලන්නේ නෑ. ඒ වගකීම දිසාපතිවරුන් ප්‍රමුඛ නිලධාරීන්ට බාර ගන්නවාද?

එදා සුනාමි එන අවස්ථාවේ මම සිටියේ මානව ආපදා කළමනාකරණ සභාවේ ප්‍රධාන විධායක ලෙසයි. එදා අත්දැකීම් බැලුවම පරණ නීතිවල ගැටලු හා පෙර සූදානමක් නැතිකම නිසා අපේ සංවර්ධනයට දායක කර ගන්න නොහැකි වුණා. ඒ අපට පෙර සූදානම පවත්වාගෙන යාමට නොහැකිකමයි. එදා ලැබුණු ආධාර ගොඩක් අපතේ ගියා. විදේශ රටවලින් අපේ රටට එදා ශීත කාලයේ දී අදින උණුසුම් ඇදුම් පවා ආවා. ඒ වගේම බෙහෙත් වැනි දේ. මේවා අවබෝධයක් නොමැතිව ලැබුන ආධාර. පානදුරේ පාසැලක් සුනාමියෙන් විනාශ වූ අවස්ථවේ නැවත එය ඉදිකන්න ජනතාව ඉඩ දුන්නේ නෑ. එම නිසා ආපදා අවස්ථාවක මේ රටේ විවිධ අමාත්‍යාංශ ඒකාබද්ධ ප්‍රවේශක් අනුව ක්‍රියාකාරී විය යුතුයි. එකතැන ගොනුවීමක් නොවී සම්පත් බෙදාහැරීම සිදු විය යුතුයි. ඒ වගේම අන්‍යේන්‍ය සබදතාවයත් අවශ්‍යයි. ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ යුතුයි.

එම නිසා රාජ්‍ය නිලධාරියෙක් කියන්නෙත් මේ රටේ මනුස්සයෙක්නෙ. ඔවුන් ඕනෑම අවස්ථාවක ඇප කැප වී වැඩ කරන්න සූදානම්. මේ මොහොතේ සෞඛ්‍ය අංශයේ හොද වැඩසටහන් ක්‍රියාත්ම වෙනවා. නමුත් එය ඇගයීමක් නෑ. රාජ්‍ය සේවය නියමාකාරයෙන් කළමනාකරණය විය යුතුයි. ඒ වගේම සමාජය ඔවුන්ගේ සේවය අගය කළ යුතුයි. සමාජය නිතරම දකින්නේ රාජ්‍ය සේවකයා හොරෙක් සේවය නොකරන්නෙක් ලෙසයි. ප්‍රතිලාභීන් අයුතු ප්‍රයෝජන ගනියි කියන සැකය ඔවුන් සතුව තිබෙනවා. ඒ නිසා අප සැම විවෘත විය යුතුයි. ඊට සමාජමය ආකල්පයක් අවශ්‍යයි. මෙය සංහිදියාවට කදිම අවස්ථාවක්. පසුගිය දිනෙක වව්වනියාව දිසාපතිවරයා මට කතාකර මොනවද ඔවුන්ගෙන් මේ අවස්ථාවේ විය යුත්තේ කියා විමසා සිටියා. ඔවුන් සිදු වූ ආපදාවේ දුක බෙදාගන්න සූදානම්. නමුත් ඊට මාධ්‍යයක් නෑ.

රජයෙන් කිසිම සහනයක් නෑ යැයි අරණායක ජනතාව නගන චෝදනාව කුමක්ද? මේවා කතා සත්‍යද?

හැමදෙයම රජයෙන් බලාපොරොත්තු වෙන එක ජනතාවගේ පුරුද්දක්. අඩුව දැකීමත් තවත් පුරුද්දක්. සම්මතයක් ලෙස අඩුපාඩු අප අවම කළ යුතුයි. ආරක්ෂක හමුදාව කියන්නේ රජය නොවෙයිද? හැම පහසුකමක්ම රජය කළාට අවාසනාවකට මිනිසුන් දකින්නේ අඩුව පමණයි. රජයක් යනු ඉපදුණු පුද්ගලයෙක් ජීවත් කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. කෙරුනෙ නෑ නොව කෙරිච්ච දේ පෙනිලා නෑ. මෙවැනි ඉඩම්වල නිවාසයක් ඉදිකිරීම හොදද නැද්ද කියන එක සොයා බැලීම ජනතාවගෙත් වගකීමක්. අප කැපවීමෙන් වැඩ කළ යුතු වගේම ජනතාවත් එය ඇගයීමට අවශ්‍යයි. පවතින ක්‍රමය තුළ රාජ්‍ය සේවය වෙනස් නොකොට ක්‍රමවේදය වෙනස් කළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ඊට යෝජනා මාලාවක් සකස් කළා. කෙසේ වුවද රාජ්‍ය සේවය ඉතා උතුම්. එය සියයට සියයක් නැති වුනත් අප මහජන සේවයට කැප වූ අයයි.

එම නිසා මෙවැනි සේවාවකදී සත්‍ය වශයෙන්ම නීතියෙන් බැදුණු වගකීව ද, හැඟීමෙන් බැඳුණු යුතුකමද අතර ගැටුමක් තිබෙනවා. එය අවබෝධ කර ගැනීමේ අවස්ථාවට අප එළඹ තිබෙනාවා.

අප අවදානමකින් පසු සහන සේවා ක්‍රියාත්මක කිරීම සාර්ථකව සිදු කරනවා. නමුත් ආපදාවකට පෙර සූදානම ඊට වඩා වැදගත් නොවේද?

ඇත්තටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා, පරිසර, ඉඩම්, සමාජ සේවා, ආපදා වැනි අමාත්‍යාංශ ආයතන ඒකාබද්ධව වූ නව ප්‍රවේශයක අවශ්‍යතාව මේ මොහොතේ ඉතා වැදගත්. එය විනයක් සහිත සංවර්ධනයක් අවශ්‍යයි. ඇත්තටම මෙය සාමූහික වැඩපිළිවෙලක්. පරිවාස කාලයක් ප්‍රකාශයට පත් කර ඒ කාලය තුළ සමාජ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. අතීත පාඩම් මතකයේ තබාගෙන මේ සියල්ල අප වෙනස් කළ යුතුයි.

ඒ සදහා නව සැලසුම් ක්‍රියාත්මක වෙනවාද?

මේ පිළිබදව කතිකාවතක් ඇති කරන්න පරිපාලන සේවය බලාපොරොත්තු වෙනවා. ඒ සදහා සැලසුම් සේවාව, ඉංජිනේරු, ගණකාධිකාරී, සෞඛ්‍ය යන අංශ දීප ව්‍යාප්තව සම්බන්ධවීටම සූදානම්. රජයේ ප්‍රතිපත්තිය සංහිදියාව හා සංවර්ධනය නම් එවැනි තේමාවක් යටතේ කතාකාවත් ගොඩනැඟීම කාලෝචිතයි. රාජ්‍ය සේවයේ වැඩිදෙනෙක් වෙනස්වීමට කැමතියි. ඊට අවථාව සාදාගැනීමයි වැදගත්. සේවාවල වෘත්තීය අරගලවලට වඩා සේවා වෘත්තීයහ සම්බන්ධතාවය ඇතිකිරීමයි බලාපරොත්තුව.

නව අදහස දක්වන්න