සූකර වස්තුව | දිනමිණ


 

සූකර වස්තුව

 අනුල ද සිල්වා මහත්මියගෙ ‘සූකර වස්තුව’ කතාව කොළඹ පාවිච්චි කළ පොත් විකුණන කඩයක තිබී මට ලැබුණේ 2013 දීය. 1997 වසරේදී නවලිය පත්තරේ පළ වූ බව කියැවුණ ද, 1999 දී පොතක් ලෙස එළි දැක්වුණ මේ වටිනා කතාව එතරම් කලක් යන තුරු කියවන්නට නොලැබීම අවාසනාවකි. ‘සූකර වස්තුව’ කතාවේ පිදීම මා දැක ඇති අලංකාරම එකකි: “අපේ දැරියන් හා ගැහැනුන් දූෂණයට ලක්කිරීමට එරෙහිව සටන් වදින් සියලු දෙනාට ම මෙය උපහාරයක් වේවා.“ කියා එහි ලියැ වී ඇත.

ලිංගික සහ නොයෙකුත් අපයෝජනයට අසුවන ගැහැනුන් සහ දරුවන් කිසි කෙනකුගේ සරණක් නැතිව අපරාධයට ගොදුරු වීම තමන්ගේම දොසක් ලෙස පිළිගන්නා තැනට පත් වෙන අවාසනවන්ත තත්ත්වයේ බරපතළකම වටහා දීම කෙසේ වෙතත් සමහර පවුල්වල මෙවැනි අපරාධ ඕනෑ තරම සිදු වෙන බවට ලෝකයට කියන්නට, දැනුවත් කරන්නට, උපකාර ඉල්ලන්නට අප යොමු කරන්නට සමත් ප්‍රබල කතාවක් සූකර වස්තුවේ ඇත.

මේ එහි එක දෙබසකි: “මගේ පුතා වුණත් ඌ පාදඩයෙක්. මීට වැඩිය තවත් නොසණ්ඩාලකමක් කොයින්ද? අනේ හැබෑට සවිමන් මුදලාලි හිටිය නම් මෙලහකටත් දඬු කඳේ ගහලා. හැබැයි කුසුමෝ උඹත් වග කියන්න ඕනේ.“ එසේ පවසන ඇයම අපරාධය දැක, නිලධාරින් ඉදිරියේ කියන්නේ තවත් කතාවකි “මේ නෝනා මොනවද මේ කියවන්නේ. දෙවියන්ටවත් නැද්ද මේවා පෙනෙන්නේ, මගෙ පුතා එහෙම දෙයක් කරන්නේ නෑ.“

පවුලේ නම්බුව, කට කතාවලට වාගේම, බත සරි කරන පිරිමියා කෝප ගැන්වීමට ඇති බය නිසා නිහඬ වන ගැහැනු සහ දරුවන් තමන්ව රැකිය යුතු පිරිමින් විසින්ම ගොදුරු කර ගැනීමේ දුක්ඛිත අපරාධය ගැන සාකච්ඡා කරමින් අනුල ද සිල්වා කතුවරිය සූකර වස්තුව ලියා ඇත්තේ ඒ කතාව වෙන කිසිම අතුරු කතාවලින් සංකීර්ණ වීමට ඉඩ නොදීය. ඈ විසින් ලබා දෙන්නට යන පණිවිඩය, සමාජය විසින් පැහැදිලිව, සෘජුව වටහා ගැනීම අතිශය වැදගත් බව සිහි තබා ගෙන ඉන් පිට නොපැන මේ කතාව ලියැවී ඇත.

දෙදහස් හතේ කළ දෙවැනි මුද්‍රණයේ පසු පිට කවරයේ මෙවැනි සටහනකි : “සූකරයන් මෙන් ජීවත් වන මිනිස්සු අප අතර සිටිති. මිල්ටන් එවන් මිනිසෙකි. තම බිරිඳ පමණක් නොව තවත් ගැහැනුන් ඔහුට ගොදුරු වෙති. අන්තිමට තම දියණියද ඔහුට බිලිවන්නීය. ඔවුන්ගේ වත ගොත සූකර වස්තුව නමින් එළිදකින්නේ සැබෑ ජීවන ප්‍රවෘත්තියක් ඇසුරු කර ගනිමිනි.“

ඒ ප්‍රකාශය අපට පෙන්වා දෙන්නේ ඌරන් වූ මිනිසුන් කියන්නේ හුදෙක් පිරිමින් පමණක් නොවන බවයි. මිනිසුන් ඌරන් බවට පත් වී ඇතැයි යන කියමන පිරිමින් විවේචනය කිරීමක් නොව අපරාධකාරී සියලු ගැහැනු, පිරිමින් මෙන්ම අපරාධ අභිමුවේ කිසිත් නොකර නොකියා නොදුටුවා සේ සිටිනා හැම මිනිසෙක්ම හඳුන්වා දෙනු පිණිසයි. එවැනි අය සූකර වස්තුවක චරිතයකි, කොටස් කරුවෙකි/කාරියකි. කුසුමලතා, මාලතී, මිල්ටන් යන චරිත වටා ගොඩනඟා ඉදිරිපත් කෙරෙන මේ සත්‍ය කතාව එක සිදු වීමක් ගැන පමණක් නොව මවුවරුන්ට මැද පෙරදිග යන්නට සිදු වෙන පවුල්වල ඕනෑ තරම් අසන්නට හැකි කතාවකි. ඒ නිසා සූකර වස්තුව නමැති පොත එහි සාහිත්‍යමය වටිනාකම තරමටම සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බරපතළ ගැටලුවක් ලිහා දමන්නට ගත් උත්සාහයක් වැනි ය. වරදක් කරන පිරිමියකුගේ පවා නම්බුව රකින්නට සදාචාර ප්‍රතිපත්ති හිස තබා පැමිණෙන සමහර පිරිමින්වත් ගැහැනුන්වත් ගැහැනියකට, දරුවකුට නිදහසේ ජීවත් වීමට නීතියෙන් ඇති අයිතියවත් රැක දෙන්නට උත්සාහ නොකරන්නේ ඇයිද යන්න උත්තරයක් සොයා ගත හැකි ප්‍රශ්නයක් නොවේ. එවැනි සමාජ ක්‍රම තුළ නීතියෙන් පවා පිහිට පතනු නොහැකිව රෝදයක් සේ අපයෝජනය කැරකේ. මවගේ අසරණකම ම දරුවා වෙනුවෙන් නැඟී සිටීමට බාධාවක් වෙයි. “කම්මුල් දිගේ රූරා ආ කඳුළු කැට කිරි උරමින් උන් දැරියගේ කොපුල් තල මත වැටිණ. මවගේ සියලු වේදනා ඒ මොහොතේ සිටම කිරි හා කඳුළු සමඟින් දැරියගේ ජීවිතයට උරුම විය.“

වඩා ශක්තිමත් ලොවක් වෙනුවෙන් අප විසින් රැකිය යුතු අපේ ගැහැනිය උදවු ඉල්ලා සිටිද්දීත් ඒ අපට නොපෙනී යයි. “කුසුමලතා වටපිට බැලුවේ තම ඉකිබිඳුම කාට හෝ ඇසේ දැයි සිතමිනි. එහෙත් කිසිවකු ඈ දෙස බලා සිටින බවක් නොපෙනුණි. ලෙඩුන් බලන්නට එන වේලාව වූ බැවින් වාට්ටු තුළින් මතු වූ ඝෝෂවෙන් සියල්ල වැසී ගියේය“ කියා අනුල ද සිල්වා කතුවරිය සූකර වස්තුවේ කියන්නේ ඒ නිසා විය යුතුය. එවැනි යටපත් වීමක් තුළ කාන්තා හා ළමා අපචාර ගැන කතා කරමින් ලියැවුණ සූකර වස්තුව පොත ද උපහාර ලැබිය යුතුය.

හිමාලි එන්. ලියනගේ

[email protected] 

නව අදහස දක්වන්න