පරණ පව් ගෙවීම | දිනමිණ

පරණ පව් ගෙවීම

ඒකාබද්ධ විපක්ෂයේ සමහරු සඳහන් කරන්නේ පසුගිය රජය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 75%ක් ව පැවැති ණය බර වත්මන් රජය 76%ක් දක්වා වැඩි කර ඇති බව ය. සත්‍ය කතාව එය නොවේ. රාජ්‍ය ආයතන මගින් භාණ්ඩාගාරය ඇපකර ලබා ගෙන තිබූ ට්‍රිලියනයක් තරම් මුදලක් අතහැර ණය ප්‍රතිශත ගණන් බලා තිබෙන බව පෙනේ.

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් චීන සමාගමක් රු. කෝටි 500ක ඉදිකිරීම් ගාස්තුවක් ඉල්ලා ඇතැයි පසුගිය දා සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබිණි. මීට අමතරව පොරොන්දු වූ හා ගිවිසුම් අස්සන් කර ඇති පරිදි ගෙවීම් ප්‍රමාදවීම නිසා මිලියන 10ක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ද ගෙවීමට සිදු වී තිබේ.

සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාර දී තිබෙන්නේ ද හම්බන්තොට වරාය සංකීර්ණය ඉදි කළ (China Habour Constructions) සමාගමට ය. මේ අනුව පසුගිය පාලන සමයේ අපේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ගොඩනඟා තිබෙන්නේ ද වරාය ඉදි කළ සමාගම ය. මේ සම්බන්ධයෙන් එදා ඉංජිනේරුවන් පවා පුදුමයට පත් වූ බව පැවසේ.

සූරිය වැව සුදු අලියා

මේ ඉදි කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රසම්පාදන පිළිවෙතක් අනුගමනය කර නැති බව ද දැන ගැනීමට තිබේ. එසේ නම් වැඩ සිදු වී තිබෙන්නේ වැඩවසම් යුගයේ පැවැති රාජ්‍ය ආණ්ඩුවක ස්වරූපයෙනි. රජුගේ කැමැත්ත නීතිය සේ ම ප්‍රසම්පාදන ක්‍රියාවන් ද ඊට යටත් වේ. එසේ නම් අපේ රටේ වරාය, ක්‍රීඩා පිටිය, ගුවන් තොටුපොළ එදා තනා තිබෙන්නේ රජුගේ තීන්දුවට අනුව වාගේ ය.

ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ මේ සඳහා එම ආයතනයට වැය කිරීමට හැකියාව ඇත්තේ රු.ද.ල. 1200ක පමණ මුදලක් බවය. මේ නිසා ඉතිරි මුදල් දරා ඇත්තේ වරාය අධිකාරියයි. එතනත් ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලි ය. එදා වරාය අධිකාරියට නැව් එන්නේ නැති වරායවල් හදනවා වෙනුවට ඉඳහිට ක්‍රිකට් තරග පවත්වනු ලබන ක්‍රීඩා පිටි ද ගොඩ නැ‍ඟීමට සිදු වී ඇත. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ද හම්බන්තොට වරායට හා මත්තල ගුවන් තොටුපොළට සමාන ය.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ක්‍රිකට් තරග කීයක් පවත්වා තිබේ ද යන්න පැහැදිලි ය. මෙතෙක් එම තරග ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය. අද ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වී තිබෙන්නේ දැඩි අව් රශ්මියක් පතිත වන සූරියවැව ක්‍රීඩාපිටිය බවුසර්වලින් වතුර ඇද තෙම තෙමා සිටීමට ය. එහි ක්‍රිකට් තරග පැවැත්වීම කෙසේ වෙතත් ක්‍රීඩාපිටිය නඩත්තු කිරීමට නම් අධික මුදලක් වැය කිරීමට සිදු වේ. මෙය ද හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළට සමාන ය. මේවා තැනීම සම්බන්ධයෙන් කවුරුන් වග කිව්වත්, කවුරුන් රට ණය කළත්, අවසාන වශයෙන් ඒවායේ වගකීම හා ගෙවා දැමීම රට භාර ගත යුතුය. නැත්නම් රට වෙනුවෙන් බලයේ සිටින රජය බාර ගත යුතු ය. රජය කොළ පාට ද, නිල්පාට ද, රතු පාට ද, කියා වැදගත් නැත. ශ්‍රී ලංකාව අසාර්ථක බංකොලොත් රාජ්‍යයක් නොවීමට නම් මේවා ගෙවා දැමිය යුතු ය. අදාළ ණය වාරික හිඟ පොලිය සමඟ තවදුරටත් නොගෙවන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට ගොස් එම මුදල් ලබා ගැනීමට අදහස් කරන බව ද චීන සමාගම පවසන බව මාධ්‍ය වාර්තාවල දැක් වේ.

මාස 60 කින් අලුත් රටක් නිර්මාණය කිරීම වත්මන් රජය ජනතාවට වූ පොරොන්දුවයි. ඒ සඳහා විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ සමයේ දී ම සැලසුම් කර තිබුණු බව සත්‍යයකි. ඊට අමතරව සැම රජයක් ම වාගේ මෙතෙක් පවත්වාගෙන ගිය එදිනෙදා හා පරිපාලන වියදම් සමඟ සහනාධාර ද ලබා දිය යුතු ය. මීට අමතර පොරොන්දු වූ පරිදි සෞඛ්‍ය හා අධ්‍යාපනයට කරනු ලබන වියදම් ද වැඩි කිරීමට සිදු වේ. රජය රජයේ සේවක වැටුප්, සමෘද්ධි දිමනා ආදිය ද රාජපක්ෂ පාලනයට වඩා වැඩි කර ඇත. රජයේ සේවකයනට පමණක් රු. 10, 000/=ක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමක් සමඟ ම රජයේ වැටුප් බිල වැඩි වී තිබේ.

ණය බරක තරම

වත්මන් රජය රාජපක්ෂ පාලනයට සාපේක්ෂව රජයේ සේවකයන්ගේ වැටුප් 25%කින් වැඩි කර ඇත. මේ නිසා වැටුප් බිල රු. බිලියන 440 සිට 561 දක්වා වැඩි විය. සමෘද්ධි සහනාධාරය 165%කින් වැඩි කර ඇත. මේ නිසා රු. බිලියන 15ක් වූ සමෘද්ධිය සඳහා වෙන් කළ මුදල රු. බිලියන 39ක් විය. විශ්‍රාම වැටුප් 23%කින් වැඩි කළේ ය. එදා රු. බිලියන 126ක් වු රජය දැරූ විශ්‍රාම වැටුප් බිල රු. බිලියන 155 දක්වා වැඩි විය. එසේ ම රාජපක්ෂ යුගයේ රු. බිලියන 32ක් වූ පොහොර සහනාධාරය රු. බිලියන 45 දක්වා 55 කින් වැඩි විය. ඉහත සඳහන් කාරණා කිහිපයක් සඳහා පමණක් පසුගිය රජයට වඩා රු. බිලියන 187 කින් රජයේ වියදම වැඩිකර ගැනීමට වත්මන් රජයට සිදු විය.

පසුගිය පාලනය රටට උරුම කරදුන් ණය කන්දරාව ගෙවීමට සිදු වී තිබෙන්නේ මීට අමතර ව ය. එය ක්ෂණිකව ප්‍රයෝජනයක් නොලබන ව්‍යාපෘති වෙනුවෙනි. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා වැය වූ මුදල රු. කෝටි 3825කි. මේ මුදලට අමතරව වරාය තුළට නැව් ගමනාගමනය සඳහා අවහිරයක් ව පැවැති කළු ගලක් ඉවත් කිරීම සඳහා පමණක් තවත් කෝටි 900ක් වැය කර තිබේ. මේ වරායට නැව් 100ක් පැමිණීමට පමණක් මාස 34ක් වැය වී තිබේ. වරාය සැදීම සඳහා ගත් මුදලට දැන් පොලී ගෙවීමට සිදු වී තිබෙන්නේ රු. 6.2%ක ගිනි පොළියට ය. මසකට ගෙවීමට නියමිත පොලී මුදල පමණක් කෝටි 25කි. වරක් පාර්ලිමේන්තුවේ හෙලිදරව් වූ පරිදි 2014 මැයි මස මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රු. 16185කි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ද මත්තලට, හම්බන්තොට වරායට දෙවැනි නැත.

මේ නිසා රාජපක්ෂ යුගයේ පරණ ණය අපට ගෙවීමට සිදු වී තිබෙනවාය යන්න පැවසීම වත්මන් රජයේ දේශපාලන වාසි ලබා ගැනීමේ සටන් පාඨයක් ම යැයි සඳහන් කරන්නේ කෙසේ දැයි කියන්න දන්නේ නැත.

මහවැලිය සහ මත්තල

ජේ.ආර්. ජයවර්ධන යුගයේ මහවැලි බහුකාර්ය පාරිභෝජනා ක්‍රමය ගැන අප කාටත් මතක ය. එය එම යුගයේ සිදු වූ දැවැන්තම ව්‍යාපෘතියකි. මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිමවීමත් සමඟ ම අපේ රටේ විදුලිය පද්ධතියට එක් වූ ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි විය. ගි.වො.පැ. 1319ක මට්ටමක පැවැති දේශීය විදුලිය ධාරිතාව ගි.වො.පැ. 2032 දක්වා වැඩි වුයේ මහවැලිය නිසා ය. මේ නිසා මහවැලියේ ප්‍රධාන ජලාශ ඉදි කිරීම අවසන් වීමත් සමඟ ම ඊට වැය කළ මුදලේ ණය පොලිය වාරිකය සමඟ ගෙවීම ප්‍රශ්නයක් නොවී ය. ඊටත් වඩා වැඩි මුදලක් රටට උපයා දීමට මහවැලිය සමත් විය. මේ නිසා 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ රජයේ ව්‍යාපෘති ඊට පසුව පැමිණි පොදු පෙරමුණු රජයට බරක් වූයේ නැත. ඒ නිසා ජේ.ආර්. බදු හෝ ප්‍රේමදාස බදු නියම කිරීමට පොදු පෙරමුණු රජයට අවශ්‍යතාවක් නොතිබිණි.

එහෙත් වත්මන් රජයට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ඊට වඩා සුවිශේෂී වූ පරිසරයකට ය. එනම් ආදායම් උත්පාදනය නොකරන ව්‍යාපෘති රැසකට ණය හා පොලිය ගෙවීමට සිදු වීමයි. එවන් සමහර ව්‍යාපෘති රටට අවශ්‍ය නොවේ යැයි මින් අදහස් නොවේ. එහෙත් ඒවා ඉදිකිරීමේ කාලවකවානුව පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.

රටක සංවර්ධනයට සාපේක්ෂව ක්‍රමයෙන් ඉදි කර අවසන් කළ යුතු මහා පරිමාණ ව්‍යාපෘති හදිසියකට වාගේ ඉදිකිරීම් කර අවසන් කළේ මන්ද යන ප්‍රශ්නය මෙහි දී ඕනෑ ම කෙනකුට පැන නගී. මේ දිනවල මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ හා ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ දිගහැරෙමින් ඇත්තේ ඒ පිළිබඳ කතාව දැයි කියන්න දන්නේ නැත. මේ සියල්ල රට ණයකරයක හිර කර තිබෙන බව නම් අමුතුවෙන් කිවයුතු නැත. ඒ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට ආර්ථිකය පිළිබඳ විශේෂ දැනුමක් අවැසි නොවේ.

2005 රටේ ණය බර රු. 21, 39, 521කි. එදා රටේ එක් අයෙක් ණය වී තිබුණේ රු. 110, 086කට ය. එහෙත් 2014 වන විට රටේ මුළු ණය බර 73, 90, 899 දක්වා වැඩි වී තිබිණි. වසර 9කට පසු ජනගහනයට සාපේක්ෂව එක් අයෙකුගේ ණය බර ලක්ෂ 4කට ආසන්නව පැවැතිණ. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ සමහරු සඳහන් කරන්නේ පසුගිය රජය ද.ල. දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 75%ක් ම පැවැති ණය බර වත්මන් රජය 76%ක් දක්වා වැඩි කර ඇති බව ය. සත්‍ය කතාව එය නොවේ. රාජ්‍ය ආයතන මගින් භාණ්ඩාගාරය ඇප කර ලබා ගෙන තිබු ට්‍රිලියනයක් තරම් මුදලක් අතහැර ණය ප්‍රතිශත ගණන් බලා තිබෙන බව පෙනේ. උදාහරණයක් ලෙස ගත් කළ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ණය බර ගෙවීම අවසානේ කොළඹ වරායේවත් ක්‍රිකට් පාලක මණ්ඩයේවත් කාර්යයක් නොවේ. අවසානේ ඒ අය ජාත්‍යන්තර අධිකරණයේ නඩු දැමූවිට ගෙවීමට සිදු වන්නේ ශ්‍රී ලංකා රජයටයි. වරාය අධිකාරිය අලාභ ලබන්නේ නම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් නොමැති නම්, රට වශයෙන් ඊට මුහුණ දීමට සිදු වන්නේ රජයට බව පැහැදිලිය. ඒ අනුව කෙලින් ම රජය මැදිහත් නොවූ, රාජ්‍ය ආයතන (දෙපාර්තමේන්තු නොවන) මැදිහත් කර ගෙන ගත් ණයවල අවසාන වගකීම පැවරෙන්නේ ද රජයටය.

අපනයන ආදායම

මේ නිසා ඇත්ත ණය බර 75%ක් නොව 87%ක් පමණ වේ. මේ තත්ත්වය කෙටියෙන් සඳහන් කරන්නේ නම් 2014 වසරේ ගත් ණය හා ගෙවීමටත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවුණි. මින් අදහස් වන්නේ අදාළ වසරේ රු. 100ක් උපයා ගන්නේ නම් ගත් ණයවල වාරිකය හා පොලිය ගෙවීමට ඊට වඩා මුදලක් වැය වීම ය.

මෙවන් තැනකට රට පත් වීමට රටේ ආදායම අඩු වීම ද හේතුවක් වී ඇත. වත්මන් රජය රට භාර ගන්නා විට ද.ල. දේශීය නිෂ්පාදිතයෙන් 18%ක් වූ බදු ආදායම 10.5% අඩු වී තිබුණි. ගජමිතුරන්ට බදු විරාම දීම ආදායම් බදු ලිපි ගොනු හා වැට් ලිපි ගොනු අඩුකර ගැනීම ද මීට හේතුවකි.

රජයේ ආදායම පමණක් නොව අපනයනය ආදායම ද අඩු කර ගෙන ඇත. වසර 2000 දී 33%ක් ව පැවැති අපනයන ආදායම 2014 දී 15% දක්වා අඩු විය. පසුගිය සමයේ කතා කරන ලද දැවැන්ත සංවර්ධනය අභියස අපනයන ආදායම මෙතරම් අඩු වූවේ හෝ අඩු කර ගනු ලැබුවේ මන්ද යන්න විමසීම වැදගත් ය.

ජී.එස්.පී. බදු සහනය නතර කිරීම හා යුරෝපා රටවලට කරන ලද මත්ස්‍ය අපනයනය තහනම් වීම ද අපනයනය ආදායම අඩු වීමට හේතුවක් වී තිබුණි. මේ කාරණා දෙකට ම බලපැවේ අපේ විදේශ පිළිවෙත බව අමුතුවෙන් කිව යුතු නැත.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා නිසා ක්‍රමයෙන් යුරෝපා වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට අහිමිවීමට පටන් ගෙන තිබුණි. එසේ ම යුද්ධය අවසන් වූ නමුත් බලාපොරොත්තු වූ ප්‍රමාණයට ආයෝජකයෝ නොපැමිණිය හ. මේ කාරණා සියල්ල අපේ අපනයනය ආදායම අඩුවීමට බලපෑ බව පැහැදිලි ය. මේ සියල්ල රටේ ණය අර්බුදයක් දක්වා ගමන් කිරීමට හේතු වුණි.

අද මේ සියල්ලට ම කර ගැසීමට සිදු වී තිබෙන්නේ වත්මන් රජයට බව පැහැදිලි ය. මේ නිසා රජය ජනතාවට පොරොන්දු වු කාරණාවලට අදාළ ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවාට අමතරව කිසිදු ආදායමක් නොලබන ව්‍යාපෘති වෙනුවෙන් ගත් ණය පොලිය සමඟ ගෙවීමට සිදු වී තිබේ. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් මතු වී තිබෙන්නේ ඉන් එක් සැඟවුණු ණය බරකි.

රාම්

නව අදහස දක්වන්න