වරාය දියේ ගිල්ලූ තෙල් ටැංකි විවෘතය | දිනමිණ

වරාය දියේ ගිල්ලූ තෙල් ටැංකි විවෘතය

දුමින්ද සම්පත්

 

රටක් සංවර්ධනය කිරීමේදී ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ඒවා රටට ජනතාවට කෙතරම් දුරට දැරිය හැකිද යන්න විමසා බැලීමද වටී. දියුණුවෙමින් පවතින රටවල සංවර්ධන ය බොහෝ විට සිදුවන්නේ විදේශ ණය ආධාර මත බව කවුරුත් දන්නා සත්‍යයකි. සංවර්ධනය සඳහා ලබාගන්නා ණය මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම ආණ්ඩුවක වගකීමය. ඒ ආණ්ඩු ගන්නා ණය ගෙවන්නට සිදු වන්නේ රටේ ජනතාවට නිසාය. රජයේ විදේශ ණය බර වැඩිවන විට ජනතාව මත බදුබර පැටවේ.

පසුගිය රජය සමයේ සංවර්ධනයට යැයි කියමින් අතිවිශාල ණය කන්දරාවක් ගෙන තිබේ. මෙසේ ලබාගත් ණය මුදල් හරියාකාරව යොදවා ඇත්ද යන්න රට හමුවේ තිබෙන බරපතළ ගැටලුවකි. සංවර්ධන යෝජනා ක්‍රමවල දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට නැගුණු චෝදනා මත මේ වන විටත් පරීක්ෂණ සිදුවෙමින් තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් බරපතළ දූෂණ අක්‍රමිකතා සිදුවූ බවට තොරතුරු පවතී. හම්බන්තොට වරාය විවෘත කිරීමේදී වූ දූෂණ වංචා සම්බන්ධ ගැටලු තවමත් විසඳී නැත. එමෙන්ම හම්බන්තොට වරායේ තෙල් ටැංකි විවෘත කිරීමේදී මහජන මුදල් අයථා ලෙස භාවිතා කොට ඇතැයි නැගී ඇති චෝදනා ද බැහැර කළ නොහැකියි.

තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීම සඳහා දරා ඇති මුදල රුපියල් මිලියන 11104කට අධිකය. තෙල් ටැංකි විවෘත කිරීමේ උළෙල සඳහා පමණක් වරාය අධිකාරිය වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 792කට අධිකය. මෙතරම් මුදලක් වැය කර ඉදිකළ තෙල් ටැංකි වල තෙල් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත්තේ අධිකාරියටත්මහා භාණ්ඩාගාරයටත් සුවිශාල බරක් පටවමිණි.

තෙල්ටැංකි විවෘත කිරීමේ උත්සවයේ වියදම් පිළිබඳවද ගැටලු රැසක් මතුව තිබේ. නිලධාරීන් 40කට වැඩි පිරිසක් හා වාහන, මාධ්‍ය උපකරණ රැසකින් සමන්විත මාධ්‍ය ඒකකයක් වරාය අධිකාරිය සතුව තිබියදී තෙල් ටැංකි විවෘත කිරීමේ මාධ්‍ය ආවරණය ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් සැලසුම් කිරීම, පුවත්පත් දැන්වීම් හා වාර්තා පළ කිරීම සඳහා රුපියල් ලක්ෂ 303කට අධික මුදලක් (රු 30, 391826) බාහිර මාධ්‍ය ආයතනයකට (Media Factory (Pvt) LTD) ලබාදී තිබේ. මෙවැනි කටයුත්තක් වරාය අධිකාරිය සතු මාධ්‍ය ඒකකය හරහා කරවාගත නොහැකි නම් නිලධාරීන්ට වැටුප් ගෙවමින් මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යාම මුදල් නාස්තියකි.

රජය සතු සියලු මාධ්‍ය මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රචාරණ කටයුතු සඳහාම සැදී පැහැදී සිටි යුගයක මෙතරම් විශාල මුදලක් මාධ්‍ය කටයුතු සඳහා බාහිර ආයතනයකට ලබාදීම හිතවතුන් පිනවීමේ ක්‍රියාවලියක්ද විය හැකි ය. මාධ්‍ය කටයුතු සඳහා Media Factory (pvt) Ltd තෝරාගැනීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ විධි විධාන අනුව සිදුව නොතිබීම මඟින් සැකය වඩාත් තහවුරු වේ.

තෙල්ටැංකි සංකීර්ණය පිළිබඳ ප්‍රචාරක කටයුතු සඳහා Magenta (pvt) Ltd, Momentus (pvt) Ltd, tele Trans යන ආයතන තුනට රුපියල් ලක්ෂ 238කට අධික මුදලක් ගෙවීමද පී.බී. නානායක්කාරවසම් හට රුපියල් 192, 500ක මුදලක් ගෙවීමද විගණනය පෙන්වා දෙන්නේ නාස්තිකාර වියදමක් ලෙසය.

තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ පුවරු 08ක් ප්‍රදර්ශනය සඳහා Fast promotions ආයතනයට රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් ද nefesh (pvt) Ltd ආයතනයට පුවරු 12ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් ද ලබාදී ඇතත් එම පුවරු වලින් ආවරණය වී ඇත්තේ හම්බන්තොට හා කළුතර පමණි.

ප්‍රචාරක කටයුතු සිදුකර ඇත්තේ බාහිර හා අතරමැදි ආයතනවල සහාය ලබාගෙන වුවද වරාය අධිකාරියේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ ආහාර පාන, නවාතැන් හා අනෙකුත් වියදම් සඳහා අධිකාරිය රුපියල් ලක්ෂ 7කට අධික මුදලක් වැයකර තිබේ. විවෘත කිරීමේ උළෙලට සහභාගී වූ නිලධාරීන්ගේ ගණනට සාපේක්ෂව කර ඇති වියදම ඉතා අධික බව විගණනය පෙන්වා දෙයි. මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ට අමතරව උළෙලට සහභාගී වූ වරාය අධිකාරියේ නිලධාරීන්ගේ නවාතැන් සඳහා හෝටල් ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 56කට අධික මුදලක් දරා ඇත.

නැටුම් කණ්ඩායම්, වේදිකා සැරසීම් තොරණ ඉදිකිරීම් පසුතල සකස් කිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 69කට අධික මුදලක් දරා ඇති අතර විවෘත කිරීමේ ස්මාරකය සඳහා රුපියල් ලක්ෂ 14කට අධික මුදලක් ද, ආරාධනා පත්‍රය සඳහා රුපියල් ලක්ෂ 5කට අධික මුදලක්ද, උපකරණ කුලියට ගැනීම, වේදිකා සැකසීම, සඳහා රුපියල් ලක්ෂ 64කට අධික මුදලක්ද ප්‍රවාහනය සඳහා රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද කිසිදු වග විභාගයකින් තොරව වරාය අධිකාරියේ මුදල් වලින් දරා ඇත. කාගේ උපදෙස් අනුව වරාය අධිකාරියේ මුදල් මෙසේ නාස්තිකාර ලෙස වියදම් කළද එසේ යෙදවූ නිලධාරීන්ට ද වගකීමෙන් නිදහස් විය නොහැකියි.

මෙම ව්‍යාපෘතිය මේ වන විට වරාය අධිකාරියට සිදුකර ඇති පාඩුව මිලියන ගණනකි. මේ වනවිට තෙල්ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු නවතා දමා තිබුණද තෙල් සඳහා මෙන්ම ඉදිකිරීම් සඳහා ලබාගත් ණය වෙනුවෙන් පොළිය දේශීය මෙන්ම විදේශීය බැංකුවලට ගෙවීමට සිදුව ඇත්තේ කොළඹ වරායේ ආදායම්වලිනි. එය කොළඹ වරායට දැරිය නොහැකිය.

හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීම සඳහා China Exim Bank වෙතින් ඩොලර් මිලියන 65 ලක්ෂයකට අධික (65,094,507.9) ණය මුදලක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකා මුදලින් එකී ණයෙහි වටිනාකම මිලියන 7475කට අධිකය. (රු.7,475,404,523)

ණය මුදල ලබාගැනීමේදී කළමනාකරණ ගාස්තු (Management Fee) සහ ණය බැඳීම් ගාස්තු (Commitment charges) ලෙස රුපියල් මිලියන 501කට අධික මුදලක් (රු 501,638, 484) එකතුකර තිබුණි. මෙම ණය මුදලට මහා භාණ්ඩාගාරය 2015 දෙසැම්බර් 31 දින වනවිට රුපියල් මිලියන 2218කට අධික මුදලක් (රු 2,218,851,490) පොලී ලෙස චීන බැංකුවට ගෙවා තිබේ.

තෙල් ටැංකි සංකීර්ණයේ දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ලංකා බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 19කට අධික මුදලක් (ඇ. ඩො. 19,703,225) ලබාගෙන ඇති අතර එකී ණය මුදල සඳහා 2016 අප්‍රි‍ෙයල් මස වන විට මහාභාණ්ඩාගාරය ණය පොළී ලෙස රුපියල් මිලියන 535කට අධික මුදලක් (රු 535, 335,600) ගෙවා ඇත.

චීන බැංකුවෙන් ලබාගෙන තිබූ රුපියල් මිලියන 7475කට අධික ණය මුදලින් 2015 වසර අවසාන වන විට ණය වාරික ලෙස රුපියල් මිලියන 1170කට අධික (රු 1170, 181,777) මුදලක් ගෙවා තිබුණද විදේශ විනිමය හුවමාරු අනුපාතයේ පිරිහීම හේතුවෙන් ඉතිරි ණය වටිනාකම රුපියල් මිලියන 9515කට අධික ය එනම් (රු 9515, 515, 615)ක් වී තිබේ.

ණයවල රුපියල් වටිනාකම වැඩිවීමෙන් විශාල විනිමය පරිවර්තන අලාභයක් ඉදිරියේදී ගෙවීමට සිදුවුව හොත් එය වරාය අධිකාරියට කිසිසේත් දැරිය නොහැකි වනු ඇත. මේ වන විටත් චීනයේ Exim බැංකුවෙන් ලබාගත් ණය සඳහා විදේශ විනිමය අනුපාත වල වෙනස්වීම් හේතුවෙන් වැඩිපුර ගෙවීමට සිදුවන විදේශ විනිමය පරිවර්තන අලාභය රුපියල් මිලියන 2738කට අධිකය.

තෙල් ටැංකි සංකීර්ණයට තෙල්තොග මිලදී ගැනීම සඳහා කෙටි කාලීන ණයක් ලබාගෙන ඇති අතර එකී ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6680කට අධිකය. ඒ සඳහා පොළිය ලෙස 2014 සහ 2015 වර්ෂ දෙක වෙනුවෙන් රුපියල් මිලියන 211කට අධික මුදලක් ගෙවා තිබේ.

තෙල් ටැංකි ඉදිකිරීමට සහ තෙල්තොග ලබාගැනීමට ගත් ණය ගෙවීමට සිදුවන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටය. එම අතිවිශාල ණය මුදල් සඳහා පොළිය ගෙවීමත් තෙල් මෙහෙයුම් කටයුතුවලින් දිගටම සිදුවන අලාභයත් හේතුවෙන් වරාය අධිකාරිය ඉදිරියේදී දැරිය නොහැකි මූල්‍ය අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

වර්ෂ 2014 ජුනි 22 දින විවෘත වුණු හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණයට ලබන 22 වැනිදා වන විට වසර 2ක් ගතවේ. මේ වන තෙක් තෙල් ටැංකි ව්‍යාපෘතියෙන් අති විශාල පාඩුවක් මිස ලාභයක් උපයා නැත. තෙල් ටැංකිවල ප්‍රමිතිය පිළිබඳවද විවිධ ගැටලු මතුව ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි. අධික මිල ගණන් යටතේ ලබාගත් තෙල් තොගවලට ජලය මිශ්‍ර වීමෙන්ද ගැටලු මතුව තිබේ. මේ නිසා සිදුව ඇති පාඩුව අති විශාලය. තෙල් ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් කටයුතුවලින් 2015 වසරේ සිදුව ඇති මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 355කට අධිකය (355,729, 873)

ජාත්‍යන්තර වෙළෙඳපොලේ තෙල් මිල අඩුවීමෙන් අධිකාරිය ලැබූ පාඩුව රුපියල් මිලියන 763කට (රු 763,242,316) අධිකය. තෙල් තොග ලබාගැනීමට ලබාගත් කෙටි කාලීන ණය මුදල රුපියල් මිලියන 211කට (රු. 211,540,727) අධික වේ. මේ අනුව ලබාගත් ණය මුදලට වඩා අති විශාල පාඩුවක් අධිකාරියට දරන්නට සිදුව තිබේ.

මෙවැනි ආකාරයේ මූල්‍ය අපරාධවලට අණ දුන් අයට මෙන්ම කිසිදු වග විභාගයකින් තොරව එම අණ ක්‍රියාවේ යෙදවූවන්ට නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් එය වැරදි පූර්වාදර්ශයකි. එමෙන්ම යහපාලනය කෙරෙහි බලාපොරොත්තු තබා ජනවාරි 08 වෙනසට හවුල් වූ රටේ ජනතාවට කරනු ලබන බලවත් අසාධාරණයකි.

 

 

නව අදහස දක්වන්න