රුවන්වැලි සෑ රදුන් හුණු පිරියමෙන් ඔපවත් වෙයි | දිනමිණ


 

රුවන්වැලි සෑ රදුන් හුණු පිරියමෙන් ඔපවත් වෙයි

ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම අසදෘස මහාථුපය ලෙස ද නම් පටබැදි රුවන්වැලි සෑය හුණු පිරියම් කළ පසු දිස්වන අන්දම

එළැඹෙන පොසොන් පෝය නිමිති කොටගෙන වාර්ෂිකව සිදුකෙරෙන රුවන්වැලි සෑයේ හුණු පිරියම් කිරීම ඉකුත් දිනක දී නිමාවිය. මතුගම, වළල්ලාවිට, ඇල්පිටිය ආදි ප්‍රදේශවල හිද මෙහි පැමිණ සිටින හතළිහක පමණ පිරිසක් මෙවර ද එම හුණු පිරියම් කිරීමේ කටයුත්තට දායක විය.

රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැය වු බව එම ශිල්පීහු පවසති. රුවන්වැලි සෑය හැරුණු විට පරිවාර චෛත්‍ය හතර ද, වාහල්කඩ හතර ද, සලපතල මලුව වටකොට බැදි ඇත් පවුර ද වර්ණ ගැන්වීම මෙහිදී සිදුවේ. හුණු පිරියම් කිරීමේ කටයුත්තට පැමිණ ඇති සරත් කුමාරගේ මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

ඉස්සර අවුරුදු පහකට සැරයක් තමයි චෛත්‍යෙයේ හුණු ගෑවේ. පස්සේ ප්‍රේමදාස මහත්තයා අගමැති කාලේ එතුමා තමයි නියෝග කෙරුවේ හැම අවුරුද්දකම මේ විදිහට චෛත්‍යෙයේ හුණු ගාන්ඩ ඕන කියලා. මගේ මතකේ හැටියට අසුවේ අවුරුද්දෙන් විතර පස්සේ තමයි මේ විදිහට වාර්ෂිකව හුණු ගාන්න ගත්තේ. මං ඒ කාලේ අපේ තාත්තලත් එක්ක එනවා. දැන් අවුරුදු හතළිහක් විතර වෙනවා මේ එන ගමනට.

හුණු ටොන් දහයක්, අඩි 35 කට වැඩි දිගින් යුතු උණ බම්බු 650ක්, කොහු ලණු කිලෝ 650ක්, කිත්තන් ලණු අගල් එකහමාරෙන් මීටර් 1000 ක්, අගල් දෙකෙන් ලණු මීටර් 200 ක්, අගලේ ප්‍රමාණෙන් ලණු මීටර් 800 ක්, චෛත්‍යය සුරා පවිත්‍ර කිරීමට වයර් බ්‍රෂ් දුසිම් 30 ක්, හුණු සමග මිශ්‍ර කිරමට කිලෝ 200ක් යනාදි අමුද්‍රව්‍ය මේ කටයුත්ත සාර්ථකව නිමාකිරීමට අවශ්‍ය බව ද මෙම ශිල්පීහු පවසති.

මතුගම සිට මෙහි පැමිණ ඇති කුමාරගේ සම්පත් මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

අපි වට දෙකක් හුණු ගානවා. සම්පුර්ණයෙන්ම හුණු ගාලා ඉවර කරන්ඩ කොහොමත් මාස තුන හමාරක් විතර යනවා. වැඩේ පටන් ගන්ඩ කලින් ජයසිරිමා හාමුදුරුවන්ට භාර වෙනවා.

පොසොන් පෝයට කලින් වැඩේ ඉවර කරලා ශ්‍රී මහා බෝධිය ඉස්සරහා කිරි උතුරවලා භාරහාර ඔප්පු කරලා දෙයියනේ කියලා ගෙවල් වලට යනවා.

කි.පු. 161 - 137 තරම් දුරාතීතේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථුප ආදි නම් වලින් ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි.

ස්වර්ණමාලි නම් දෙවඟන විසු තෙලඹු රුක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබු බව ප්‍රකටව පවතින ජනප්‍රවාදයකි.

වර්තමානය වන විට සෑයේ උස අඩි 338කි. වටප්‍රමාණය අඩි 942කි. රන් ආලේපිත කොත සහ චුඩා මාණික්‍යෙයේ උස අඩි 25ක් පමණකි.

අක්කර පහක පමණ හතරැස් මලුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී ඇත. සලපතල මලුව වටකොට බැදි ඇත් පවුර ඇතුන් 338 දෙනෙකුගෙන් සමන්විතය.

තඹුත්තේගම විශේෂ

ඩබිලිව්. ප්‍රදීප්

නව අදහස දක්වන්න