ආදර රණ්ඩු මැද ජීවිතේ සුන්දරයි | දිනමිණ

ආදර රණ්ඩු මැද ජීවිතේ සුන්දරයි

චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප-ඉන්දික මල්ලවාරචචි

උදාරි වර්ණකුලසූරිය

“පියවි....”

“ජීවිතය දිනාගන්නට වෙර දැරූ ඒ පියවි අපට මුණගැසෙන්නේ මේ දිනවල රිදී තිරය වර්ණවත් කරන ‘ආදරණීය කතාවක්’ හි ප්‍රධාන නිළි භූමිකාව ලෙසට ය.

ඈ....

උදාරි වර්ණකුලසූරිය....

පායා එන්න හිරුසේ චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව රඟමින් කලා ලොවට පැමිණි උදාරි, ඉන් පසුව රිදී තිරයේ මෙන් ම පුංචි තිරයේ ද ජනප්‍රියත්වය නො අඩුව ලැබූ නිළියක වූවා ය. වසර තුනකට පසුව රිදී තිරයේ ඈ අප මුණ ගැසෙන්නේ ආදරණීය කතාවක් හි රඟමිනි. මේ උදාරි ආලින්දයට ගොඩවූ මොහොතයි.

* පියවි.. මුලින්ම ඇය ගැන කතාකරමු.

පියවි කියන්නෙ බොහොම අහිංසක සංවේදී චරිතයක්. සුන්දර ගමක ඉපදිලා පවුලේ බර කරට අරගෙන තමයි ඈ අගනුවරට එන්නේ. පුංචි කාලෙ ඉඳලම ගායන හැකියාවක් තිබුණු පියවි රියැලිටි තරගයකට මුහුණ දෙන්නෙ දරිද්‍රතාවයෙන් මිදෙන්න. ඒ ගතකරන ජීවිතේ එක මොහොතකදී ඇයට අභිමාන ජයවර්ධනට හමුවෙනවා. ඉන් පස්සේ ඇය ජීවිතේ පටන්ගන්නවා. ඒ කතාව තමයි ආදරණීය කතාවක් තුළ ගොඩනැගෙන්නේ.

පියවි ප්‍රතිනිර්මාණය කරන්නට මට බොහෝ හැදෑරීම් කරන්නට සිදුවුණා. ඒ වගේම ඒ චරිතයට උපරිම සාධාරණයක් මා ඉටු කළා කියල ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඒක මට සතුටක්.

* කොහොමද ‘පියවි’ ඔබට ලැබුණෙ?

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා බොහොම විමසිලිමත්, බුද්ධිමත් තීරණ ගන්න නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. ඔහු මේ සියලු ම චරිතවලට ගැළපෙන නළු නිළියන් සොයාගන්න විශාල උත්සාහයක යෙදුණා. නිළියන් 49ක් මේ සම්මුඛ පරීක්ෂණයට මීට පෙර සහභාගිවෙලා තිබුණා. මම තමයි තිර පරීක්ෂණයට සහභාගි වුණු පනස්වැනියා. ඔහු තමයි තීරණය කරල තිබුණේ. සියලු දෙනාගෙන්ම මම තමයි මේ චරිතයට සුදුසු කියලා. ඔහු තැබූ විශ්වාසය මම අකුරටම ඉටු කළා. ඒ වගේම මේ චිත්‍රපටය නැරැඹු බොහෝදෙනා කිව්ව මගේ රංගනය ඔවුන්ගේ අස්වලට කඳුළු ගෙනාව කියලා ඒ කඳුළ මට සතුටක්.

* කලකට පස්සෙ ඔබේ රංගන පරාසයත් පුළුල් වෙලා කියල දැනෙනවා?

ඔව්.. බොහෝ දෙනෙක් පියවි නරඹලා, පියවි හොඳට අධ්‍යයනය කරලා, පියවි කියවලා මට ප්‍රතිචාර ලබා දුන්නා. ඒ හැමෝම කිව්වෙ මගේ රංගනය ‍ දියුණුවෙලා කියලයි. ගෙවී ගිය කාලය තුළ මං නිශ්ශබ්දව රංගනය පිළිබඳ යම් යම් හැදෑරීම් කළා. ඒ හරහා මා උගත් දේ මේ චරිතයට එකතු කළා.

ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ කියන්නෙ ඉතාමත් නිර්මාණශීලී, බුද්ධිමත් අධ්‍යක්ෂවරයෙක්. ඔහු මේ චරිතය තුළ ජීවත් වීමට මට හුරු කළා.ඒ වගේම හේමාල්, බිමල් අයියා වගේම අරුණිත් මට මේ චරිතය ගොඩනගා ගන්නට හොඳ සහයෝගයක් ලබා දුන්නා.

* ප්‍රතිචාර මැද කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙ‍වෙන්නෙ?

ඉතාමත් සුන්දරව ජීවිතේ ගෙවිලා යනවා. ජීවිතේ මට අවශ්‍ය සතුට හැමදාම ලැබෙනවා. මගේ සැමියා සුජිත්. දුව ෂහාර්යා තමයි අපි දෙන්නගෙම පණනළ. එයා වෙනුවෙන් තමයි හැමදේම කරන්නෙ. සුජිත් විදේශගතවෙලා හිටියට මාසෙකට දෙවතාවක් විතර අප බලන්න ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේම අපි දෙන්නත් තාත්තා බලන්න යනවා. ඒ නිසා අපේ ජීවිතවල හිස්තැනක් නැහැ. ඉතාමත් සරල , සුන්දර, වින්දනාත්මක, අර්ථවත් ජීවිතයක් ගෙවමින් ඉන්නවා.

* ඔබ ඔය කතාකරන සුන්දරත්වය අද කාලයේ බොහෝ කලාකරුවන්ගෙ ජීවිතවල නැහැ.

පවුලක් විදියට එකට ඉන්න නම් අවබෝධය ඉතාමත් ම වැදගත්. ඒ වගේම කැපවීමත් අවශ්‍යයයි. අපි කැපවීමක් කළොත් තමයි ප්‍රතිඵලය භුක්ති විඳින්නට ලැබෙන්නෙ. මම පවුල වෙනුවෙන් ඕනෑම මොහොතක, ඕනෑම දෙයක් කැප කරන කෙනෙක්. සුජිත් මං ගැන දන්නවා. මං සුජිත් ගැන දන්නවා. ඒ නිසා අපේ අතරට ප්‍රශ්න, සැකය වගේ අතරමැදියන්ට එන්න ඉඩක් නෑ. අපේ අතර හැම වෙලාවෙම තියෙන්නෙ සතුට විතරයි. පුංචි පුංචි ආදර රණ්ඩුත් තියෙනවා. ඒව ඉතිං විනාඩි පහයි දහයයි. ඇත්තටම ඒක ආදරණීය කතාවක්.

* අම්මා කෙනෙක් විදියට ගෙවන ජීවිතේ කොහොමද?

ලෝකයේ උත්තරීතරම පදවිය මට හිමිවෙලා තිබෙනවා. එහි ගෞරවය , අභිමානය රකින්නට මං බැඳිලා ඉන්නවා. මගේ දූ සිඟිත්ති අනාගතයේ ලෝකයේ බුද්ධිමත් තරුණියක් කිරීම තමයි අපි දෙන්නගෙම බලාපොරොත්තුව. කාන්තාවකට අම්මා කෙනෙක් වීම තරම් තව සතුටක් කොයින්ද? ඒ සිඟිති හසරැල් මැද්දෙ දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ. අම්මා කෙනෙක් විදිහට, එයාට ඕනෙ හැම රැකවරණයක්ම මගෙන් ලැබෙනවා. මං රූගත කිරීම්වලට යන්නේ මගේ වාහනේ. ඒකට හේතුව තමයි ඉවරවුණ ගමන් ම ගෙදර දුවන්න මට ඕනවීම. දුව එක්ක ඉන්න තමයි මම වැඩිපුරම කාලය වෙන් කරන්නෙ.

* රට අතහැරලා යන්න සැලසුම් කරනවා කියලා ආරංචියි.

ම්.... මෙහෙමයි අපේ දූ සිඟිත්ත ඉපදු‍ණේ සිංගප්පූරුවෙ. ඒ නිසා එයාට සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාව තිබෙනවා. ඒකෙන් මං කියන්නෙ ශ්‍රී ලංකාවෙ අධ්‍යාපනය හොඳ නෑ කියන එක නෙවෙයි. එයාට ලැබිලා තියෙන අවස්ථාව නිසා මුල ඉඳලම සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබලා දෙන්නට අපි සැලැසුම් කළා.ඒ නිසා ශ්‍රී ලංකාවෙන් යන්න වෙනවා. ඒත් නිර්මාණවලට සහභාගි නොවී ඉන්නෙ නැහැ. සිංගප්පූරුවේ ඉඳන් පැය දෙකකින් විතර ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාව අතහැරීමක් ‍වෙන්නෙ නෑ.

* පියවි චරිතයට සම්මානයක් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවද?

සම්මාන ගැන මගේ බලාපොරොත්තු නැහැ. සම්මාන බලාගෙන රඟපානවා නම් ඒක වැරැදියි. ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි හොඳම සම්මානය.

* ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්නට තීරණය කළා නේද?

ඕව.. ටික කලකට ටෙලි නාට්‍ය රගපාන්නෙ නෑ කියලා තීරණය කළා. චිත්‍රපට නිළියක් විදියට මට තිබෙන පිළිගැනීම පුංචි තිරයේ නිතර දැකීමෙන් නැතිවේවි කියලා මට හිතු‍ණා. ඒ තීරණය ගත්තෙත් බොහෝ දුරට හිතලයි.

* ඉදිරිය මොනවගේ ද සැලසුම් කරලා තියෙන්නෙ.

පවුලෙ වැඩකටයුතුවලට මුල් තැන දෙමින් නිර්මාණවලට දායකවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලකට පෙර කරපු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශනය වීමට නියමිතයි. නිර්මාල් රාජපක්ෂගේ අලුත් ම ත්‍රිමාණ චිත්‍රපටයටත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ හැමදේම අතරෙ ගඟක් වගේ සුන්දරව ජීවිතේ ගෙවිලා යනවා.

 

 

නව අදහස දක්වන්න