ලේබල් සහ මිනිස් ජීවිත | දිනමිණ


 

ලේබල් සහ මිනිස් ජීවිත

 

ජුනි දෙළොස් වැනිදා ෆ්ලොරිඩා ජනපදයේ, ඔර්ලැන්ඩො නුවර 'පල්ස්' නමැති සමාජශාලවේ මෑත කාලයේදී අමෙරිකාවේ සිදු වූ දරුණුම වෙඩි තැබීම සිදු විය. මා මේ සටහන ලියද්දී මිනිසුන් පනස් දෙනකුගෙ ජීවිත එයින් අවසාන විය. පනස් තුන් දෙනකු රෝහලට ඇතුළත් කරවා තිබිණි.

ලෝකයේ සියලු මතවාදවලින් මිදී ග්‍රීෂ්ම සෘතුවේ සෙනසුරාදාවක රාත්‍රී සමාජ ශාලාවක ඇති සැහැල්ලුව, නිදහස විඳින්නට යන කාටවත් කරදරයක් නැති මිනිසුන්ට ගැහැනුන්ට වෙඩි තියන්නට යන්නේ සැබෑ අපරාධකරුවෙකි. ඔහුට වෙන නමක්, ලේබලයක් ලබා දෙන්නේ නම් ඒ මානසික අක්‍රමිකතාවක් තිබූ කෙනකු හැටියට පමණි.

මෑත කාලයේදී කිසිවකුට හිරිහැරයක් නොකර ජීවිතේ විඳින්නට ගිය මිනිසුන්ට ජීවිතය අහිමි කළ පළමු වැනි ප්‍රහාරය මේ නොවේ. 2002 වසරේ, මොස්කව් නුවර රංග ශාලාව තුළ වූ විස වායු පහරදීම, ඉන්දුනීසියාවේ බාලි සමාජශාලවක පිපිරී ගිය බෝම්බය, 2015 පැරීසියේ සංගීත ශාලාවේ වූ වෙඩි තැබීම එසේ නම් කළ හැකි කිහිපයක් පමණි. තුවක්කුකරු සමලිංගිකත්වයට එරෙහි දැඩි මතදාරියකු වූ බව ඔහුගේ පවුලේ අයත් දන්නා අඳුනන අයත් ප්‍රකාශ කරති.

ආගම් බේදයකින් තොරව සමලිංගිකත්වයට එරෙහි වන මිනිසුන් ඇත. සතුරාටත් මෛත්‍රිය කරන්න, ප්‍රේම කරන්න කියා ඉගෙන ගන්නා බෞද්ධයා, ක්‍රිස්තු භක්තිකයා පවා සමලිංගිකයාට ද්වේශ කිරීමෙන් ස්වර්ගයත්, නිවනත් ඈත් කරගන්නේ ඇයි ද? මා නිතරම අසන්නේ වැඩුණු පිරිමින් ගැහැනුන් තමන්ගේ පුද්ගලික ලෝකවල තමන්ගේ කැමැත්තෙන් කිසිවකුට හානියක් නොකර සැරි සැරීමට බලපෑම් කිරීමට අපට ඇති අයිතිය කුමක්ද? ඔවුන්ට හිරිහැර කිරීමට අයිතියක් දෙමින් අප වඩා සුවිශේෂි කියා සිතීමට ඇති මිනුම් දණ්ඩ කුමක්ද?

මුස්ලිම් ආගමෙන් සමලිංගිකත්වයට විරෝධයක් ඇතැයි විශ්වාස කිරීමෙන් ඔහු මෙවැන්නක් කළා යැයි මතයක් පළවේ. ගිය අවුරුද්දේ නොවැම්බර් විසි හත් වැනිදා කොලරාඩෝ ජනපදයේ උපත්පාලන සායනයේදී වෙඩි තැබූ අය ගබ්සාවට එරෙහි වූ කෙනෙකි. දැඩි මතදාරී ක්‍රිස්තියානුවෝ ගබ්සාවට එරෙහි වෙති. ඒ මිනී මැරීමට එරෙහිව තව මිනී මැරීමක් කිරීමෙන් කෙනෙක් ලබා දෙන්නට උත්සාහ කරන පණිවිඩයේ තේරුමක් නැත. විවිධ ආගම්වල ඒවායේ ශාස්තෲන් කිව්වා කියන දේ එකිනෙකාගේ වාසිය වෙනුවෙන් ඔවුන්ට රිසි ලෙස අර්ථය පහදා ගනිමින් මනස විකෘතිවූවෝ මෙවැනි අපරාධවලට නිදහසට කරණා පවසති.

කවුරු කළත් කුමක් නිසා කාට එරෙහිව කළත් තුවක්කුවක් රැගෙන මිනිසුන්ට වෙඩි තැබීමේ සාධාරණයක් නැත. ඒ අපරාධයකි. සමහර ආගම්වලට එරෙහිව, සමේ වර්ණයට එරෙහිව, වෙනත් ඕනෑම හේතුවකට අමෙරිකාවේ වෙඩි තැබීම නිතර සිදු වේ. දිනකට වෙඩි තැබීම නිසා අමෙරිකාවේ වන ජීවිත හානිය ඔර්ලැන්ඩො සමාජශාලවේ දී වූ ජීවිත හානියට කිට්ටු වේ.

ගබ්සාවට එරෙහිව මිනිසුන් මැරීමෙත්, සමලිංගිකත්වයට එරෙහිව වෙඩි තැබීමෙත් වෙනසක් නැත. එවැනි හේතුන් මත දෙදෙනකු මැරීමෙත් පනහක් මැරීමෙත් වෙනසක් නැත. නමුත් ප්‍රශ්නය අපි නැවත නැවත අසා සිටින්නෙමු.

ලෝකයෙන් සියලු ආගම් තුරන් කොට මිනිසුන්ට නිරාගමික වන්නට කියා ප්‍රජාතාන්ත්‍රික හෝ මානුෂික නොවන දැඩි නීති පමුණුවන්නේ ද නැති නම් කෙනකුට නීතිගරුක ලෙස පහසුවෙන් තුවක්කුවක් මිලට ගන්නට ඇති අවස්ථාව නැති කරන්නේ ද? නමුත් ද්වේෂයෙන් කණ්ඩායමකට එරෙහිව අපරාධ කරන්නෝ කුමක් හෝ ක්‍රමයක් සොයා ගන්නේ යැයි කෙනෙක් තර්ක කරනු ඇත. කළු අමෙරිකානුවන් රැස්වන පල්ලියට ගිනි තැබීම වැනි උදාහරණ ඉදිරිපත් කෙරෙනු ඇත.

නමුත් මේ තරම් ව්‍යසනයක් මොහොතකින් කරන්නට තුවක්කුවක් ලබාගන්නට ඇති පහසුව අවසානවන්තකමකි. ලොස් ඇන්ජලිස් නුවර එන සතියේ පැවතෙන්නට නියමිත ප්‍රයිඩ් උත්සව සැණකෙළියට (Los Angeles Pride Festival) පහරදීමට ගෙනා බව සැක කෙරෙන පුපුරන ද්‍රව්‍ය, ආයුධ සහ තවත් නොයෙකුත් දේ මේ ඉරිදාම කැලිෆොර්නියාවේ දී පොලිසිය සොයා ගෙන ඇත.

ඒ නොවී නම් එන ඉරිදා අපට එන පුවත ඔබට මට සිතා ගනු නොහැකි එකක් වෙනු ඇත. සතියක් දෙකෙළවර එවැනි අපරාධකාරී ආරංචි දෙකක් ලැබුණොත් මේ තරම් ලෝකය කුරිරුදැයි අප කලකිරෙනු ඇත. නමුත් දෙදෙනෙක් කිහිප දෙනෙක් විනාස කරන්නට තනද්දී මිනිසුන් සිය ගනණක් එකෙක් හෝ රකින්නට සිතා ඔර්ලැන්ඩෝ රෝහල හදිසි වෛද්‍ය ඒකකය ඉදිරියේ රුධිරය දන් දීමට පෙල ගැසී සිටිති.

වෛද්‍ය හේතුන් මත සමලිංගිකයන්ට හදිසියේ ලේ දන්දීමට නීතියෙන් වළක්වා ඇත. ඒ නිසා මේ ව්‍යසනයෙන් අනතුරට පත් වී ඇති අය වෙනුවෙන් පෙළ ගැසී ඉන්නේ කිසිම ආගමක්, ජාතියක්, ලිංගිකත්වයක් බේදයක් ලෙස නොසලකන, ලේ රතු ම බව හඳුනන මිනිසුන් ය. ඒ ඔවුන්ට ඔර්ලැන්ඩෝ රාත්‍රී සමාජශාලව තුළ නැති වූ අය මිනිස් ජීවිත මිස ඒ අයට වෙන ලේබලයක් ඇලවීමේ අවශ්‍යතාවක් නැති බැවිනි.

හිමාලි එන්. ලියනගේ

[email protected] 

නව අදහස දක්වන්න