ව්‍යාපාරික සැලසුම් ඇගයීමේ තරග­ාවලියක් | දිනමිණ

ව්‍යාපාරික සැලසුම් ඇගයීමේ තරග­ාවලියක්

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වැඩි වශයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු කිරීමේ අරමුණින් ඔවුන්ගේ නව ව්‍යාපාරික සැලසුම් ඇගැයිමේ ජාතික තරගාවලියක් පැවැත්වීමට රජය තීරණය කොට ඇත.

මීට වසර 34කට පෙර 80 දශකයේ මුල්භාගයේ මෙරට තරුණ කටයුතු හා රැකී රක්ෂා ඇමැතිවරයා වූ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මහක කළ මේ තරගාවලිය නැවැත ඇරඹීමට කාලය පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කරයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා මේ තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින්, නවෝත්පාදනයන් හා ව්‍යවසායකත්වයන් නොමැතිව රටක් දියුණු කළ නොහැකි බව කියා සිටියේය.

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට නව ව්‍යාපාරික සැලැසුම් රාශියක් තිබෙනවා. ඒවා සැලසුමින් මිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උදව් කරන්න ඕනෑ. ඒ සඳහායි අපි මේ දිරිගැන්වීමේ ජාතික තරගය නැවත සංවිධානය කළේ රාජ්‍ය ඇමැතිවරයා කීය.

නව අදහස් හා වාණිජ ව්‍යාපාර පිළිබඳව සිහින දකින අයට එය ඉටුකර ගැනීමට අපි අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනයටත් සුදානම්. එක් උපාධිධාරියෙකුට වසර 03කින් ආපසු ගෙවීමට හැකි රුපියල් ලක්ෂ 15ක ණය මුදලක් ලබාදීමට අයවැයෙන් රජය යෝජනා කළා. එම යෝජනාව දැන් ක්‍රියාත්මකයි. නව ව්‍යාපාරික අදහස් ඇති ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 15ක් ලබාදෙනවා. මේවායේ ව්‍යාපෘති දහසක්වත් ආරම්භ කිරීමට අපි ක්‍රමිකව පියවර ගන්න ඕන.

ව්‍යාපාර සැලැස්ම මත පමණක් පදනම්ව මෙම ණය මුදල ලබා දෙන අතර ඒ සඳහා ඇප සුරැකුම් අවශ්‍ය වන්නේ නැහැ. අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන, විශ්ව විද්‍යාලවල ආචාර්යවරයකු කර්මාන්ත ක්ෂේත්‍රයේ විද්වතුන්, රජයේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ව්‍යාපාර සැලැස්ම ඇගැයීමට ලක් කරනවා.

මේ තරගය වඩාත් විධිමත්ව හා ක්‍රමානුකූලව පැවැත්වීමට අගමැතිවරයා අපිට උපදෙස් ලබා දී තිබෙනවා යැයි කී නිරෝෂන් පෙරේරා මහතා නව ව්‍යාපාරික සැලසුම් තරගයෙන් රටට වැඩදායි නව ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

 

නව අදහස දක්වන්න