අපේ අරමුණ රැකියා දෙලක්ෂයක් උත්පාදනයයි | දිනමිණ

අපේ අරමුණ රැකියා දෙලක්ෂයක් උත්පාදනයයි

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ
පසුගියදා BMICHහීදී ඇමැත් ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති උපාධි සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේදී

රට සංවර්ධනය කිරීමේ ක්‍රමෝපායන් අතරින් ප්‍රධානම කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය ඉහළට ඔසවා තැබීම රජයේ අරමුණ බව පැවසේ. ඉදිරි දශකය ඇතුළත සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂි වර්ධනයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනුයේ සංචාරක ක්ෂේත්‍රය සඳහා කෙරෙන දෙස් විදෙස් ආයෝජන ශීඝ්‍රයෙන් වැඩිවී ඇති නිසායි.

මෙසේ වර්ධනය වන සංචාරක කර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය වන කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වගකීම හිමිවන රජ‍ෙය් ආයතනය වන්නේ ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයයි. එහි වත්මන් සභාපති වන්නේ සුනිල් දිසානායක මහතායි. ඒ මහතා සමඟ දිනමිණ ‘කප්රුක’ කළ සංවාදයකි මේ.

Q හෝටල් කළමනාකරණ ආයතනය කුමන ආකාරයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක්ද

මෙරට ස්ථාපිත කරන ලද වෘත්තීය අධ්‍යාපන ආයතන අතරින් ප්‍රමුඛතම වෘත්තීය අධ්‍යාපන ආයතනයක් ලෙස හෝටල් කළමනාකරණ ආයතනය හැඳින්විය හැකියි. මෙම ආයතනය ස්ථාපිත කෙරී ඇත්තේ 1964 වසරේදියි. ජර්මන් රජයේත්, ස්විස්ටර්ලන්ත රජයේත් ආධාර මත එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මූලිකත්වයෙන් මෙම ආයතනය ස්ථාපිත කෙ‍රුණේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැති අඩුවක් වූ සංචාරක කර්මාන්තය පිළිබඳව දැනුම වර්ධනය කිරීම සඳහායි. ජර්මන් රජයේ මුල්‍යමය ආධාරවලට අමතරව විෂය මාලා සකස් කිරීම මෙන්ම ඉගැන්වීම සඳහාත් එරට ඇදුරු මඬුල්ලක් ලබාදෙමින් අන්තර්ජාතික මට්ටමේ පාඨමාලාවන් සකස් කිරීමට සහාය දැක්වූවා. 1969 සිට 1972 දක්වා ඉගැන්වීම් කර ඇත්තේ ජර්මානු ආචාර්ය මණ්ඩලය. 1974 දී සහතික ගෙන පිටවූ මුල්ම කණ්ඩායමෙන් ඉහළ ලකුණු ලබාගත් දෙදෙනෙකු ඇදුරු මණ්ඩලයට බඳවාගනු ලැබුවා. ඒ අයුරින් 1982 පමණ වන විට ආචාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ පිරිසකගෙන් සමන්විත වුණා.

බඳවාගත් පළමු කණ්ඩායම සමඟ දැනට කණ්ඩායම් 50කට ආසන්න ප්‍රමාණයක් විසිරී ගොස් තිබෙනවා. මේ සියලු දෙනා මෙරට මෙන්ම විදෙස්ගතව හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටිනවා.

Q වර්තමානය වනවිටත් ඒ මට්ටම රැක‍ගැනීමට ඔබ ආයතනය සමත්වී තිබෙනවාද?

හෝටල් ක්ෂේත්‍රය පිළිබඳව ලංකාවේ පවතින උසස්ම පාඨමාලා පවත්වනු ලබන ආයතනය අප ආයතනය යි. ඒ පිළිබඳ දෙස් විදෙස් ඇගයීමට පාත්‍රවී තිබෙනවා. සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා සහතික මෙන්ම උපාධිය දක්වා ඉතාමත් සහන ගාස්තු මත අධ්‍යාපනය ලැබීමට ඇති වෙනත් ආයතනයක් ඇත්තේ නෑ.

Q රජයේ අපේක්ෂාව සංචාරක ක්ෂේත්‍රයේ සුවිසල් දියුණුවක් ඇති කිරීමය. ඒ සඳහා අත්‍යාවශ්‍ය සේවක ගැටලුව විසඳීම සඳහා ඔබ ආයතනය සූදානම්ද?

අනාගත අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සැලසුමක් මේ වන විටත් අප සතුව තිබෙනවා. මේ වනවිට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා ප්‍රමාණය 189698 ක්, ඒ ප්‍රමාණය 2026 වනවිට 278065 බවට පත්විය යුතු බවට අප හඳුනාගෙන තිබෙනවා. ඒ ගණනය කිරීම් සිදුවන්නේ රට පුරාම ඉදිවන නව හෝටල් ප්‍රමාණයට මෙන්ම සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන ව්‍යූහයට සාපේක්ෂවයි.

Q ඔබ පුහුණුව හා ප්‍රමිතිය පිළිබඳව සඳහන් කළත් රටේ බොහෝ ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ වී කටයුතු කරන බොහෝ පිරිස් නුපුහුණු තත්ත්වයේ පසුවන බව හඳුනාගත හැකි වෙනවා. විශේෂයෙන්ම දකුණු පළා‍ෙත් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මේ ගැටලුව හඳුනාගත හැකියි.

දකුණු පළාතේ පමණක් නොවේ මේ ගැටලුව බොහෝ ප්‍රදේශ තුළ දැකගත හැකිය. මේ නිසාම එවැනි පිරිස් පුහුණු කිරීම සඳහා අපි දැන් විශේෂ වැඩසටහන් සකස් කර තිබෙනවා. සාමාන්‍යයෙන් පාඨමාලාවන්ට ඇතුළුවීම සඳහා සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳව සැලකිළිමත් වූවත් දැනටම මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබෙන සංචාරක හෝටල් පවත්වාගෙන යන හෝ සේවය කරන අය සඳහා එවැනි මූලික අධ්‍යාපන කොන්දේසි නොසලකා සහතික පත්‍ර පාඨමාලාවන් පවත්වනවා. හෝටල් කළමනාකරණය මෙන්ම ප්‍රමිතියකට අනුව සේවාවන් සැපයීම සඳහා කෙටිකාලීන පුහුණුවක් ලබා දෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇතත් පිළිගත් වෘත්තීයමය සුදුසුකම් නැති අයට මේ පාඨමාලාව ඉතාමත් වැදගත්. ඔවුන් කරන සේවාව වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට මේ පාඨමාලා ප්‍රයෝජනවත් බව පාඨමාලාවන්ට සහභාගි වූ පිරිස් පවසනවා.

Q ඔබ පැවසුවා ආයතනය ලෙසින් අනාගත අභියෝග ජයගැනීම සඳහා ක්‍රමවේදයක් සකසා ඇති බව. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිළි කළොත්.

රටේ සීඝ්‍රයෙන් වර්ධනය වන කර්මාන්ත අතර සංචාරක කර්මාන්තය පවතින්නේ ප්‍රමුඛතම ස්ථානයකයි. මේ නිසාම වැඩි අවශ්‍යතා ඇති ප්‍රදේශවල අධ්‍යයන ආයතන ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. දැනටමත් හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතන ශාඛා 10ක් රට පුරා පිහිටා තිබෙනවා. ඒවාට අමතරව යාපනය ප්‍රදේශයේත්, පොළොන්නරුවේත් නව ශාඛා දෙකක් විවෘත කෙරෙනවා. අපගේ අරමුණ මැද පෙරදිග රැකියා සඳහා පිටත්වෙන පිරිස් මේ ක්ෂේත්‍රය වෙත කැඳවාගැනීමයි. පාසල් හැර යන පිරිස්, රැකියා විරහිත කාන්තාවන්, උසස් අධ්‍යාපනය ලැබූ, නොලැබූ ඕනෑම කෙනෙකුට වෘත්තීය පුහුණුවකට අනතුරුව මේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ඇති කරගත හැකියි.

Q දැනට ක්‍රියාත්මක වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවාද?

ඇත්තෙන්ම ඒ පිළිබඳව කනගාටුයි. අපේ අනාගත පරපුර රටේ අවශ්‍යතාව නොසලකායි. අධ්‍යාපන කටයුතුවලට යොමුවෙන්නේ. ඉතාමත් තෘප්තිමත් ජීවිත ගත කළ හැකි ජීවනෝපාය මාර්ගයන් කොතෙකුත් තිබියදී කාලය, ධනය නාස්ති කරනවා. සංචාරක ක්ෂේත්‍රය ඉතාමත් ඉහළ වැටුප් සහිත සාර්ථක ජීවිතය ගත කිරීමට සරිලන හොඳ ක්ෂේත්‍රයක්. මේ සඳහා යොමුවීමේ වැදගත්කම හඳුන්වා දිය යුතුයි. ඒ සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම අපගේත් වගකීම බව මා විශ්වාස කරනවා. ප්‍රාදේශීය මට්ටමින් ‍ෙම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කෙරෙනවා. ඒ අනුව දැන් දැන් පාඨමාලාවන් සඳහා ලැබෙන ඉල්ලුම්පත් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

නව අදහස දක්වන්න