තැලෙන මලේ රස | දිනමිණ

තැලෙන මලේ රස

සුසන්ත විජයගුණසේකර

කිතුල් කර්මාන්තය ගෘහස්ත ග්‍රාමීය කර්මාන්තයකි. දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ කිතුල් වැවුනද කර්මාන්තයක් ලෙස කිතුල්මල් කැපීම සිදු කරන්නේ සීමිත ප්‍රදේශ කීපයක පමණි.

කිතුල් ශාකය ඉතා ඉහළ ආදායමක් උපයාගත හැකි කප්රුකක් බවත් එහෙත් කර්මාන්ත ප්‍රවර්ධනය කර ග්‍රාමීය ජනතාවට ඉහළ ආදායමක් ලබාගැනීමට ඇති අවස්ථා විවිධ බාධාවන් නිසා තවමත් ඇහිරී ඇති බවත් “ග්‍රීන් ලංකා ප්‍රඩක්ස්” සමාගම පවසයි.

‘ග්‍රීන් ලංකා ප්‍රඩක්ස්’ පිරිසිදු කිතුල් හකුරු, පැණි පිළිබඳව බොහෝදෙනෙක් විශ්වාසය තබා තිබෙනවා. ඒ නිසාම සමාගමට ලැබෙන ඉල්ලුම සපුරාලීම දැඩි අභියෝගයක්.

දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පිළිබඳ දැඩි ලෙස සංවේදී ඉහළ ආදායම්ලාභී පිරිස් වෙතින් පිරිසිදු කිතුල් හකුරු නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. එහිදී 100% පිරිසිදු කිතුල් පැණි හා හකුරු ලබාගැනීමට ඇති අවස්ථා ඉතා විරලය. එයට හේතුව වන්නේ කිතුල් නිෂ්පාදකයින් අති බහුතරය වැඩි ලාභය තකා සීනි යොදා සිදුකරන තත්ත්වයෙන් බාල නිෂ්පාදනවලට පෙලඹීමයි. මෙයින් කෙටිකාලීනව ඉහළ ආදායමක් ඉපැයුවද එවැනි ග්‍රාමීය කර්මාන්තවල පැවැත්ම එම හේතුව නිසාම අහෝසි වී යයි. කිතුල් කර්මාන්තය ගෘහස්ත ග්‍රාමීය කර්මාන්තයකි. දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ කිතුල් වැවුනද කර්මාන්තයක් ලෙස කිතුල්මල් කැපීම සිදු කරන්නේ සීමිත ප්‍රදේශ කීපයක පමණි. සම්ප්‍රදායික දැනුම පදනම් කරගත් කිතුල් මල් පදම් කිරීමේ දැනුම සහිත පිරිස් හිඟවීම කර්මාන්තය ව්‍යාප්ත නොවීමට එක් බාධාවකි.

තරුණ පරපුර මෙවන් කර්මාන්තවලට රුචිකත්වයන් නොදැක්වීම තවත් අර්බුදයකි. රජය කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා පසුගිය වසර ගණනාවක සිට විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවූව ද ඒවායේ ප්‍රතිඵල අල්පය. එවැනි ඇතැම් වැඩසටහන් මේ වනවිට නවතා දමා ඇත. වාර්ෂිකව පැවැත්වූ “කිතුලක වරුණ” වෙළඳ ප්‍රදර්ශනය මේ වසරේ පැවැත්වූයේ ද නැත.

කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද, එම බොහෝ වැඩසටහන් නිසි ඉලක්කයක් නොමැතිව ක්‍රියාත්මකවීම නිසා අසාර්ථක වී ඇත.

“හරිත ලංකා ප්‍රඩක්ස්” සමාගම වෙළඳ පොළ පදනම් කරගත් ප්‍රවේශයන් ඔස්සේ කර්මාන්තය නැංවීමට කටයුතු කරයි. එහි මූලික අරමුණ වන්නේ කිතුල්කරුවන්ගේ ආදායම ඉහළ නැංවීමයි. කිතුල් පැණිවලට ලබාදිය හැකි ඉහළම මිල ලබාදීම මඟින් ගොවීන්ගේ ආදායම ඉහළ නංවා කර්මාන්තය කෙරෙහි ගොවීන් ඈඳාගැනීම එහිදී සිදුකෙරේ.

කිතුල් කර්මාන්තය සාර්ථකව සිදුකරන පුද්ගලයකුට මාසිකව 70,000 – 100,000 දක්වා ඉහළ ආදායමක් ඉපැයිය හැකි බව සමාගම වැඩිදුරටත් පවසයි.

කර්මාන්තය ප්‍රවර්ධනය කරන අතරම කිතුල් වැවීම සහ ස්වාභාවිකව වැඩෙන කිතුල් ගස් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ග්‍රීන් ලංකා සමාගම අරඹා ඇත. කිතුල් වැවීමේ කිසිදු වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක නොවන අතර, මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී රජයේ අවධානය යොමුකර ඇත. කර්මාන්තය පිළිබඳ පර්යේෂණ රැසක් කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදුකර ඇති අතර, ‘කැස්පර්’ නමින් මල් පදම් කිරීමේ රසායනයක් ද නිපදවා ගොවීන් අතට පත් කර ඇත. එහෙත් මෙම සියලු ක්‍රියාවන්හී ප්‍රතිඵල ප්‍රමාණවත් නැත.

ග්‍රාමීය ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ඇති බාධාව මෙයට ප්‍රධාන වශයෙන් බලපායි. කිතුල් රා නිපදවීම වැනි නීති විරෝධී සහ ලාභය වැඩි ව්‍යාපාරවලට කිතුල් ගොවීන් යොමුවීම ද කිතුල් පැණි නිෂ්පාදනයට බාධාවකි. ග්‍රීන් ලංකා සමාගම සිය නිෂ්පාදන පදනම පුළුල් කිරීමේදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරයි. ගොවීන් සංවිධානය කිරීම සහ ඔවුන්ගේ ආකල්ප වෙනස්කොට කර්මාන්තය බද්ධ කිරීම සිදුකරයි.

කිතුල් නිෂ්පාදන අඛණ්ඩව, අත්පිට මුදලට සහ සාධාරණ මිලකට මිලදී ගැනීමටත්, ගොවීන් කණ්ඩායම් වශයෙන් සංවිධානය කිරීමටත් අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමටත් ග්‍රීන් ලංකා සමාගම කටයුතු කරයි.


නව අදහස දක්වන්න