බැන්ද අමුණ විලක් වුණේ මලක් පිපුණු දාක | දිනමිණ

බැන්ද අමුණ විලක් වුණේ මලක් පිපුණු දාක

 අසූ, අනූ ගණන්වලදී කරුණාරත්න දිවුල්ගනේගේ මියුරු හඬින් ඇසුණු “ඇසට අසුවන මායිමේ” රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ ගීතයක්. මේ ගීතය ලිව්වේ මහින්ද දිසානායක. මහින්ද රජරටින් බිහිවූ ගීත රචකයෙක්. වඩාත් පරිපූර්ණව කිව්වොත් රජරට ගුවන් විදුලියෙන් බිහිවූ දක්ෂ ගීත රචකයෙක්.

මහින්ද විතරක් නෙමෙයි තවත් ගීත රචකයන් බොහෝ දෙනෙක් එකල එජරට සේවයෙන් බිහිවුණා. පූජ්‍ය පල්ලෙගම හේමරතන හිමි ප්‍රමුඛ මහින්ද චන්ද්‍රසේකර, දර්ශන මේදිස්, සිරිල් සමරකෝන්, සමන් ගුණ හේරත්, සුදත් ගාමිණි බණ්ඩාර, කෝන්වැවේ අරියරතන හිමි, වත්තේවැවේ ධම්මානන්ද හිමි, පොඩිරත්න අංගමලේ, සීතා රංජනී, රංජිත් රූපසිංහ, කරුණාරත්න ජයතිලක, සිරිසේන මුදියන්නෑගම මගේ මතකයට නැ‍ඟෙන නම් කීපයක්.

රජරට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය පටන් ගත්තේ 1979 දී. එහි අධ්‍යක්ෂ වුණේ ප්‍රවීණ ගීත රචකයකු වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. ඒ වගේම දඬුවම් මාරුවක් වශයෙන් කොළඹ සිට රජරටට සංක්‍රමණය වූ ගුණදාස කපුගේ, විජයානන්ද ජයවීර, නිව්ටන් ගුණසේකර, ප්‍රේම් රංජිත් විජයවික්‍රම එකල රජරට සේවයේ වැඩ කළා. රජරට ගීත සම්ප්‍රදායකට මුලපිරුණේ මේ අයගේ පුරෝගාමීත්වයෙන්.

ජ්‍යෙෂ්ඨ ගීත රචකයකු වශයෙන් ස්වර්ණ ශ්‍රී නිතරම ආධුනිකයන්ට උදෙස් දුන්නා. ඔවුන්ට නිසි මඟ පෙන්නුවා. වරක් මහින්ද තමා ලියූ ගී සංකල්පනාවක් ස්වර්ණ ශ්‍රීට බලන්න දුන්නා. ස්වර්ණ ශ්‍රී එය කියවා කුණු කූඩයට විසිකර දැම්මේ මෙහෙම කියමින්.

“මොනවද මේ ලියල තියෙන කෂඩ භාෂාව. ඔහොම නං කාටත් ලියන්ඩ පුළුවන්. දැන ඉගෙන ගත්ත දෙයින් වැඩ ගන්නේ ඔහොමද? ආයේ සැරයක් ලියාගෙන එන්ඩ.”

ස්වර්ණ ශ්‍රී ආධුනිකයන් හැදුවෙ එහෙමයි. කපුගේ වුණත් නවකයන්ට හුඟක් අත දුන් සංගීතඥයෙක්. මහින්ද තමා ලියූ තවත් ගී පබැඳුමක් කපුගේට පෙන්නුවා. ඒ ගීතය ලියැවී තිබුණේ මේ විදියට.

මීවිතෙන් ගිනි කණ වැටුණු ඇස

කාගේ රුව දෝ ඇ‍ඳෙන්නේ

නිමේෂයකින් ඔබට සැස‍ඳෙන

හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලණුවනි ඔබ

කිමද මධුවිත සොයන්නේ

නුරා දාහය නැත නිවන්නේ

එයිනි දුක් ගිනි දලු දමන්නේ

ජීවිතය දියවී නොයාදී

වෙනින් ඔරුවක නැඟ යමන්නේ

කපුගේ දෙතුන් වරක් මේ පදමාලාව කියෙව්වා. ගීතයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරන අර්ථය පැහැදිලි නැති බවත්, එය වචන අස්සේ හිරවී ඇති බවත් ඔහු මහින්දට කිව්වා. කපුගේ සර්පිනාව අතට ගත්තා.

“රුවක් ඇදෙනවා. කවුදෝ එනවා...” මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකක්ද කියන්නේ?”

කපුගේ මහින්දගෙන් ඇසුවා. ඊට එකඟතාව පළකළ මහින්ද ගීතය මේ ලෙසින් සංශෝධනය කළා. කපුගේත් දිවුල්ගනෙත් පසුකලෙක ගැයුවේ එලෙස නැවත ලියූ මේ ගීතයයි.

රුවක් ඇදෙනවා - කවුදෝ එනවා

මීවිත ඇඳිරිය - දෑස වසනවා

හද පොදි බැඳි දුක - දියකර පා කර

ඔබේ ලොවට මා - මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය - මල් මඟ මුල හිඳ

කිම තොල මීවිත පොඟවන්නේ

නුරා විරහා ගිනි - නිවා දමන්නයි

සුරා විතින් මා - දෙතොල තෙමන්නේ

නැඟුණු නුරා ගිනි - මී පොද වැටිලා

හතර වටින් දලුලා එනවා

අවන්හලේ මී විත තනි කරලා

වරෙන් මලේ - පියවර නඟලා

මහින්ද රජරට දුනුමඬලාව නම් වූ කැලෑ ගමේ උපත ලබා බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත්තෙක්. ගුරු වෘත්තියේ යෙදුණු ඔහු කලක් උතුරුමැද පළාත් සිංහල විෂය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළා.

මහින්ද ලියූ ගී බොහොමයක්ම පසුගිය කාලයේ රසිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වුණා. “ආවාදෝ සංසාරේ” (කපුගේ), “පින්සර ඔබ හැර”, “නෙතට උළෙලක්” (දිවුල්ගනේ), “වී පැදුරෙන්” (ක්‍රිෂාන්ත එරන්දක), “මුදු මුහුණේ සුව දැ‍නුණේ” (දිවුල්ගනේ සහ දීපිකා), “ඔබ අසා සිටී නම්”, “මං නැතිදා හිතට දුකක්” (නෙලූ අධිකාරි)‍ මෙයට නිදර්ශන.

“ඇසට අසුවන මායිමේ” මහින්දගේ ප්‍රථම ගේය කාව්‍ය සංග්‍රහය. 1993 උතුරුමැද කලා උළෙලේදී වි‍ශිෂ්ටතම ගී අත්පිටපත ලෙස සම්මානයට පාත්‍ර වුණේ එයයි. ඊට පස්සේ මහින්ද “වී පැදුරෙන්” නමින් තවත් ගී පොතක් පළකළා.

“බැන්ද අමුණ” මහින්දගේ තුන්වැනි ගී එකතුව. එයට සරල ගී මෙන්ම පරාක්‍රම නිරිඇල්ලගේ “චරන්දාස්” වේදිකා නාට්‍යයට මහින්ද ලියූ ගීත කීපයක් ද ඇතුළත්. සරල ගී අතරට සුනාමි ගීයක්, මාලිනි බුලත්සිංහල අනුස්මරණ ගීයක්, ආචාර්ය අමරදේවයන්ට රැමොන් මැග්සායිසායි ත්‍යාගය ලැබීම නිමිත්තෙන් ලියැවුණු සුවිශේෂ ගීතයක් ද එක්කර තිබෙනවා.

ජන සාහිත්‍යය පිළිබඳවත් සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳවත් මහින්ද සතු දැනුම ප්‍රාමාණිකයි. ගැමි වහර ඔහු ඉතා අපූරුවට ගීතයට මුසු කරනවා.

පතහෙන් දිය බීලා

ගල් කුළු පැලූ අපි

අද ගලක් පලා දිය බිඳක් සොයා යමු

පවසින් පීඩීත වී

මේ ගීතයේ “පතහ” යනුවෙන් යෙදෙන්නේ පොළව මතුපිට ස්වභාවිකව තැනුණු නොගැඹුරු ජලාශයයි. එසේම මහින්ද ලියූ ළමා ගීයක් වන “දැනෙයි දැනෙයි සුවඳ දැනේ නව දැලි හේනේ” ගීතයේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා.

“මල් පිපිලා කරල් හැදිලා

බඩිංගුරු ගහේ

පෙළූ පුළුන් ගොඩක් වගේ

කරලෙ රොහු ඇදේ”

“බ‍ඩ ඉරිඟු” වලට රජරට කියන්නේ “බඩිංගුරු” කියායි. “රොහු” යන්නෙහි තේරුම ඉරිඟු කරලේ අගින් එළියට ඇදී පෙනෙන කෙඳි සමූහයයි.

මහින්දගේ ජනප්‍රියම ගීතය යැයි කිව හැකි “ඇසට අසුවන මායිමේ” ගීතය මහින්ද සතු සම්භාව්‍ය සාහිත්‍ය දැනුම ප්‍රකට කරනවා. ඔහු මේ ගීයට ප්‍රස්තුත කරගන්නේ ධර්මප්‍රදීපිකාවේ එන සුළුකළිඟුදාවයි. සුළුකළිඟු කුමරු තම වැඩිමල් සොහොයුරාගේ මරණ තර්ජනවලට බියෙන් හිමවත් පෙදෙසකට පලා යනවා. එහිදී ගඟක් අද්දර රමණීය ස්ථානයක අසපුවක් හදාගෙන තවුස්දම් රකිනවා. මදුරට සාගල නුවර මදු රජ හා බිසව තම දියණිය ද කැටුව හිමවතට එනවා. මදු රජගේ දියණිය දකින කුමරු ප්‍රේමයෙන් මන්මත් වෙනවා. ඔහුට නියඟලා මල් හි රොනට වඩින බඹරුන් පවා පෙනෙන්නේ ලැව් ගින්නක් විලසින්.

මෙවැනි සම්භාව්‍ය ගීත රචකයන් බිහිකළ රජරට සේවය තවමත් පවතිනවද කියා කියන්නට මං දන්නේ නැහැ. තිබුණත් එකම ප්‍රශ්නය ස්වර්ණ ශ්‍රී, කපුගේ, විජයානන්ද වගේ දක්ෂයන්, අලුත් පරම්පරාවකට අතහිත දෙන ජ්‍යෙෂ්ඨයන් එහි සිටින්නේ ද යන්නයි.

පෞද්ගලික FM නාලිකා නිසා සිංහල සුභාවිත ගීතය මුළුමනින්ම විනාශ වෙලා. අද මහින්දලාට ගීත ලියන්න ගායක ගායිකා පරපුරක් නැහැ. මෙබඳු ප්‍රතිභාසම්පන්න ගීත රචකයන් මෙසේ නිහඬව සිටීම ඇත්තටම ඛේදනීය කාරණාවක්.

සුනිල් මිහිඳුකුල

[email protected]

නව අදහස දක්වන්න