ආදරණීය කතාවේ ආදරණීය ගායිකාව... | දිනමිණ

ආදරණීය කතාවේ ආදරණීය ගායිකාව...

සිතුවිලි පුරා

සිහිනෙක පවා

ඔබ මා ළඟයි සිතුණා

මගෙ සිහින අරන්

ඔබ ගියා ද මට සිතුණා

මේ දිනවල තිරගත වන ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ එන මේ ගීතය දැන් අපේ ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රියයි. අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි හරහා ද ‘සිතුවිලි පුරා’ ගීයට බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතී. අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ විසින්ම රචනා කර උදාර සමරවීර සංගීතවත් කළ මේ ගීතය තමන්ට ම ආවේණික ආදරණීය හඬකින් ගයන්නේ කුෂානි සඳරේඛා ය.

‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයට ම තවත් ගීත දෙකක් කුෂානි ගයයි. උපුල් ශාන්ත සන්නස්ගල රචනා කළ ‘ආදරේ’ ගීතය කසුන් කල්හාර සමඟ ද ‘මා නොගැයූ ගීතේ’ ගීතය අමල් පෙරේරා සමඟ ද ඇය ගයා ඇත. චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද ගමගේ ‘මා නොගැයූ’ ගීය ලියා තිබේ. ඔහු නැසීගිය ජ්‍යෙෂ්ඨ ගීත නිබන්ධක ධර්මසිරි ගමගේ සූරීන්ගේ පුතාය.

“ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ මේ ලස්සන ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. 2012න් පසුව මම පැහැදිලි වැඩක් කළේ නෑ. මේ වසර මුල දී මේ අවස්ථාව ලැබුණා. යුග ගීත දෙකට වගේම ‘සිතුවිලි පුරා’ ගීතයටත් ලැබෙන විශාල රසික ප්‍රතිචාර මට ලොකු ශක්තියක්...” කුෂානි සඳරේඛා ‘දිනමිණ’ – ‘සත්සරසි’ සමඟ කීවා ය. හේමාල් රණසිංහ සමඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන උදාරි වර්ණකුලසූරියට නිවැරදිව ම සැස‍ඳෙන ලෙස කුෂානි අපූරුවට මේ ගී ගයා ඇති බව කිව හැකිය.‍

“ඉස්සර ‍ජෝති අන්කල්ගෙ කාලෙ හැදුණ ලස්සන සංගීතමය චිත්‍රපටවල ගීත වගේ මේ ගීතත් හරිම ලස්සනයි. කසුනුත් ඒ බව පිළිගත්තා. මගේ අතින් ‘සිතුවිලි පුරා’ ගීතය හරියටම ලස්සනට කෙරුණා. රියැලිටි ෂෝ එකකට එන ආධුනික ‍ගායිකාවක් තරමක් චකිතයෙන් වගේ ගයන විදිහට තමයි එය ගයන්න තිබුණේ. මම ඒ විදිහට ගායනා කළා. ඊළඟ ගිත දෙක ඇය තර‍ගයේ ඉදිරියට ඇවිත් යම්කිසි පළපුරුද්දක් ලැබුවාම ගයන ගීත දෙකක්. ඒ ගීත දෙක ඒ තැන්වලට අවශ්‍ය විදිහට ගායනා කළා...” කුෂානි කියයි.

‍කුෂානි සඳරේඛා අද ඊයේ ගී ගැයූ ගායිකාවක් නොවේ. ඉතා කුඩා දැරියකව සිටියදී ඇය සුනිල්සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ සෝනියා දිසා සහ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘චණ්ඩි රජා’ චිත්‍රපටයේ ග්‍රේෂන් ආනන්දයන් සමඟ යුග ගීතයක් ගැයුවාය. එක මයික්‍රෆෝනයකින් පටිගත කෙරෙද්දී කුෂානි ග්‍රේෂන්ගේ තරමට උස නැති නිසා පුටුවක නංවා මයික්‍රෆෝනයට මුව ළං කරන්නට සලස්වනු ලැබීය. එම පටිගත කිරීමේ සේයාරුව එකල ‘සත්සර’ සංගීත පුවත්පතේ පළ කළ අතර එය අදත් කුෂානි ළඟ සුරක්ෂිතව පවතී. ඉන්පසුව ජීවන් මල්ලී - ඇය ඔබට බාරයි (ලතා වල්පොළ සමඟ) ඇතුළු චිත්‍රපට රාශියක ගී ගැයූ කුෂානි පසුගිය කාලයේ තිරගත වූ ඉනෝකා සත්‍යාංගනීගේ ‘සින්ඩරෙල්ලා’ චිත්‍රපටයට ද නවරත්න ගමගේගේ සංගීතයට උපුල්ශාන්ත සන්නස්ගල ලියූ ගීතයක් ගැයුවා ය. චණ්ඩි රජා, රජ දරුවෝ, කෙළිමඬල, ජීවන් මල්ලී, රණහංසි ආදී චිත්‍රපටවලත් ‘සඳුන්ගිර ගිනි ගනී’ ටෙලිනාට්‍යයේත් කුෂානි රඟපා තිබේ. ගැයුමට මෙන්ම නැටුමට ද හපනියක වන කුෂානි ගායනා හා නෘත්‍ය විශාරදවරියකි. ‘වරංගනා’ සහ ‘රේඛා’ නමින් සංයුක්ත තැටි දෙකක් මේ වනවිට ඇය නිකුත් කර තිබේ. කසුන් කල්හාර - අමල් පෙරේරා, නදීක ගුරුගේ සමඟ Black Red White Concert නමින් ප්‍රසංගයක කලකට පෙර ඇය ගී ගායුවා ය. එම ප්‍රසංගය ම නව මුහුණුවරකින් ඉදිර‍ිපත් කරන්නට ද ඇය ළඟ සැලසුමක් තිබේ.‍

“පුංචි ම කාලේ ‘සත්සර රේඛා’ කියල ප්‍රසංගයකුත් කළා. ඊට පස්සෙ අම්මගෙයි තාත්තගෙයි (මායා දමයන්ති සහ වික්ටර් විජයන්ත යුවළ) ‘පුරහඳ ලෙස’ ප්‍රසංගයට එකතු උනා. පසු කාලෙක කසුන් කල්හාරගෙ ‘රොමැන්ටික් ඔපෙරා’ ප්‍රසංගයට සම්බන්ධ උනා...”

* “කසුන් කල්හාර නේද කුෂානිට වැඩිපුර ම ගීත හදල තියෙන්නෙ?”

“ඔව්. එහෙමත් වෙන්න පුළුවන්. ජගත් ජයවර්ධන සංගීතවත් කරපු බණ්ඩාර ජයතිලක ලියපු ‘වරංගනා’ තනි ගීතයෙන් මාව මුලින්ම මතු උනාට පස්සෙ ‘දෙහදක ආදරේ’ ටෙලිනාට්‍යයට මංගල ප්‍රදීප් එක්ක ගයපු ‘ඔබ මගේ වෙලා’ ගීතයත් ඉස්සරහට ආවා. ‘අනුත්තරා’ රේඩියෝ ටෙලිනාට්‍යයේ ‘පැතූ සෙනෙහේ’ ගීතයත්, ඉරාජ් එක්ක ගයපු ‘කටකාරකම්’ ගීතයත් තරමක් ප්‍රසිද්ධ උනා. 2010 දී තමයි ‘රේඛා’ ඇල්බම් එක කළේ. කසුන් එකතු උනේ එතනින්. අරුණ කිත්සිරි ලියපු කසුන් හදපු ‘මට ම මම අවනත නොවී’ ගීතය කසුන් මට මුලින්ම හැදුවේ. එතෙක් තිබුණ ශෛලිය එතනින් පස්සෙ සහමුලින් වෙනස් උනා...”

* “අම්මගෙ ගීතයකුත් කුෂානි ගායනා කළා නේද?”

“... ‘අරලිය මල්’ චිත්‍රපටයට අම්මා ගායනා කළ ‘කුරුල්ලෝ නුඹේ තාලෙන්’ ගීතය Re – make කළා. ආචාර්ය අජන්තා රණසිංහ අන්කලුයි, අර්නස්ට් සොයිසා අන්කලුයි අවසරය දුන්නා. ඒත් අම්මට තාම හොඳට සිංදු කියන්න පුළුවන්නේ. ඒ නිසා මම අම්මගෙ සිංදුම කියාගෙන යන්න ඕන නෑනෙ...”

මායා - වික්ටර් යුවළ ඉදිරියේ දී ‘පුරහඳ ලෙස’ ගී ප්‍රසංගය නැවත ඉදිරිපත් කරන බවත් එහි තමා ද ගී ගයන බවත් කුෂානි කීවාය. සනාලි ද සිල්වා රචනා කර හරීන් ලියනගේ සංගීතවත් කළ ‘අසම්මතය සම්මත විය’ නමින් ගීතයක් කුෂානි සඳරේඛා අලුතෙන් ම නිකුත් කර තිබේ. ඒ ගීතය ගැන තමා කතා කරන්නට කැමති වන්නේ ශ්‍රාවකයන් තව දුරටත් එය අසා ප්‍රතිචාර දැක්වූවාට පසුව බව ඇය කියයි.

ගායනය (Voice Training) වාදනය හා නර්තනය (Dancing) මෙන්ම ඉදිරිපත් කිරීම (perfoming) යන සියල්ලම උගන්වන ‘රේඛා’ සංගීත ආශ්‍රමය ගායන හා නෘත්‍ය විශාරද කුෂානි සඳරේඛා සිය දෙමාපියන් හා එක්ව පවත්වා ගෙන යයි. කෝට්ටේ, මාදිවෙල, ප්‍රගතිපුර, අංක 38 දරන ස්ථානයේ පවත්වන එම පන්තිවල දී නවක ගායක ගායිකාවන්ට මෙන්ම සංගීත විභාගවලට පෙනී සිටින සිසු සිසුවියන්ට ද අධ්‍යාපනය ලබා දෙන බව කුෂානි කීවාය.

ආදරයට තමන් ඉතා ‘පෙරේත’ (කෑදර) බව කුෂානි මෑත දී පවසා තිබුණි. සිතුවිලි පුරා සිහිනෙක පවා ළඟ ම දැවටෙන ඒ ආදරයට ආදරය කරමින් කුෂානි සඳරේඛා නමැති ‘ආදරණීය කතාවේ ආදරණීය ගායිකාව’ සිය ගමන යමින් සිටින්නීය.

ආනන්ද පද්මසිරි

නව අදහස දක්වන්න