හේමාල්ට කෙනෙක් හොයන්න බෑලු | දිනමිණ

හේමාල්ට කෙනෙක් හොයන්න බෑලු

එහෙම කෙනෙක් හොයන එක කළුනික හොයනවා වගේ

 

වත්මන් සිංහල සිනමාවේ ආදරණීය තරුව

හේමාල් රණසිංහ සමඟ සොඳුරු කතාබහක්

 

වත්මන් සිංහල සිනමාවේ දක්ෂතම නළුවා කවුරුන්දැයි යන පැනයට ඔබේ පිළිතුර කුමක් විය හැකිද? විවිධ නම් ඔබේ මතකයට නැඟෙනු ඇත. අනතුරුව ඔවුන්ගේ රංගන හැකියාවන් මනසින් කිරා මැන බැලීමට ඔබ පෙළඹෙනු නියතය. ඔබේ පිළිතුරු ද එකිනෙකට වෙනස් වන බව නිසැකය.

එහෙත් ඔබේ ප්‍රියතම නළුවා කවුරුන්දැයි මා විමසුවහොත් ඒ හේමාල් රණසිංහ යැයි ඔබ බොහෝ දෙනකු පවසනු ඇත. හොඳ අධ්‍යක්ෂවරයකුට හොඳ නළුවකු බිහි කළ හැකි වුවද, ජනප්‍රිය නළුවකු එසේ බිහි කළ නොහැකිය. ඒ ජනප්‍රියත්වය එසේ හිතාමතා තැනිය හැක්කක් නොවන බැවිනි. ‘තරු ගුණය’ ඇතුළු බොහෝ කාරණා ඊට ඇතුළත් විය යුතුය.

හේමාල් චිත්‍රපට මහ ගොඩක රඟපෑ නළුවකු නොවේ. ඔහු මුලින්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේ ගිය වසරේ ප්‍රදර්ශනය වූ ‘ප්‍රවේගය’ චිත්‍රපටයෙනි. ඔහු ලද ඒ ජනප්‍රියත්වය වඩාත් ඉහලට ඔසවා තබමින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය කතාවක් දැන් තිරගත වේ. ඔහු එහි නිරූපණය කරනු ලබන්නේ අභිමාන ජයවර්ධන නමැති යොවුන් ගායන ශිල්පියකුගේ චරිතයයි.

කොහොමද අභිමාන ජයවර්ධනට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් සංතෝෂයි ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය ආදරයෙන් වැළඳ ගැනිම ගැන. තවම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා සති දෙකක් විතරනේ. ඇත්තෙන්ම මේ ජන ප්‍රසාදය ඉදිරියේදී තවත් වැඩි වෙයි කියා මම හිතනවා.

හේමාල්ගේ රසිකාවන්ගෙන් තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා ඇත්තේ?

ඇත්තම කිව්වොත් රසිකාවන්ගෙන් විතරක් නෙවේ. බාල, තරුණ, මහළු මේ හැම දෙනාගෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. එයින් පේන්නේ පවුලේ චිත්‍රපටයක් හැටියට ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය වැළඳගෙන තියෙනවා කියන එකයි. පොදුවේ ලැබෙන ඒ ප්‍රතිචාර ගැන අවංකවම සතුටු වෙනවා.

අපේ සිනමාවේ ආදරණීය පෙම්වතුන් විරල යුගයක ඔබ අභිමානගේ චරිතය ඉතා මැනවින් නිරූපණය කරනවා. කොහොමද මෙච්චර ප්‍රේමාන්විත විදිහට ඔබ ඒ චරිතයේ ජීවත් වෙන්නේ?

බොහොම ස්තූතියි ඒ තක්සේරුවට. නමුත් චිත්‍රපටය නරඹන හැම වෙලාවෙම මට හිතෙන්නේ ඒ චරිතය මට මීට වඩා හොඳින් කරන්න තිබුණාය කියන හැඟීම. මේ චිත්‍රපටයේ විතරක් නෙවෙයි මම රඟපෑ ඕනෑම චරිතයක් ගැන මට හිතෙන්නේ එහෙමයි. හැබැයි මේ චරිතයට මගෙන් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා හිතෙනවා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලන කොට. එතනදි මගේ ස්තූතිය හා ප්‍රණාමය පිරිනැමිය යුතුයි අධ්‍යක්ෂවරයාට. විශේෂයෙන්ම ඔහු මාව හරි ලෙස කියැවීම සම්බන්ධයෙන්.

ප්‍රියන්ත කොළඹගේ මේ චිත්‍රපටයට ඔබ තෝරා ගත්තේ ‘ප්‍රවේගය’ චිත්‍රපටය නැරඹුවාට පස්සේ?

ඔව්. ඩොනල්ඩ් ජයන්ත තමයි මුලින්ම මාව ප්‍රියන්ත කොළඹගේට යෝජනා කරලා තියෙන්නේ. ‘ප්‍රවේගය’ කියන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්. එතනදි ආදරය කියන දේ ඉස්මුතු වුණේ ගොඩක් අඩුවෙන්. නමුත් මේ චිත්‍රපටය පුරා කතා කෙරෙන්නේ ආදරය, බැඳීම්, පරිත්‍යාගය, අහිමිවීම්, මේ සියලු දේම. ඉතින් මේ රංගනය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා මාව පේ කර ගත්තා කිව්වොත් නිවැරදියි. ඔහුට අවශ්‍ය වුණේ මේ ආදරය කියන එක ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට අපි කොහොමද එළියට ගන්නේ කියන එක. ඒ ගැන කතා කරන්න අපි සාකච්ඡා වට කීපයක්ම පැවැත්තුවා. ඉතින් ඒ සියලු දේවල් ඉවහල් වුණා මේ චරිතය ගොඩ නඟන්න.

ඔබේ මිතුරා ලෙස රඟපෑ බිමල් ජයකොඩිගෙන් මම හිතන්නේ විශාල සහයෝගයක් ලැබුණා ඔබට?

ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනෑ. ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා මට මේ චිත්‍රපටය ඇතුළේ. ඇත්තටම ඔහු ප්‍රතිභාපූර්ණ නළුවෙක්. සැබෑ ජීවිතයේදීත් අපි දෙන්නා බොහොම ළඟින් ඇසුරු කරනවා. ඉතිං ඒ ආශ්‍රය පවා මට ගොඩක් වැදගත් වුණා මේ චරිත නිරූපණයේදී.

ඒ කියන්නේ දෙන්නා හොඳ ‘මචං’ලා?

ඔව්. අපි හොඳ මචංලා. ඒ යාළුකම වගේම හොඳ සහෝදර බැඳීමකුත් අපි අතරෙ තියෙනවා. ඉතිං ඒවත් එක්ක මේ චරිතය ගොඩ නැංවීමේදී අපට සාකච්ඡා කරන්න කාරණා තිබුණා. ඒ වගේම අරුණි රාජපක්ෂ සහ උදාරි වර්ණකුලසූරියගේ රංගන දායකත්වයත් මේ චිත්‍රපටය ඇතුළේ ‘අභිමාන’ ගේ චරිතය සාර්ථකව ගොඩ නංවන්න ඉවහල් වුණා කියා මම විශ්වාස කරනවා.

අභිමාන, පියවි, දෙවිලි තුන් ඈඳුතූ ප්‍රේමය වටා තමයි මේ චිත්‍රපටය දිග හැරෙන්නේ. මෙබඳු අත්දැකීමකට සැබෑ ජීවිතයේදී ඔබ මුහුණ පෑවොත් මොන වගේ තීරණයක් ද ගන්නේ?

හරි බරපතල කාරණාවක් ඒක. සැබෑ ජීවිතයේදී එහෙම නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරය, පරිත්‍යාගය මේ හැම දෙයක්ම කැටි වුණු අත්දැකීමක් තමයි අභිමාන ජයවර්ධනගේ ආදරය. මේ අහිමිවීම කියන දේ විඳ දරා ගන්න නොහැකි වීම තමයි අද අපි බොහෝ පෙම්වතුන්ගෙන් දකින්නේ. ආදරය අහිමිවීමත් එක්ක කෙනකුගේ හිතේ හට ගන්නේ වෛරය, එහෙම නැතිනම් ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීමි වගේ සිතිවිලි. නමුත් අභිමාන ජයවර්ධනගේ ආදරය එහෙම එකක් නෙවේ. ඒක පරිත්‍යාගශීලී ආදරයක්. ඇත්ත ජීවිතේදී මම එහෙම ඛේදවාචකයක් බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ ආදරයේදී. නමුත් ඇති වීම, නැති වීම කියන එක කාටත් පොදු දහමක් කියන එක මම විශ්වාස කරන දෙයක්. එතනදි මම කැමැතියි අභිමාන ජයවර්ධන විදිහට ඇත්ත ජිවිතයේදීත් ආදරය කරන්න.

පියවිගේ කම්මුල් පාර නම් සැර වැඩියි. ඒක ඇත්තටම ගහපු පාරක් මම හිතන්නේ?

ඇත්තට තමයි ගහන්නේ. නිර්මාණයට සාධාරණයක් වෙනවා නම් අපි ඕනෑම දෙයක් විඳ දරා ගත යුතුයි. මම හිතන්නේ ඒ රූප රාමුව ඉතාමත් සාර්ථක ලෙස චිත්‍රපටයේ අපි දකිනවා. ප්‍රේක්ෂකයා පවා එක්වරම තිගැස්සෙනවා ඒ ජවනිකාව දකිනකොට.

අම්බානට රිදුණා නේද?

නෑ එහෙම රිදෙන්න තරම් සැර කම්මුල් පාරක් නෙවෙයි. ඒත් ඒක නොදැනුනාමත් නෙවෙයි.

‘ප්‍රවේගය’ චිත්‍රපටයේ ඔබ ඒජබඪධද ඩ්ඥපධ කෙනෙක්. නමුත් ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්?

මේ වගේ එකිනෙකට වෙනස් වූ චරිත දෙකකට රංගනයෙන් දායක වෙන්න ලැබීම මගේ භාග්‍යයක් කියා මම හිතනවා. ‘ප්‍රවේගය’ ඇත්තටම ක්‍රියාදාම චිත්‍රපටයක්. එතනදි ලංකාවේ තරුණ පිරිස චිත්‍රපටයට කැමැති වුණා. ඔවුන් අදටත් මාව දැක්කාම ඉල්ලන්නේ ‘ප්‍රවේගය’ වගේ ජ්ඪතථ එකක්. හැබැයි ‘ආදරණීය කථාවක්’ අර මම මුලින් කිව්වා වගේ සියලුම දෙනා අතර ජනප්‍රිය වූ චිත්‍රපටයක්. වයස් භේදයකින් තොරව හැමෝම ඊට කැමැති වුණා. මොකද ආදරය කියන්නේ ‘හුස්ම’ වගේ දෙයක්. ඒක ඔක්සිජන් වගේ අපේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන හැඟීමක්. ඒ හැඟීමට තමයි සියලු දෙනා ආදරය කරන්නේ.

ආදරයට ආදරය කරන හැමෝම ‘ආදරණීය කතාවට’ වගේම අභිමානටත් ආදරෙයි?

ඔව්. ඒ ආදරය අභිමාන ජයවර්ධනටත් උරුමයි. ඇත්තෙන්ම මම සතුටු වෙනවා මේ වගේ විවිධ පරාසයන්ගෙන් යුත් චරිත රඟපාන්න ලැබීම ගැන. ඊළඟ චිත්‍රපටයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපට දෙකටම වඩා වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට යන්න. මම හිතන්නේ රංගන ශිල්පියෙකුට ලැබෙන ලොකුම සම්මානය තමයි විවිධ වූ චරිත නිරූපණය කරන්න ඔහුට අවස්ථාව ලැබෙන එක. මම හිතනවා යම්තාක් දුරකට ඒ අවස්ථාව මේ දක්වා මට ලැබිලා තියෙනවා කියලා. ඉදිරියටත් එහෙම ලැබෙයි කියා මං බලාපොරොත්තු වෙනවා.

මේ චිත්‍රපටයේ ඔබ ආදරණීය ගායකයෙක්. ප්‍රේක්ෂකයාට දැනෙන්නේ හැඟෙන්නේ ඒ ගීත හරියට ඔබම ගායනා කරනවා වගේ. හේමාල්ටත් මම හිතන්නේ ගීත ගැයීමේ හැකියාවක් තියෙනවා?

මට ඇත්තෙන්ම එහෙම දක්ෂ ලෙස ගීත ගායනා කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි මම හොඳ ගීත රසිකයෙක්. ලංකාවේ ජනප්‍රියම ඒ වගේම විවිධ වූ පරාසයන්ගේ ගායන ශෛලින් තිබෙන දක්ෂ ගායක, ගායිකාවන් මේ චිත්‍රපටයේ ගීත ගායනා කරනවා. කසුන් කල්හාර, අමල් පෙරේරා, අමිල පෙරේරා, චිත්‍රාල් සෝමපාල, කුෂානි සඳරේඛා, උරේෂා රවිහාරි වගේ ගායක ගායිකාවන් පිරිසක් මේ චිත්‍රපටයට දායක වුණා. මම හිතනවා මගේ හඬට වඩාත් ළඟින් යන ගායකයන් මේ චිත්‍රපටයේදී ප්‍රියන්ත කොළඹගේ මහත්මයා තෝරා ගෙන තිබෙනවා. කසුන් අයියාගේ වොයිස් එක, අමල් අයියාගේ වොයිස් එක, එතකොට අමිලගේ වොයිස් එක මේවා මට ගොඩක් ළඟින් යනවා. චිත්‍රාල් සෝමපාලගේ වොයිස් එක ටිකක් වෙන රේන්ජ් එකක තියෙන්නේ. එතනදි ඒක මගේ වොයිස් එකෙන් පොඩ්ඩක් පිටතට යනවා. නමුත් චිත්‍රපටයක් හැටියට ඔහුගේ හඬ ඊට යොදා ගැනීම ගැන මම සතුටු වෙනවා. ඔහුගේ රසිකයෙක් හැටියට මම ඒ ගැන ආඩම්බර වෙනවා.

මේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා ඊට සංවේදී වූ අයුරු අපි දුටුවා. හැමෝගෙම ඇස්වල කඳුළු නැඟෙන තරමට ඒ ඇතැම් දර්ශන සංවේදියි. පේ‍්‍රක්ෂකාගාරයේදී මේ අත්දැකීම ඔබට කොහොමද දැනුණේ?

චිත්‍රපටය ධාවන වන පැය දෙකක කාලය තුළ ප්‍රේක්ෂකයන් අවංකවම එය නැරඹුවා. අපි අද සිනමා ශාලාවලට ගියාම දකිනවා සමහර ප්‍රේක්ෂකයෝ ජංගම දුරකථනලින් කතා කරනවා. එහෙම නැතිනම් මෙසේජස් යවනවා. ඒගොල්ල අවංකවම චිත්‍රපටය ඇතුලේ ජීවත් වෙන්නේ නෑ. ඉතින් තමන් ආසා කරන චිත්‍රපටයක් නොවුනාම ප්‍රේක්ෂකයෝ ඒ වගේ වෙන වෙන දේවල්වල නිරත වෙන්න පුළුවන්. මම එහෙම සිදුවීම් දැකලා තියෙනවා. පෞද්ගලිකව මම සතුටු වෙනවා ‘ආදරණීය කතාවක්’ නැරඹූ ප්‍රේක්ෂකයන් චිත්‍රපටය තුළ අවංකවම ජීවත් වීම ගැන. ඒ නිසා වෙන්නැති ඔවුන් චිත්‍රපටය පිළිබඳ ඒ තරම් සංවේදී වුණේ. ඒ ගැන මම හිතන්නේ ස්තුතිවන්ත විය යුත්තේ අධ්‍යක්ෂවරයාට සහ ඔහුගේ දක්ෂතාවයට.

අපේ සිනමාවේ වර්තමානයේ බිහි වූ ‘සුපිරි තරුව‘ ඔබ කියා සමහරු කියනවා. ඒත් සමහර විචාරකයෝ පවසන දේ තමයි අද ‘සුපිරි තරු’ නෑ කියන කාරණය. ඇත්තම කිව්වොත් ඔබට හිතෙන විදිහට අද අපේ සිනමාවේ ‘තරු’ නැතිද? ඔබ තරුවක් නෙවෙයිද?

මම හිතන්නේ ප්‍රේක්ෂකයන් තමයි තීරණය කළ යුත්තේ තමන් ආදරය කරන චරිතය කවුද කියන එක ගැන. ඒ නිසා මට ඒ ගැන තක්සේරුවක් දෙන්න බෑ. අපි පුංචි කාලේ ඉඳන්ම සිංහල සිනමාවේ සුපිරි තරු දැක්කා. 70, 80 දශකයේ සිනමාවේ තමයි අපි ඒ සංකල්පය දැක්කේ. ඒ තරු සංකල්පය 90 දශකයෙන් පස්සේ බිඳ වැටුණා. ප්‍රේක්ෂකයෝ හැටියට අපිත් දැක්කේ නෑ ඊට පස්සේ සිනමා කර්මාන්තයේ එහෙම විශාල වෙනසක් හරි අපි ආස කරන වෙනසක්. මම සිනමාවට පිවිසෙන්නේ 70 දසකයේ 80 දසකයේ අපේ සිනමාවේ හිටපු ඒ වීරයෝ, ඒ තරු දිහා බලලා ඔවුන්ට ආදරය කරලා ඔවුන්ට ආස කරලා.

කවුද ඒ වීරයෝ, කවුද ඒ තරු?

නම් වශයෙන් කියන්න ගියොත් මහ විශාල පිරිසක් ඉන්නවා. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, කමල් අද්දරආරච්චි, එහෙම කිව්වොත් නම් විශාල ගණනක් කියන්න වෙනවා. මේ සියලු දෙනාට අපි ආදරය කළා. අදටත් ආදරෙයි. හෙටත් ආදරය කරනවා. ගෞරව කරනවා. ඉතින් අද අපි සිනමාවට පිවිසිලා මොන යම් හෝ දෙයක් කරන්න උත්සාහ කරනවා. ප්‍රේක්ෂකයන් පිනවන්න උත්සාහ කරනවා. එතනදි තරුවක් වෙනවද? වීරයෙක් වෙනවාද? කියන එක නෙවෙයි ඇත්තටම මම බලන කාරණාව. මට වැදගත් වෙන්නේ මට හම්බ වෙන නිර්මාණය ඇතුලේ මගේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීම., ප්‍රේක්ෂකයන්ට තමන් ගෙවන මුදලේ වටිනාකම ලබා දෙන්න, ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව.

ඔබ ජනප්‍රිය සිනමාවේ මේ වෙනකොට නමක් හදාගෙන ඉවරයි. එතකොට කලාත්මක සිනමාවේ චරිතාංග නළුවකු ලෙස ඔබට ඒ දක්ෂතා පෙන්විය හැකියි කියන විශ්වාසය ඔබ තුළ තියෙනවාද?

මට විශ්වාසයක් තියෙනවා. මගේ ජීවිතේ ආශාව විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කිරීම. ඒ වගේම ඔවුන්ගේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් මගේ ජීවිතයට එක් කර ගැනීම. ඒ තුළින් මගේ රංගන කාර්යය සාර්ථක කර ගැනීම. එතනදි එය වාණිජ චිත්‍රපටයක් ද, කලාත්මක චිත්‍රපටයක් ද කියන එක මට වැදගත් නෑ. මට වැදගත් නිර්මාණය හොඳවීමයි. එතනදි ඔය කියන්නා වූ කලාත්මක චිත්‍රපටයකට දායක වෙන්න ලැබුණොත් ඒක මම සතුටෙන් බාර ගන්නවා.

එය අභියෝගයක් නෙවෙයි?

කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් මාව එහෙම චරිතයකට තෝරා ගන්නේ අධ්‍යයනය කරලානේ. මාව අධ්‍යනය කරන අධ්‍යක්ෂවරයාට හොඳ කියවීමක් තිබිය යුතුයි. ඔවුන්ගේ නිර්මාණයට මාව දායක කර ගන්නවාද නැතිද කියන එක තීරණය කරන්න. ඔහුට මා හැඩගස්වා ගත හැකිද කියන අවබෝධය තිබිය යුතුයි. එහෙම අධ්‍යක්ෂවරයෙක් තමයි කවදා හරි දවසක මට කතා කරනවා නම් කතා කරන්නේ. ඔහුට මා ගැන තක්සේරුවක් තියෙනවා නම් මටත් තියෙනවා මා ගැන තක්සේරුවක් මට ඒ දෙය කළ හැකියි කියා.

හොඳ රැකියාවක් පවා අතහැරලා තමයි ඔබ සිනමාවට ආවේ. ඒ කියන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා නළුවෙක් වුණා නෙවෙයිනේ. එදා ඔබ ගත්ත ඒ තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

මම සංතෝෂ වෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අවදානමක් නැතිව සාර්ථකත්වයකට යන්න බෑ. ඉතින් මම ඔය තීරණය ගන්නේ 2010 දී. අවුරුදු විසි තුනක, විසි හතරක තරුණයෙකුට. ඒ වයසේදී ලැබිය හැකි හොඳ වැටුපක් සහිත රැකියාවක් මම කළේ. රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කරපු වෙලාවේ මම ළඟින්ම හිටපු කීප දෙනෙකුගෙන් ඒ ගැන විමසන කොට වැඩි පිරිසක් කීවේ ඔය තීරණය එච්චර හොඳ නෑ කියන එක. නමුත් අවසානයේදී මම ගත්තේ මම දැකපු හීනය ගැන තීරණයක්. අදටත් ඒ තීරණය ගැන මම සතුටු වෙනවා. නමුත් මම කියන්නේ නැහැ මේක හරි සුන්දර ගමනක් කියලා.

තිරයේ දකින සුන්දරත්වය බොහෝ වෙලාවට තිරයෙන් පිටුපස නැහැ?

අපි ගන්න තීරණවල යම් අවදානමක් තියෙන්න පුළුවන්. එහෙම තීරණයක් මම ගත්තේ ඒ අවදානම දරා ගන්න ශක්තිය මට තියෙනවා කියලා සිතුණ නිසයි. අපි ලබන අත්දැකිම් හරහා තමයි බොහෝ විිට අපි ජීවිතය සාර්ථක කර ගන්නේ. අපි ප්‍රශ්නවලට මුහුණ දෙන තරමට අපට ජීවිතය හඳුනා ගන්න අවකාශය ලැබෙනවා. මුහුණ දෙන තරමට අපිට ධෛර්යය ලැබෙනවා. මුහුණ දෙන තරමට අපි ශක්තිමත් වෙනවා. අදටත් මේ සියලු දේ සුන්දර නෑ. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් සොබාව ධර්මයේ සියලු නියමයන්ට අනුගතව තමයි අපි මේ ගමන යන්නේ. නමුත් මේ කරන කාර්යය අපි ආදරයෙන් හදවතට එකඟව කරන නිසා ඒ සියලු බාධක මට හරි රහයි.

මේ ප්‍රශ්නයටත් මෙච්චර වෙලා වගේම මට අවංක උත්තරයක් දෙන්න අවශ්‍යයි?

හා . . හා . .

‘ආදරණීය කතාවක්’ බලලා මොකද ඔයාගේ පෙම්වතිය කිව්වේ?

පෙම්වතියක් නැහැ එහෙම මොකුත් කියන්න අවංකවම. හැබැයි මට කවදාවත් පෙම්වතියන් ඉඳලා නෑ කියලා මම කියන්නේ නෑ. පෙම්වතියන් ඉඳලා තියෙනවා. ඒ පෙම්වතියන් සියලු දෙනාට ආදරය, ගෞරවය අදටත් මගේ හිතේ තියෙනවා. ඔවුන්ගෙත් මා කෙරෙහි ඒ ආකල්පයම ඇති කියා මා විශ්වාස කරනවා. මොකද කිසි දිනෙක මා කිසිවෙක්ගේ ජිවිතයට අනිසි බලපෑම් කරලා නෑ. අපි එක් වුණා නම් එක් වුණේ ආදරයෙන්. වෙන් වුණා නම් වෙන් වුණේ ගෞරවයෙන්. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නෑ මා එක්ක මේ වෙනකොට. අදටත් ඔවුන් එක්ක සුහදව කතා කරන්න පුළුවන් මානසික මට්ටමක් මට තියෙනවා සහ ඔවුන්ටත් ඒක තියෙනවා. එය ගෞරවාන්විත බැඳීමක් මිස වෙන කිසිම දෙයක් නෙවේ. මේ චිත්‍රපටයේ රඟපෑම් දැකලා තරුණියන් ගොඩක් මට කථා කළා. ඔවුන්ගේ හදවත් ගොඩක් සංවේදී වුණා කියලා තමයි කතා කරපු අය කිව්වේ. නමුත් වර්තමාන පෙම්වතියකගෙන් එහෙම ප්‍රතිචාරයක් ලබන්න තරම් මම වාසනාවන්ත නෑ.

හැබැයි ඔබ එහෙම අවාසනාවන්ත නැහැ කියා මා දන්නවා. ඒ සුවහසක් යොවුන් රසිකාවන්ගෙන් ඔබට අනන්තවත් ආදරණීය ආරාධනා ලැබෙන නිසා. ඔබෙන් ආදරය අයදින යුවතියන්ට මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ?

මාව පිටින් බලලා මනින්න එපා කියලා තමයි මුලින්ම කියන්න තියෙන්නෙ. ඒ කියන්නේ අපි නළුවෝ හැටියට එක එක චරිතයට අදාළ ගතිස්වභාවයන් තමයි නිරූපණය කරන්නේ. කෙනෙක් පෙම්වතාට ආදරය කරනවා වගේම දුෂ්ටයාට වෛර කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මතු පිටින් පේන දේට තමයි ඔවුන් ආදරය කරන්නේ. මගෙත් එක්ක ජිවිත කාලය පුරාවට අත අල්ලන් යන්න නම් නිවැරදිව මාව තේරුම් ගත යුතුයි. මගේ රැකියාව තේරුම් ගත යුතුයි. මා හිතන පතන විදිහ තේරුම් ගත යුතුªයි. පෙරළා මට තේරුම් ගත හැකි විදහට ඇයත් විවෘත විය යුතුයි. ඒත් එහෙම කෙනෙක් හොයන එක හරියට ‘කළුනික’ හොයනවා වගෙයි.

 

අදහස් 1ක් ඇත

Hemal is a great personality and charismatic character who is versatile as well. His acting is such that everyone who views any characters which he represent is deemed attracted at its fullest. He is such a dynamic, energetic and new era actor. But Udari Warnasooriya who acted with him in the film called "Adaraneeya Kathawak" is a failure. She is such that nothing being given to the spectators other than frustration. Udari is a ageing actor who deserves to be for mother's character rather than a girl friend. She caused the film being damaged to a such extent. She may boast that the so called film became popular because of her. If she thinks she is deemed totally mislead. This film is able to be saved because of Hemal's acting. Aruni and Bimal helped him a lot. Had the director was concerned enough to choose a young, energetic and intelligent actoress except Warnasooriya, This film would have been more popular than this.

නව අදහස දක්වන්න