ක්ෂේත්‍ර අටක් සංවර්ධනය සඳහා ඩොලර් කෝටි දෙකකට වැඩි ආයෝජන | දිනමිණ

ක්ෂේත්‍ර අටක් සංවර්ධනය සඳහා ඩොලර් කෝටි දෙකකට වැඩි ආයෝජන

 ඇමෙරිකානු ඩොලර් කෝටි දෙකකට වඩා ආයෝජන ලැබිය හැකි විශේෂ ක්ෂේත්‍ර අටක් හඳුනාගෙන, ඊට ආයෝජකයෝ කැඳවාගෙන වැඩපිළිවෙළක් ආරම්භ කළ බව උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ගුවන්තොටුපළ ප්‍රධාන හම්බන්තොට බැර කර්මාන්ත පුරයේ සහ ත්‍රිකුණාමලය ප්‍රධාන නැ‍ෙඟනහිර ආරම්භ කැරෙන කර්මාන්තපුර ප්‍රධානව මේ ආයෝජන සිදු කරන බව ඇමැතිවරයා සඳහන් කෙළේය.

ශ්‍රී ලංකා ආ‍යෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එන මේ ආයෝජන විශේෂ ක්ෂේත්‍ර අට පිළිබඳව කරුණු පැහැදිලි කළ මලික් සමරවික්‍රම මහතා, තෙල් පිරිපහදුව, පුනර්ජනනීය බලශක්තිය, ඒකාබද්ධ මෝටර්රථ නිෂ්පාදනය, කලාපය සඳහා වානේ පාලම් නිෂ්පාදනය මුල්වන බව ද කීය.

ඊට අමතරව පොහොර, ට්‍රිපල් සුපර් ෆොස්පේට් නිෂ්පාදනය, චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන් යානා අලුත්වැඩියාව හා එයට අදාළ වෙනත් සහාය ක්‍රියාවන් සහ ඒකාබද්ධ සීනි කර්මාන්ත දියුණු කිරීම්වලට වාසි ඉදිරියේදී ලබාගත හැකිවන බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ විනිමය පාලනය, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් මත බේදයට තුඩුදී ඇති කරුණකි. එබැවින් අපැහැදිලි හා රළු පනතක් සේ සැලැකෙන “විනිමය පාලන පනත” අහෝසි කිරීමට හා ආයෝජන හිතකාමී විදේශ විනිමය කළමනාකරණ පනත හඳුන්වා දීමට රජය ක්‍රියා කරමින් සිටින බව ද ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හා රඳවා තබා ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් ඇමැතිවරයා,දැනට පවත්නා අපනයන සැකසුම් කලාප නවීකරණය කිරීම අත්‍යවශ්‍ය බව කීය.

විශාල වශයෙන් පරිසරයට සංවේදී කර්මාන්ත පුත්තලම, හම්බන්තොට, කිලිනොච්චිය වැනි විශේෂයෙන් හඳුනාගත් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට යොමු කරවන බව ද මලික් සමරවික්‍රම මහතා පැවැසීය.

පහසුකම් අඩු ආ‍යෝජන කලාපවලට ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ආයෝජනය කරන හෝ නව රැකියා 500ක් ස්ථාපිත කළ හැකි නව ආයෝජකයින් සඳහා වසර පහක කාලයක් සඳහා සියයට 50ක බදු සහන ලබාදීමේ වැඩපිළිවෙළක් 2016 අයවැයෙන් යෝජනා කළ බව ද ඇමැතිවරයා කීය.

යම් ආයෝජකයකු සේවකයින් 800 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට රැකියා අවස්ථා උත්පාදනය කරනුයේ නම්, මේ බදු සහන කාලය වසර අට දක්වා දීර්ඝ කරනු ලැබේ.

රටේ ලිහිසි තෙල් වෙළෙඳපොළ සමාගම් අතළොස්සක් විසින් පාලනය කරනු ලබන අතර, එය වැළැක්වීමට මේ වෙළඳපොළ විවෘත කිරීමටත් අගය එකතු කළ නිෂ්පාදන සඳහා වැඩි ඉඩක් ලබාදීමටත් පියවර ගනු ලැබේ.

හම්බන්තොට වරාය හරහා යන මුහුදු මාර්ගය වාර්ෂිකව තෙල් නැව් 4500ක් ඇතුළුව නෞකා 35000ක් පමණ භාවිතා කරයි. එසේ වුවත් වර්තමානයේ අප ඉන්ධන සපයනුයේ අතළොස්සක් වූ නෞකාවලට පමණි. එබැවින් ගැඹුරු මුහුදේ තෙල් සැපැයීමේ අලුත් ආර්ථිකයකට රට යොමු කරවීමටද ක්‍රියා කරන බව ඇමැතිවරයා පැවැසීය.

නැව් සෑදීමේ හා කොටස් කිරීමේ කර්මාන්තය, නැව් අලුත්වැඩියා කිරීම වැනි කටයුතු ධෛර්යමත් කිරීම සඳහා හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ රජයේ ඉඩම් ආයෝජකයින්ට ලබාදෙන බවත්, මුල්‍ය සේවා, ආර්ථික යටිතල පහසුකම් දියුණු කරන බවත් කී ඇමැතිවරයා ඒ ඔස්සේ නව ආයෝජන ඉදිරි දෙවසර තුළ වැඩි වශයෙන් රටට ගලා එනු ඇති බවත් කීය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න