පිටකොටුව පොලිසියට අයිති නැති ගිනි අවි ගැන විශේෂ විමර්ශනයක් | දිනමිණ

පිටකොටුව පොලිසියට අයිති නැති ගිනි අවි ගැන විශේෂ විමර්ශනයක්

විජයානි එදිරිසිංහ

පිටකොටුව පොලිසියේ ගිනිඅවි ගබඩාවේ පොලිසියට අයිති නැති අතිරික්ත ආයුධ කිහිපයක් ගබඩා කර තිබීමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි.

පිටකොටුව පොලිසිය භාර කොළඹ සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය එම පරීක්ෂණය සිදුකරගෙන යයි.

එම සහකාර පොලිස් අධිකාරිවරයා මීට මාස දෙකකට පමණ පෙර පිටකොටුව පොලිසියේ ආයුධ ගබඩාව පරීක්ෂා කළ අවස්ථාවේ පොලිසියට අයිති නැති ගිනි අවි කිහිපයක් හමුවී තිබේ.

පොලිසියේ ගිනි අවි වාර්තා ද පරීක්ෂා කර අනතුරුව එවකට පොලිසියේ සිටි ස්ථානාධිපතිවරයාගෙන් ද ඒ ගැන ප්‍රශ්න කර ඇතත් ඔහු විසින් ගිනි අවි හිමිකාරීත්වය ගැන පැහැදිලි තොරතුරක් ඉදිරිපත් කර නොමැත.

අනතුරුව ඒ සම්බන්ධව හිටපු පොලිස්පතිවරයා ද දැනුවත් කර පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණවලදී හිටපු ස්ථානාධිපතිවරයා එම ගිනි අවි ගබඩාව භාරව කටයුතු කළ නිලධාරීන් ඇතුළු කිහිපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ඇත.

මේ අතර පිටකොටුව පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය කාලයේ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ රියැදුරකු මෙම පොලිසියේ ඉහළ නිලධාරියකු හා සම්බන්ධ වී ඔවුන් කුමන හෝ රහසිගත කර්තව්‍යයන්ට යොදාගත් හොර ගිනි අවි කිහිපයක් මෙසේ ආරක්ෂාව සඳහා පිටකොටුව පොලිසියේ ගිනි අවි ගබඩාවේ තැන්පත් කර තිබූ බවට ආරංචි මාර්ග සඳහන් කරන බවයි. 

අදහස් 1ක් ඇත

Alith pansalatama genath dana rate .. meka ithin puduma wenna deyakda ?

නව අදහස දක්වන්න