මතකය හැර නොයන හෙන්රි ජයසේන | දිනමිණ

මතකය හැර නොයන හෙන්රි ජයසේන

මෙරට නූතන වේදිකා නාට්‍ය ඉතිහාසයේ පුරෝගාමි මෙහෙවරක යෙදෙමින්, එහි අභිවෘද්ධියට කැප වූ ඔහු 1931 ජූලි මස 06 දින ගම්පහ බැන්ඩියමුල්ලේදී මෙලොව එළිය දුටුවේ ය. ලිපිකරුවකු, ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කළ ඔහු පසුව ජීවිත කාලය ම වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් කැප කළේ යැ යි පැවසීම අතිශයෝක්තියක් නො වේ. රංගධරයකු, නාට්‍ය රචකයකු, පරිවර්තකයකු හා අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ඉටු කළ සේවය සදා අනුස්මරණීය වේ. හෙන්රි ජයසේන නම්වූ මේ අපූරු සෞන්දර්යවේදියා භෞතිකව අප අතර නොසිටියත් ඔහුගේ නිර්මාණකාය තවමත් අපේ හද මනස පෝෂණය කරයි. එතුමන්ගේ 85වන ජන්ම දිනය සැමරෙන මේ මොහොතේ ‘දිනමිණ’ – ‘රසමංජරිය’ කරන ආවර්ජනාවකි.

‘නොව පැරණිය වන රමණිය විටින්විට’ යනුවෙන් සැලළිහිණි අස්නෙහි සිරි රාහුල හිමියන් කැලණිවෙහෙර ගැන සඳහන් කරන්නාක්මෙන්, මෙරට නාට්‍ය ඉතිහාසය තුළ නොමැකෙන මතකයක් හෙන්රි ජයසේනයන්ට හිමිවේ. එමෙන්ම ඔහුගේ නාට්‍ය බලන සෑම මොහොතක් පාසාම නව අරුත් ගම්‍යකරමින් රමණීයව අප ඉදිරියෙහි සෝභමානව පවතී. මේ අප්‍රමාන මිනිසා පිළිබඳව කියන්නට දුහුනෙකු වූ මා කෙසේනම් සුදුසු වන්නේද? අපි ඔහුට ම ඉඩදෙමු,
“රුක්මණී දේවි ඇතුළු පිරිස සිය නාට්‍ය ඇක්ට් කරන්නේ මෙහි ද? ඔවුන් රඟපාන්නේ මෙහි ද? මා කවදාවත් නාට්‍යයක් දැක නැත. එය කෙබන්දක් දැ යි මට සිතාගැනීමට පවා නුපුළුවන. මා දැන් හුදෙකලාව නැගී සිටින වේදිකාව නමැති මෙම දැව තලය මගේ ඉදිරි ජීවිතයේදී මට බොහෝ සේ බලපාන බැව් මම ඒ මොහොතේ දැන නොසිටියෙමි.”
(කරළියක කතාවක් - 19 පිටුව)
එදා ගම්පහදී රුක්මණී දේවී ඇතුළු මිනර්වා නාට්‍ය කණ්ඩායම රඟදැක්වූ ‘සැඟවුණු පිළිතුර’ දැකීමෙන් නාට්‍ය ලෝකයට ඔහුගේ මනසත් සිතත් ඇතුළු වූ බව පැවසීම යුක්තියුක්ත ය.
“මම තිරය දෙස බලමි. අඩ අඳුරේ එය දැන් මඳින් මඳ විවෘත වනු පෙනේ. සිහින් ආලෝක ධාරාවක් ඒ මැදින් වේදිකාව මැදට මෝදු වෙයි. කොහෙන් දෝ සංගීතයක් මතු වෙයි. අමා නදියක් සේ, සිහිල් පවන් පොදක් සේ, විහඟ ගීතයක් සේ, ආලෝක ධාරාවක් සේ, කරළිය ඉමෙන් මතු වී මුළු ශාලාව පුරා ම විහිදී පැතිරී නින්නාද වන දිව්‍යමය හඬක් මගේ සවන් පුරා ම පැතිරී මුළු සර්වාංගය ම වෙළාගනියි.”
(කරළියක කතාවක් - 22 පිටුව)
නාට්‍ය දර්ශනයෙන් කුහුලට පත් මේ කුඩා කොලුගැටයා මිනර්වා නාට්‍ය කණ්ඩායමට තමන් බඳවාගන්නා ලෙස ලියමනක් ලිවුවේ ය.
“ගම්පහදී ඔබ සැම රඟදැක්වූ ‘සැඟවුණු පිළිතුර’ නාට්‍යය බලා මම බොහෝ සේ සතුටට පත් වුණෙමි. මම ද කවි කීම, සින්දු කීම ආදියෙහි දස්කම් ඇති ළමයෙක් ය. මට අවුරුදු දහයක් විතර වේ. ඔබේ කණ්ඩායමට බැඳී අර වගේ වේදිකාවේ රඟපෑමට මම ද කැමති ය. මම තව ම රඟපා නැත. ඒත් මට හොඳට රඟපෑමට පුළුවන් කියා සිතමි. ඔබ කැමති නම් බස් එකක නැගී මට මීගමුවට එන්න පුළුවන්...”
(කරළියක කතාවක් - 24 පිටුව)
මෙසේ ඇති වූ ආශාව සිතෙහි දරාගෙන අධ්‍යයන කටයුතුවල නිරත වූ මේ කුඩා කොලුගැටයාට තම අදහස මුදුන් පමුණුවාගැනීමට අවස්ථාව උදා වන්නේ වයස අවුරුදු දහඅටක් වන විටදී ය. ඒ, නාලන්දා විද්‍යාලයේ පාසල් ශිෂ්‍යයකු ව සිටියදී ‘සිරි අයියා’ විසින් රචනා කොට නිෂ්පාදනය කළ ‘හරිස්චන්ද්‍ර’ නාට්‍යයේ ‘රෝහිත කුමාරයා’ගේ චරිතයට පණදීමෙනි. ඔහු තුළ රංගනය කෙරෙහි තිබූ නොතිත් ආශාව හරහා ප්‍රකට කළ රංගනය කෙසේ ද යත්, මේ නාට්‍ය පුහුණු වීම නරඹමින් සිටි මහාචාර්ය මලලසේකර සූරී හු මෙසේ පැවසූ හ.
“බොහොම හොඳ යි! යූ.ඒ.ඇස් බොහෝ ම අපූරු යි...! කවුද අර පුංචි රෝහිත කුමාරයාගේ චරිතය රඟපෑවේ?”
මලලසේකර මහතා වැඩිදුරටත් සිරි අයියාගෙන් විමසුවේ ය. සිරි අයියා මා එතුමා වෙත කැඳවුවේ ය. මලලසේකර මහතා මා දෙස බලා සිනා සුණේ ය. ඉක්බිතිව ඔහු මගේ හිස පිරිමැද්දේ ය. ඔහුගේ අත්ල මගේ හිස මතින් නොගෙන ඔහු මෙසේ ද කීවේ ය.
“This boy has a good future as an actor…”
(කරළියක කතාවක් - 14-15 පිටු)
මෙසේ තම රංග ප්‍රතිභාව මොනවට පසක්කළ, තරුණ අවධියේ සිට ම නාට්‍ය කලාව කෙරෙහි ලොබ බැඳගත් හෙන්රි ජයසේනයන් පිළිබඳව වඩා විස්තරාත්මක අධ්‍යයනයක් සඳහා ‘කරළියක කතාවක්’ කියවන ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි. එය නාට්‍යකරණයෙහි නියැළෙන විද්‍යාර්ථයින්ට තම දැනුම පුළුල් කරගැනීමට නිතැතින්ම ඉවහල් වේ.
ඔහුගේ නාට්‍ය සඳහා දායක වූ හා ඔහු ඇසුරු කළ ප්‍රවීණ නාට්‍යෙව්දී ධර්මසිරි බණ්ඩාරනායක මහතා සහ ඔහු හා සමකාලීන නාට්‍ය නිෂ්පාදකයකු හා ප්‍රවීණ රංගන ශිල්පියකු වන ලූෂන් බුලත්සිංහල මහතා සමඟ අපි හෙන්රි ජයසේනයන් ගැන විමසීමක් කළෙමු.
ධර්මසිරි බණ්ඩාරනායක මහතා සංවාදයට එක් වූයේ මෙලෙසිනි;
ඔබට කොහොම ද හෙන්රි ජයසේනයන් හමුවන්නේ?
මම ඔහුව මුලින් ම හඳුනාගන්නේ නාට්‍ය රසිකයෙක් විදිහට. පාසල් අවදියේදි ඔහුගේ විශිෂ්ට කෘතිවල මුල් ම දර්ශන නැරඹීමේ භාග්‍යය අපට උදා වුණා. ඒ නාට්‍ය අතර අප මවිතයට පත් කළ නාට්‍ය තමයි ‘හුණුවටයේ කතාව’ ඒ නාට්‍ය නැරඹීමෙන් පසු ඔහු කෙරෙහි විශාල ගෞරවයක්, භක්තියක් අප තුළ ගොඩනැගුණා.
හොරණ විද්‍යාරතන විද්‍යාලයේ මා පාසල් සිසුවකුව සිටියදී අපට නාට්‍ය වැඩමුළුවක් පැවැත්වූවා. එහි නාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ දේශනයට ආරාධනා කොට තිබුණේ හෙන්රි ජයසේනයන්ට. එසේ පැමිණීම නිසා අපට ඔහුව පෞද්ගලිකව දැනහඳුනා ගන්න අවස්ථාව උදා වුණා. එහෙත් මම කවදාවත් හිතුවේ නැහැ මට ඔහුව ළඟින් ඇසුරු කරන්න ලැබෙයි කියලා. ඒ වගේ ම ඔහුගේ නාට්‍යයක රඟපාන්න මාව තෝරගනියි කියලා.
‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ‘පියල්ගේ’ චරිතයත්, ‘හුණුවටයේ කතාවේ’ ‘අසඩක්’ගේ චරිතයත් අප තුළ සදා නොමැකෙන මතකයන් ඉතිරි කර තිබුණා. මට මුලින් ම ඔහුගේ නාට්‍යයක රංගනය සඳහා ආරාධනාව ලැබෙන්නේ මම රජයේ ලිපිකාර සේවයේ නිරත ව ඉන්න කාලෙදි. ඒ වන විටත් මම දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය කිහිපයකට ම සම්බන්ධ වෙලයි හිටියේ. හෙන්රි ජයසේනයන් මට ආරාධනා කළා. ඔහුගේ ‘මකරා’ නාට්‍යයේ රඟපාන්න. මම හිතුවේ බොහෝ ම කුඩා චරිතයක් වෙන්න ඇති කියලා. නමුත් ගිහින් බැලුව ම ‘ලාන්ස්ලොට්’ කියන ප්‍රධාන චරිතයක්, මාත් එක්ක නිශ්ශංක දිද්දෙණියත් මේ චරිතය සඳහා පුහුණු වීම්වල නිරත වුණා. ඔහු මට කිව්වා මම බලාපොරොත්තු වන ‘ලාන්ස්ලොට්’ගේ චරිතය මා අතින් ඉටුවෙනවා, ඒ නිසා මම ඒ චරිතයට සුදුස්සා බවට පත් වෙනවා කියලා. ඒ අවස්ථාවේ නිශ්ශංක දිද්දෙණිය නාට්‍ය අතහැරලා ගියේ නෑ. ඔහු එහි ඉතා කුඩා චරිතයක් නිරූපණය කළා. හෙන්රිගේ ‘මකරා’ අරගෙන දර්ශනවාර 80කට වඩා වැඩි ගණනක් ප්‍රදර්ශනය කෙරුණා. එතැනදි තමයි ඔහුව අධ්‍යක්ෂවරයකු වශයෙන් මට හමු වන්නේ.
නාට්‍ය අධ්‍යක්ෂවරයකු විදිහට ඔහු ගැන යමක් කියනවා නම්?
නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් හෙන්රි ජයසේනයන් ගැන කතා කළොත්, මා වැනි නළුවකු කෙරෙහි විශ්වාසය තැබීම, මගේ හඬ පෞරුෂය, මගේ ආත්ම පෞරුෂය චරිතය හරහා ගොඩනැගීමත්, දැඩි ශික්ෂණයක් සහිතව රංග ක්‍රියාවලියෙහි යෙදෙන පුද්ගලයෙක් බවට මා පත් කිරීමත් සුවිශේෂ කාරණයක්. මේ කාරණා සියල්ල ම මට ජය ගන්න ලැබෙන්නෙ හෙන්රි ජයසේනයන්ගෙ මෙහෙයවීම යටතේ. ඒක මගේ මුළු ජීවිත කාලය පුරා ම අද දක්වා ම තැන්පත් වෙලා තිබෙනවා. ඒ නිසා මට ඔහු විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක්, විශිෂ්ට ගණයේ නිෂ්පාදකවරයෙක්, ඒ වගේ ම විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක්.
‘ඔබේ හංසවිලක්’ චිත්‍රපටයේ ‘ඩග්ලස්’ කියන චරිතයට පණපොවන්නේ හෙන්රි ජයසේනයන්?
ඔව්. මා අධ්‍යක්ෂණය කළ ‘හංසවිලක්’ චිත්‍රපටය සඳහා ඔහුව තෝරාගන්න විශේෂ හේතුවක් තමයි, ඔහු තුළ තිබූ වෙනස් විදිහේ රංගන පෞරුෂය, ගැඹුරු කටහඬ, ඉංගිත හොඳින් නිරූපණය කිරීමේ පොහොසත් බව. ඒ සියල්ලක් ම ‘හංස විලක්’ චිත්‍රපටයේ ‘ඩග්ලස්ගේ’ චරිතය ගොඩනැගීම සඳහා ඉවහල් වුණා. ඒ වගේ ම මගේ අධ්‍යක්ෂණය යටතේ රංගනයේ යෙදෙන්න තරම් ඔහු නිහතමානි වුණා. හෙන්රි ජයසේනයන්ට සිනමා දිවියේ ලැබුණු එක ම සරසවි සම්මානය වන හොඳ ම සහය නළුවාට හිමි සම්මානය ‘හංස විලක්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හිමි වුණා.
ඔහුගේ නාට්‍ය රඟදක්වන තරුණ පිරිස ගැන මොක ද හිතෙන්නේ? ඔවුන් සාර්ථක ද?
දැනට නිෂ්පාදකයෙක් වශයෙන් පවත්වාගෙන යනවා ‘හුණුවටයේ කතාව’ හා ‘කුවේණි’ නාට්‍යය. ඔහු ගේ ප්‍රථම නිෂ්පාදන දිහා බලපුවා ම මේ නිෂ්පාදන බොහෝ ම පසුගාමි මට්ටමකයි පවතින්නේ. ඒ වුණත් මෙලෙස ඒවා පවත්වාගෙන යෑම වෙනුවෙන් ඒ තරුණ නාට්‍ය කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. කෙසේ නමුත් ‘හුණුවටයේ කථාව’ නාට්‍යය, ප්‍රථම නිෂ්පාදනයේ පැවති අතිවිශිෂ්ට මට්ටම යළි පවත්වාගත හැකි නම් මම හිතන්නේ එය ඉතා ම වැදගත් කාරණයක් වෙනවා. සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනය සඳහා. ඒ වගේ ම හෙන්රි ජයසේනයන්ගෙන් තරුණ පරම්පරාවට ගන්න තියෙන එක ම පාඩම තමයි, කොහොමද නාට්‍ය කලාව වෙනුවෙන්ම කැප වී කටයුතු කරන්නේ කියන එක. ඒ සඳහා මානෙල්ගෙන් හොඳ සහයක් ඔහුට ලැබුණා. අද වන විට එසේ කැප වීම සම්බන්ධයෙන් වත්මන් තරුණ පරපුරට අවබෝධයක් නැහැ. මේ අවබෝධය ළඟා කරගත හැකි වන්නේ නාට්‍ය ඉතිහාසය තුළ එවැනි කලා ගුරුවරුන් අපට සිටි බව මතකයේ රඳවාගැනීම හා ඔවුන්ගෙ කෘති හොඳින් අධ්‍යනය කිරීම මඟිනු යි.
හෙන්රි ජයසේනයන් අනෙකුත් නාට්‍යකරුවන් වන සුගතපාල ද සිල්වා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම ආදි නාට්‍යකරුවන් වගේ ම අධ්‍යයනය සඳහා යොදාගත හැකි විශිෂ්ට ගණයේ නාට්‍යකරුවෙක්. තම ජීවිත කාලය තුළ මෙවැනි කැප කිරීම් කළ නිර්මාණකරුවන් විරල යි. අනාගතයේදීත් අපට දකින්නට ලැබෙයි ද කියලා හිතෙනවා. ඒ ගැන හිතනවිට කණගාටුවක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා වත්මන් තරුණ පරපුර මේ පුරෝගාමි කලාකරුවන් අධ්‍යනය කිරීම ඉතා වටිනවා.
මේ, ලූෂන් බුලත්සිංහල සූරීන් හෙන්රි ජයසේනයන් ගැන දැක්වූ අදහස් ය;
හෙන්රි ජයසේනයන් ඔබ දකින්නේ මොන ආකාරයට ද?
මම ඔහුව දකින්නේ ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනය කරමින් වේදිකාව ජය ගත් විශිෂ්ට ගකයේ නාට්‍යකරුවෙක් විදිහට යි. ඒ ස්වතන්ත්‍ර නාට්‍ය අතර අග්‍ර ඵලය තමයි ‘කුවේණි’ නාට්‍යය. ඊට පසුව ඔහු කළ නාට්‍ය ජනතාව අතරට ගියේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ‘අපට පුතේ මඟක් නැතේ’ කියන නාට්‍යය ඉතා හොඳ නාට්‍යයක් වුණත්, එය බලාපොරොත්තු වෙච්ච තරම් ජනතා ප්‍රසාදයට පත් වුණේ නැහැ. මගේ තේරීම අනුව නම් ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍යවලින් ‘කුවේණි’ තමයි හොඳ ම නාට්‍යය. පසුව ඔහු වෙනස් ම මගකට අවතීර්ණ වෙනවා. ඒ තමයි ‘බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට්’ගේ නාට්‍යයක පරිවර්තනයක් වන ‘හුණුවටයේ කතාව’ ඒක ඉතා ම ජනප්‍රිය නාට්‍යයක් බවට පත්වෙනවා. නමුත් මගේ අදහස නම් ඔහු ‘බ්‍රෙෂ්ට්ගේ’ න්‍යායගත රංග රිතීන් සම්පූර්ණ වශයෙන් ම යොදාගත්තේ නැහැ කියන එකයි.
ඔහු ‘හුණුවටය’ ස්වතන්ත්‍රව, ස්වාධීනව ‘බ්‍රෙෂ්ට්ගේ’ දූරස්ථකරණ රීතියට හසු නො වී කළ නිර්මාණයක්. ඒ තුළ මෙරටට ආගන්තුක නොවන, මේ රටේ මිනිස්සුන්ගේ හෘදයස්පන්දනයට ගැළපෙන රංග රීතියක් ‘බ්‍රෙෂ්ට්’ගෙන් වෙනස් ව ඔහු ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වෙනවා. පසුව ගොඩක් අය බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කළා. නාට්‍යකරුවෙක් විදියට මම හිතෙනවා, ඔහුගෙ භාවිතාවේ කිසියම් ස්වාධීනත්වයක් තිබුණා කියලා. මට එය පැහැදිලිව පෙනුණෙ ‘මනරංජන වැඩවර්ජන’ කියන ස්වතන්ත්‍ර නාට්‍ය තුළදී. එය බොහෝ දෙනාගේ දරුණු විවේචන එල්ල වෙච්ච නාට්‍යයක්. මොක ද ඒ තුළ ඔහු කතා කළේ වර්ජකයන් පිළිබඳව නිසා. වර්ජකයන් පිළිබඳව ඔහු දක්වන ආකල්පය පරාජිත ආකල්පයක් ය කියන අදහස බොහෝ දෙනා චෝදනාවක් ලෙස ඉදිරිපත් කළා. නමුත් මම කියනවා ඒක එහෙම නෙමෙයි, ඔහු තුළ ඊට වඩා මානව භක්තිය පිළිබඳ කාරණාව බල පැවැත්වුණා කියලා. එහෙම නැතුව අර වාමාංශික ව්‍යාපාරය තුළ තිබෙන න්‍යායාත්මක ගුණයට පරිබාහිරව පවතින ප්‍රචාරාත්මක වුවමනාවට ඒ නාට්‍යය පත්කළේ නැහැ යි කියලයි මට හිතෙන්නේ.
ඒ නිසා මම විශ්වාස කරනවා මෙරට ද්විභාෂා අධ්‍යාපනය හරහා බිහිවෙච්ච, ඒ වගේ ම පුළුල් ලෙස නාට්‍ය කලාව පිළිබඳව හැදෑරීමට ලක් කරපු, බොහෝ රටවල්වල නාට්‍ය නරඹා ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව නාට්‍යකරණයේ නියැලුණු විශිෂ්ට ගණයේ නිර්මාණශිල්පියකු හැටියට හෙන්රි ජයසේනයන්ව. ඔහු එක ම ශෛලියකට අනුගත නොවී විවිධ නාට්‍ය නිර්මාණ අත්හදා බලමින්, විවිධාකාරයේ රසිකත්වයක් සහිත ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කරන්න උත්සුක වූ කලාකරුවෙක්.
85වන ජන්මදිනය සැමරෙන මේ මොහොතේ මේ කෙරුණ ආවර්ජනාව, ඔහුගත් මග සොයන තරුණ නාට්‍යනරුවන්ට උපහාරයක්ම වේවා!

සටහන - කේ.ඩී රසික


නව අදහස දක්වන්න