ඩෙංගු මරණ 40යි රෝගීන් 22,799යි | දිනමිණ

ඩෙංගු මරණ 40යි රෝගීන් 22,799යි

වැඩිම කොළඹ-දෙවැනි තැන ගම්පහට

දිවයිනේ සියලු ප්‍රදේශවලින් මේ වනවිට ඩෙංගු රෝගීන් 22,799ක් සහ එමගින් සිදු වූ මරණ 40ක් බවට පත්වෙමින් ඩෙංගු රෝගය මහා වසංගතයක් බවට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කළේ ය.‍

එම ආරංචිමාර්ග පෙන්වාදෙන අන්දමට වැඩිම ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 7369 දෙනකු ජූලි 8 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර දෙවැනි වැඩිම සංඛ්‍යාව වන 2091 වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

රෝගීන් 1879ක ප්‍රමාණයක් කොළඹ මහනගර සභා ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, ගත වූ දින අට තුළදී රෝගීන් දහසකට අධික ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

මෙම තත්ත්වය සමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජූලි 13, 14 හා 15 යන දිනවලදී මෙම උවදුර තදින් පැතිරී ඇති දිස්ත්‍රික්කවල දැඩි ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. ඒවා අනුව මෙම විශේෂ වැඩසටහන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ව්‍යාප්ත කෙරෙනු ඇත.

නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, කොලොන්නාව, කඩුවෙල, මොරටුව, මහරගම, පිළියන්දල, ජා-ඇළ, මහර, ගම්පහ, වත්තල, කැලණිය, අත්තනගල්ල, බේරුවල හා පානදුර යන ප්‍රදේශත් මුළු මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් බහුලව සිටින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි ද එම ආරංචිමාර්ග හෙළි කළේය.

ආරක්ෂක නිලධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන කණ්ඩායම් 760ක් ඩෙංගු උවදුර තුරන් කිරීමේ ව්‍යාපාරයට යොදවා ඇති අතර, ඔවුන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ඇත. එක් එක් දිස්ත්‍රික්ක අවශ්‍යතා අනුව යොදවා ඇති මෙම කණ්ඩායම් විසින් මදුරු මර්දනය සඳහා දුම් ගැසීම ඇතුළු මදුරු කටයුතු අධීක්ෂණය කරනු ඇත. ඩෙංගු මදුරු බිත්තර හා කීටයන් වාර්තාවූ පාසල් භූමි හා ඉදිකිරීම් සිදුවනු ස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇත. තම පාසල් භූමි පිරිසිදු කිරීමේ හදිසි අවශ්‍යතාවය විදුහල්පතිවරුන්ට දැනටම දන්වා ඇතැයි එම ආරංචිමාර්ග පැවසීය.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන මුල්ලේරියාවේ බෝවෙන රෝග (අයි. ඩී. එච්.) රෝහලට රෝගීන් පැමිණෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන නිසා එහි බාහිර රෝගීන්ගේ ප්‍රතිකාර රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මීගමුව, මහනුවර හා කොළඹ ජාතික ‍යන රෝහල් මෙම රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගන්නා ආයතන මේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 47.61ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, පාසල්වල මෙම රෝගය පැතිර යාම 2015දී 32% ප්‍රමාණයේ සිට 2016දී 38% දක්වා වැඩි වී ඇත. ඉදිකිරීම් භූමිවල මෙම ප්‍රමාණය 38% සිට 40% දක්වා මෙම වසරේ දී වැඩි වී ඇත. කොළඹ නගරයේ ඉදිකිරීම් කරන ආයතන 70 කට අනතුරුදායක අවවාදමය රතු ලේඛන නිකුත් කර ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය. 

නදීරා ගුණතිලක

නව අදහස දක්වන්න