සිනමා ඉතිහාසය දිගේ මේ පාරෙන් එන්න | දිනමිණ

සිනමා ඉතිහාසය දිගේ මේ පාරෙන් එන්න

 අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ බලංගොඩ මානවයා ගැන දන්නවා. ඒ වගේම ලිඛිත මූලාශ්‍ර ඔස්සේ සිංහල රාජාවලිය ගැනත් ඒ ඒ යුගවල පැවති සමාජ - දේශපාලන - ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන් ගැනත් දන්නවා. ඒත් උත්ප්‍රාසයකට තුඩුදෙන කාරණාවක් වන්නේ අවුරුදු 69ක් වන සිංහල සිනමාවේ නිවැරදි ඉතිහාසයක් නොදැන සිටීමයි.

මෙයට හේතු කීපයක් තිබෙනවා. අපිට විධිමත්ව පවත්වාගෙන යන සිනමා සංරක්ෂණාගාරයක් නැති වීම, සාහිත්‍යගත සිනමා මූලාශ්‍ර නොතිබීම ශාස්ත්‍රාලයීය මට්ටමේ උගතුන්ගේ අවධානය සිංහල සිනමාව කෙරෙහි යොමු නොවීම යනාදී වශයෙන් මේ කරුණු එකිනෙක ගොනු කරන්න පුළුවන්.

83 කළු ජූලියේ විපාක වශයෙන් සිංහල චිත්‍රපට රැසක් රටට අහිමිව ගියා. ඒ වනවිට චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවා තිබුණේ නම් ඊට මේ දුර්භාග්‍ය සම්පන්න ඉරණම අත්වන්නේ නැහැ.

මේ රටේ චිත්‍රපට සංරක්ෂණාගායක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙනැල්ලා තියෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒ 1958 දී එක්තරා සඟරාවකට ලියූ ලිපියක් මගින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට පස්සේ 1965 නිකුත් වූ ‘ලංකා චිත්‍රපට කර්මාන්ත පරීක්ෂණ කොමිෂන් සභාවද’ මෙවැන්නක වැදගත්කම අවධාරණය කළා.

1972 දී ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරි තනතුර හෙබ වූ අවස්ථාවේ චිත්‍රපට සංරක්ෂණාගාරයකට මුල පිරුවත් එය ක්‍රමවත්ව පවත්වාගෙන ආ ආකාරයක් පෙනෙන්නට නැහැ. ඒ දිනවල ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ පිටපතක් සොයාගෙන ඇත්තේ එක් චිත්‍රපට නිෂ්පාදකවරයකුගේ නිවෙසේ වැසිකිළියකින්. එදා නිහාල්සිංහ ප්‍රමුඛ පිරිස මේ පිටපත සොයා නොගත්තේ නම් ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වැසිකිළියේදීම විනාශ වී යන්ට ඉඩ තිබුණි.

සිනමා ඉතිහාසය පිළිබඳ අපට තිබෙන සාහිත්‍යමය මූලාශ්‍ර ඉතා අල්පයි. අඩුම ගානේ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ සමරු කලාපයවත් ජාතික ලේඛනාගාරයේ සංරක්ෂිතව නැහැ. (‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයේ සමරු කලාපයක් නම් එහි තිබෙනු මට දක්නට ලැබුණා. ) චිත්‍රපට සමරු කලාප, චිත්‍රපට ගීත පොත් සිනමා ඉතිහාසය සොයා පාදා ගන්නට ප්‍රමාණවත් මූලාශ්‍ර මහාචාර්ය සුනිල් ආරියරත්න සිංහල චිත්‍රපට ගීත ගැන පර්යේෂණයක් කරනකල් ශාස්ත්‍රාලීය උගතුන්ගේ අවධානය සිංහල සිනමාව කෙරෙහි යොමුවුණේ නැහැ. නාට්‍ය ඉතිහාසය ලියන්නට නම් මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය ඩී.පී.හපුආරච්චි වැනි විද්වතුන් හා ඇල් ඩී. ඒ.රත්නායක වැනි නාට්‍යකරුවන් ද සිටියා. ඒත් සිනමා ඉතිහාසයට එවැන්නන් හිටියේ නැහැ.

මෙබඳු පසුබිමක ඩී.වී.සෙනෙවිරත්න ඉතා වැදගත් චරිතයක්. සිනමා ඉතිහාසය ගොනු කිරීමෙහිලා පුරෝගාමි වුණේ ඔහු. ඔහු මෙයට මැදිහත් නොවන්ට 1925 දී නිපදවුණ ‘රාජකීය වික්‍රමය හෙවත් ශානිකා’ නම් වූ නිහඬ චිත්‍රපටය ඉතිහාසයටම වැළලී යන්ට තිබුණා. මෙම චිත්‍රපටය ගැන ලියැවුණු පළමු ලිපිය ‘ඇන්.ඇම්. පෙනී සිටිය පළමුවැනි චිත්‍රපටය’ යන හිසින් 1955 නොවැම්බර් 3 වැනි දින ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයෙත් ඒ අරභයා ඉංග්‍රීසි ලිපියක් නොවැම්බර් 10 ‘ලංකා සන්ඩේ ටයිම්ස්’ පත්‍රයෙත් පළ වුණා.

ඒ වගේම ‘ප්‍රේමවතී’, ‘පළිගැනීම’ වැනි චිත්‍රපටවල දුර්ලභ තොරතුරු ලිව්වේත් ඩී.වී. ඔහු ‘වනිතා විත්ති’, ‘කලා’ වැනි පුවත්පත් සඟරාවලට සිනමා ඉතිහාසය ගැන ලිපි ලිව්වා. ඒවයින් චිත්‍රපට ඉතිහාසය විතරක් නොවෙයි ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයට තිරගත වන්නට පෙර මෙරට චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරය පැවති ආකාරය ගැනත් දුර්ලභ තොරතුරු අනාවරණය කෙරුණා.

ආතර් යූ. අමරසේන, අර්නස්ට් පෝරුතොට පියනම, රූපසේන සිල්වා, එස්.කේ.ජයවර්ධන. ගාමිණී ගුණතිලක, අරුණ ගුණරත්න,කේ.ඩී.නික්ලස්, සිරි අබේසේකර, ඩී.වී. ට පසු සිනමා ඉතිහාසය වෙත අවධානය යොමු කළ ලේඛකයන් අතර ප්‍රමුඛ වෙනවා.

මහින්ද දළුගොඩආරච්චි හා ජයන්ත කළුපහණ සංස්කරණය කළ ‘සිරිලක සැඟවුණු සිනමා වත’ නමැති ග්‍රන්ථය වැදගත් වන්නේ මෙබඳු වටාපිටාවක් මැද්දේ. සිනමා ඉතිහාසයට අදාළ ලිපි 41ක් මෙයට ඇතුළත්. එමගින් අලුතින් සිතා බැලිය යුතු එසේම සංවාදයකට ලක්විය යුතු කරුණු කීපයක්ම ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් එකක් තමයි ‘ගම්බද සුන්දරී’ මි.මි. 16 චිත්‍රපටයක්ද නැත්නම් මි.මි. 16න් තනන මි.මි. 35ට විශාලනය (Blow –up) කරන ලද චිත්‍රපටයක් ද යන්න මේ ගැන ලිපියක් සම්පාදනය කරන රූපසේන සිල්වා කියා සිටින්නේ එය මි.මි. 16 චිත්‍රපටයක් බවය. එහෙයින් එය සිංහල චිත්‍රපට නාමාවලියට ඇතුළත් කරන්න බැහැ. එය අයත් විය යුත්තේ මි.මි.16න් තැනූ චිත්‍රපට නාමාවලියටයි. ‘ගම්බද සුන්දරී’ චිත්‍රපටයේ පිටපතක් තිස්ස නාගොඩවිතාන සතුව තිබෙනවා. එය එකල (1950) තිරගත එකම පිටපත වීම දුර්ලභ කාරණයක්. රූපසේන සිල්වා කියන්නේ මේ මි.මි.16 පිටපතම මි.මි. 35 ප්‍රක්ෂේපණ ක්‍රමයක් උපයෝගි කරගෙන ප්‍රදර්ශනය කර ඇති බවයි.

සිංහල සිනමා ඉතිහාසය තුළ තවත් නිරාකරණය කරගත යුතු කාරණයක් වන්නේ ‘කුසුමලතා’ නම් වූ දෙමළ චිත්‍රපටය දෙමළ බසින්ම නිෂ්පාදනය වූවක්ද නොඑසේ නම් එය ‘සැඟවුණු පිළිතුර’ චිත්‍රපටයේම දෙමළ දෙබස් කැවීමක්ද යන වග. ඒ පිළිබඳ විවරණයක යෙදෙන රූපසේන සිල්වා ඉතාම තර්කානුකූලව පෙන්වා දෙන්නේ ‘කුසුමලතා’ යනු ඉහත සිංහල චිත්‍රපටයේ දෙමළ දෙබස් කැවීමක් බවයි

ජයන්ත කළුපහණ ලියා ඇති ලිපියෙන් ප්‍රථම සිංහල සිනමා සාහිත්‍ය කෘතිය එම්.පී.නෙත්තසිංහගේ ‘චරිත නිරූපණය හා විචාරය’ බව සාධක සහිතව පෙන්වා දෙනවා.

මේ තාක් ප්‍රදර්ශනයට නොපැමිණි ‘මං මුලා වැල්’ චිත්‍රපටය පිළිබඳ තොරතුරු රැසක් එම්.ඩී.මහින්දපාල ලියූ ලිපියකට ඇතුළත් වන අතර තුසිත ජයසුන්දර ලියූ ලිපියකින් ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘ෂෙල්ටන් සහ කාන්ති’ ‘සිර කඳවුර’ වැනි චිත්‍රපට ගැනත් කරුණු දැක්වෙනවා. මෙම සිනමාපටය 83 කළු ජූලියේදී හැඳල ‘විජයා’ චිත්‍රාගාරය ගිනි බත් වූ අවස්ථාවේ විනාශ වී තිබෙනවා.

සිනමාවට නැඟුණු නවකතා, කෙටිකතා හා චරිත කතා, පූර්ව ප්‍රචාරක පට, පුළුල් තිර චිත්‍රපට, සිනමා සම්මාන උත්සව යන ක්ෂේත්‍ර අලළා ලියූ ලිපිද මෙම ග්‍රන්ථයට සංග්‍රහව තිබෙනවා. චිත්‍රපට සංගම් ව්‍යාපාරයේ ඉතිහාසය, වාර්තා චිත්‍රපට ඉතිහාසය සංස්කාරකවරුන්ට මගහැරී ඇති මාතෘකා කීපයක්.

මේ පොත පසුබිමේ තබාගෙන චිත්‍රපට සංස්ථාවෙන් එක් ඉල්ලීමක් කරන්ට අප කැමැතියි. එනම්; ඉදිරියේදීවත් චිත්‍රපට වාර්ෂිකයක් පවත්වා ගෙන යන ලෙසටයි. එමගින් ඒ ඒ වර්ෂවල සිනමා තොරතුරු නිරායාසයෙන්ම ඒකරාශී වෙනවා.

අපේ රටේ පළමු චිත්‍රපට වාර්ෂිකය (සිනමා 59) පළ කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ප්‍රකට සිනමා විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩට. ඉන්පසු 1973 සිට ජාතික කතෝලික සිනමා පර්ෂදයත්, ආසියානු සිනමා කේන්ද්‍රයත් චිත්‍රපට වාර්ෂික පළ කළා. ඒත් එය අඛණ්ඩව සිදුවුණේ නැහැ. පසුව රූපසේන සිල්වා, සුනිල් ලීනස්, බර්නාඩ් ශ්‍රී කාන්ත යන ලේඛකයන් පෞද්ගලික මට්ටමෙන්ම චිත්‍රපට වාර්ෂික පළ කළා. ඒත් එය ජාතික චිත්‍රපට සංස්ථාව වැනි සිනමාවේ බල අධිකාරිත්වය දරන ආයතනයකින් ප්‍රකාශයට පත්විය යුත්තක්.

සුනිල් මිහිඳුකුල

[email protected]


නව අදහස දක්වන්න