අන්දරේගේ බිරිය | දිනමිණ

අන්දරේගේ බිරිය

 මෑත දවසක මගේ හිතවත් පාසල් ගුරුවරියක් මට කතා කළා ය. ඇය ඉහළ පන්තිවලට උගන්වන්නියකි. එහෙත් ඇගේ දරුවෝ තවමත් ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන්නෝ ය. කොහොමටත් දරුවන් ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන වකවානුව වනාහි වැඩිහිටි මවුවරුන්ට, පියවරුන්ට තමන් නො දන්නා විෂය කරුණුකාරණා සොයන්නට සිදුවන, අලුතින් ඉගෙනගන්නට සිදුවන වකවානුවකි. ඒ ශිෂ්‍යත්වය නම් ඇතුවත් බැරි නැතුවත් බැරි විභාගය හෙවත් ලාංකීය අම්මාවරුන්ගේ විභාගයේ මහා බාධක පර්වතය තරණය කරමින් සුපිරි පාසල් වරම් දිනන්නට කරුණු කාරණා සම්භාරයක් සොයන්නට දරුවන්ට පැවරෙන බැවිනි. ඒ කරුණු සිය ටිකිරි දරුවන් වෙනුවෙන් සොයන්නට සිදුවන්නේ බොහෝ විට මවුවරුන්ට ය. නැත්නම් පියවරුන්ට ය.

මගේ හිතවත් ගුරුවරිය මගෙන් අසා සිටියේ අන්දරේගේ බිරියගේ නම කුමක් ද? යන පැනයයි. අන්දරේගේ බිරියගේ නම සොයා ගෙන එන්නැයි හතරවැන්නේ ඉගෙනුම ලබන ඇගේ දියණියට ගුරුවරයා කියා තිබිණි. මා හඳුනන ගුරුවරිය දියණිය වෙනුවෙන් අන්දරේගේ බිරිය ගැන යාන බලන්නී ය. අන්දරේගේ බිරිය ගැන මම හරිහැටි කරුණු දැන නොසිටියෙමි. මට මතක් වූයේ ‘මහින්ද කුමාර දලුපොත’ නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිත්‍රයා ය. ඔහු ගෙවුණු දවස්වල අන්දරේ ගැන නිපදවෙන සිනමා සිත්තමකට තිරනාටකයක් ලියමින් සිටියේ ය. අන්දරේගේ බිරිය ගැන විමසන්නට සුදුසු ම තැනැත්තා ඔහු ය. මුලින් ම සෙස්ස පස්සට තබා අන්දරේගේ ප්‍රිය බිරිය ගැන දලුපොතගෙන් දැනගත් තොරතුරු ඇය ගැන සොයන තවත් ශිෂ්‍යත්ව අම්මලා වෙතොත් ඒ අයගේ යහපත වෙනුවෙන් මෙසේ සටහන් කරමි.

අන්දරේ ගේ බිරිය නමින් රන්සිනා ය. ඇය ඔහුගේ ඇවැස්ස නෑනා බව කියැවෙයි. ජනශ්‍රැතිවලට අනුව අන්දරේ හා රන්සිනා එකම දිනක ජන්ම ලාභය ලද්දෝ වෙත්. අන්දරේ නම් ප්‍රකට රජවාසල කවටයා සිය පුතු ලද්දේ ද ඇගෙනි. පසු කලෙක රන්සිනා අවාසනාවන්ත ආකාරයකට මිය ගියා ය. ඇගේ මරණය වසංගත රෝගයක් හේතුවෙන් සිදුවිණි’යි කියැවේ. රන්සිනා මියයන විට අන්දරේ මැදි වියේ පසු විය. ඔහුට වෙනත් විවාහයක අවශ්‍යතාවක් ද නොවිණි. එහෙත් රජවාසලේ අන්තඃපුර බිසෝවරු මැදිහත්ව අන්දරේට විවාහයක් කර දුන්හ. දෙවන බිරියගේ නම හරිහැටි සඳහන් නො වේ.

හතරවැන්නේ දරුවන්ට අන්දරේගේ බිරිඳගේ නම සොයන්නට සිදු වීම මා තුළ අපේ ප්‍රාථමික අධ්‍යාපනයේ දිශානතිය පිළිබඳ විමතියක් ඇති කරවන සුලු විය. හතරේ ශිල්ප ලබන දරුවෝ අන්දරේ ගේ බිරින්දෑ පිළිබඳව ගවේෂණ කරත් නම් මේ දරුවන් වැඩිවියට පත්ව සරසවියේ ජනශ්‍රැති හා සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ කරන විට තෝරා ගනු ඇත්තේ කෙබඳු ආකාරයේ මාතෘකා ද? ප්‍රාථමික දරුවන්ට ගවේෂණයට ලැබෙන මාතෘකාවල ඇති හරබර බව බරසාර බව මා තුළ ඇති කළේ විමතියකි.

මා දෛනික ව සේවයට පැමිණෙන්නේ පොදු ප්‍රවාහන සේවාවලිනි. සමහර දිනක බස්රියක් බලාපොරොත්තුවෙන් මහ මඟ සිටින විට හඳුනන මෝටර්රිය හිමියකු හෝ ත්‍රිරෝද රිය හිමියකු මට සිය වාහනයෙන් ගමන් පහසුකම් සලසයි. ඇතැම් දිනක පාසල් දරුවන් රැගෙන යන වාහනයක ද මට ගමන් පහසුකම් සැලසේ. පසුගිය දවස්වල මේ බස්රියක යන දරුවෝ මැටියෙන් අත්කම් විනිවිද පෙනෙන පොලිතින් කවර තුළ දමා පරෙස්සමින් රැගෙන ගියහ. බස්රිය නවත්වා කුඩා දරුවන් ඊට නඟින විට මැටි අත්කම් ඉදිරිපසින් තබන සමහර මාපියෝ ඒවා පරෙස්සම් කරන්නැයි රියදුරාට දැනුම් දෙති. ඇතැම් මාපියෝ රියදුරාගේ අත්බණුවට කතා කරමින් සිය දරුවාට මැටි අත්කම් රැගෙන බසයෙන් බැසීමට මතක් කරන්නැයි කියති.

“මේ ළමයි රොත්තක් බලාගෙන වාහනේ පරෙස්සමින් කරකවන ගමන් තව බලි රූපත් බලන්න ලු.” වැඩ අධික රියදුරා මැසිවිලි නඟයි.

මට අපේ ළමාවිය මතක් වෙයි. එදවස හාරා අනාගත් මැටි රැගෙන ගොස් අත්වැඩ යටතේ විවිධ රූප ඇඹුවේ පාසල් කාලයේ දී ය. අපේ ළමා කාලයේ පමණක් නො වේ. මා ගුරුවරයකු ලෙස සේවයට ගිය මුල් කාලයේ දී ද ළමෝ මැටි ගෙනවුත් විවිධ රූප නිර්මාණය කළහ.

එහෙත් අද සියල්ල වෙනස් ය. විශේෂයෙන් සැකසූ මැටි වර්ග වෙළෙඳ පොළේ මිලදී ගැනීමට තිබේ. ඒ මැටි මිලට ගෙන ගෙදර දී මව, පියා නැත්නම් අත්තා, අත්තම්මා අඹන රූප පාසලට ගෙන යාම සිදුවේ. ළමයින් වෙනුවෙන් මව්පියන් කරන රූප සෙවීම, රූප කැපීම, ඇලවීම, කරුණු සෙවීම ආදී විවිධාකාර ගෙදර වැඩ අතරට කඩදාසිවලින්, මැටිවලින් තනන නොයෙක් අත්වැඩ ද එක්වේ. වැඩ අධික රාජකාරීවල යෙදෙන මාපියන්ට දරුවාගේ ගෙදර වැඩ සඳහා කාලය සොයා ගැනීම උගහට ය. එබඳු තැන්වල ඒ වගකීම් ඉටුවන්නේ අත්තාගේ හෝ අත්තම්මාගේ අතිනි. වැඩිහිටියකු නැතිනම්? ඔව්! සිය දරුවාගේ ගෙදරවැඩ සඳහා මුදලට කෙනකු යොදවන මාපියන් ගැන මා අසා ඇත.

මේ ක්‍රියාදාමය සහ එහි ඵලය මට නම් ගැටලුවෙකි. ගෙදර දී මාපියන් නිර්මාණය කරන අත්වැඩ ආදියෙන් දරුවා අත් පත් කරගනු ලබන්නේ කවර ආකාරයක නිපුණතාවක් ද? එය කෙතරම් දුරකට දරුවාගේ ජීවන අනුභූතීන් සාක්සාත් වේ ද? කොහොමටත් ‘ප්‍රාථමික අධ්‍යාපනය හා දරුවා’ අලුතින් සිතා, බෙහෙවින් සාකච්ඡා කොට ගොඩනැඟිය යුතු නැවුම් අධ්‍යාපන ක්‍රියාවලියක් නොවන්නේ ද?

මහානාම දුනුමාල

[email protected]

නව අදහස දක්වන්න