සාහිත්‍යයෙහි ධාතු වන්දනාව! | දිනමිණ

සාහිත්‍යයෙහි ධාතු වන්දනාව!

 මේ දිනවල සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් රට පුරා පැවැත්වෙයි. ශාස්තෘවරයාගේ දහම ගැන මෙලෝ හසරක් නැතත් වන්දනාව ජයට ම කෙරෙයි. කලින් කලට මෙවැනි ධාතු වන්දනා පැවැත්වීම අලුත් දෙයක් නොවේ. එහෙත් ශාස්තෘවරුන්ගේ දර්ශනය සහ ජීවන විත්තිය හඳුනා ගැනීම කිසි විටෙක නොකෙරෙයි. අවබෝධයට වඩා වන්දනාව පහසු ය. මෙය ආගමික කරුණකි. එහෙත් මේ සමාන අත්දැකීම් ආගමෙන් බැහැර ක්ෂේත්‍රවලින් ද හමුවෙයි.

තමන් ප්‍රිය කරන කලාකරුවන් පිළිබඳව රසික හදවත්හි පැන නඟින හැඟීම් සමුදාය ධාතු වන්දනාවට සමාන වන අවස්ථා ද තිබේ. ඒ පිළිබඳ අත්දැකීම් කිහිපයක් සිහිපත් කරමි.

1992 දී පමණ සුගතපාල ද සිල්වාගේ “හඬ නළුව හා ගුවන් විදුලිය’ කෘතිය පළ විය. ඔහුගේ ඇතැම් කෘති පිළිබඳව මා ලියා තිබූ හෙයින් මේ පොතෙහි පිටපතක් පුද්ගලික ව මට එවා මගේ අදහස් විමසා තිබිණ. මා ඔහු හමු වූයේ සම්මුඛ සාකච්ඡාවක් ලක්දිව පුවත්පතෙහි පළ කිරීමට ය.

ඔහු ජීවත් වූයේ රත්මලාන - ගල්කිස්ස මහල් නිවාස ව්‍යාපෘතියට අයත් නිවාසයක ය. එම කුඩා ඉඩ කඩෙහි නාට්‍ය කලාව සහ සාහිත්‍ය විෂයයෙහි දැවැන්තයකුගේ සිරගත ජීවිතය දැක ගත හැකි විය.

“තිඹිරි - මේක මගෙ ඔළුව උඩට කොයි වෙලාවේ කඩා වැටෙයි ද දන්නෙ නෑ” තම සයනයෙහි ඉඳගෙන මා සමග කතාබහ කරන අතරතුර ඔහු තම හිසට උඩින් ඇති පුස්තකාලයෙහි කොටසක් පෙන්වීය. සැම රාත්‍රියක ම නින්දට පෙර ඔහු දකින අවසාන දර්ශනය තම සිරුරට උඩින් බිත්තියෙහි හරහට සවිකර ඇති ලෑලි මත පිහිටි අගනා පොත් සමුදායයි. එය බියකරු නින්දකි. ඔහුගේ සම්මුඛ සාකච්ඡාවට එය ද ඇතුළත් විය. සුගතපාල ද සිල්වාගේ ආර්ථික අමාරුකම් ගැන ලීවා යැයි අද මෙන් මුහුණු පොත හා සමාජ මාධ්‍ය නොතිබූ එකල කිසිවෙක් මා හා උරණ නොවූ හ. සුගත් අයියා ද සුපුරුදු ළෙන්ගතුකම මට පෑවේය.

රාවය පුවත්පතෙහි මා සේවය කළ සමයෙහි එහි මාධ්‍ය වේදියෙක් ආණ්ඩුවෙන් ඉඩම් කට්ටි ලැබුණු කලාකරුවන්ගේ නාමාවලියක් පළ කළේ එය මහා අපරාධයක් ලෙස කියමිනි. ඒ නාමාවලියෙහි සුගත් අයියාගේ නම ද විය. “ඒ මනුස්සයා හිර ගේක ඉන්නේ. ඉඩමක් ලැබිලා ගෙයක් හදා ගත්තොත් ඇති වැරැද්ද මොකද්ද? අලුතින් පොතක් ලියන්න පුළුවන්. ජීවිතේ අග්ගිස්සෙදි හරි පොඩි හෝ ආත්ම තෘප්තියක් ලැබෙන්න පුළුවන්. බලු වැඩ කරන්ඩ එපා” ලිපිය පළවන්නට පෙර මා කී දේට පුවත්පත් කලාවේදියා කන්දුන්නේ නැත.

එම සතියේ සිකුරාදා මධ්‍යාහ්නයෙහි මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට ලොතරැයි කූඩුව ළඟ සූරන ලොතරැයියක් සූරමින් සිටි සුගත් අයියා අසල නැවතුණෙමි. මගේ හදවතෙහි වරදකාරී හැඟීමක් විය. ඩිග් ඩිග් ගා පපුව ගැහෙන්නට විය.

“ඉඩමක් හම්බු උනාට හරියන්නෑනෙ. ගේ කුත් හදා ගන්න එපැයි. ඒකයි හූරන්නේ”

සුගත් අයියා එදින රාවය කියවීමෙන් ඇති වූ වේදනාව මගේ හදවත මත මුදා හැරියේ ය. සුගත් අයියා නාට්‍ය කලාව හා සාහිත්‍ය වෙනුවෙන් බොහෝ කැපවීම් කර හිඟන්නකු මෙන් මිය යෑම ධාතු වන්දනාවක් බවට පත් කරගැනීමේ සමාජ විඥානය අර පුවත්පත් කලාවේදියාගේ ලිපියට ද බලපෑ ය. සුගත් අයියාට මහල් නිවාසයකින් ගෙයක් ලැබීම ද කලකට පෙර මාතෘකාවක් වූ අයුරු මගේ මතකයෙහි පවතී.

සුනිල් ශාන්ත යනු අප රටෙහි ජීවත් වූ අදීන කලාකරුවෙකි. භාරතයේ ශාන්ති නිකේතනයෙන් ගායනය හා වාදනය පිළිබඳ ඉහළ දැනුමක් ලබාගෙන පැමිණ ගුවන් විදුලියෙහි සේවය කළ ඔහු භාරතයෙන් ම මෙරටට කැඳවූ රතන් ජන්කර් ලවා සංගීත ශිල්පීන් වර්ග කිරීමේ පරීක්ෂණයට විරුද්ධ විය. එහි ප්‍රතිඵල ලෙස ගෙදර යන්නට සිදු වූ ඔහු දිගු කලක් ජීවත් වූයේ ගුවන් විදුලි අලුත්වැඩියාව හා කුලී වැඩ ඇතුළු ව බොහෝ කටුක ජීවන වෘත්තීන්හි නියැළීමෙනි. ඔහුගේ අතැඟිලිවල නෙල්ලි ගෙඩි තරම් කරගැට තිබූ බව මහාචාර්ය ගම්ලත් ලියා තිබිණ.

ඔහු ගත කළ දුෂ්කර දිවිය සහ ඔහුගේ අදීනත්වය පිළිබඳ බොහෝ ලිපි ලියැවිණ. එම ලිපි මගින් සුනිල් ශාන්තයන් මරා දමා ඇතැයි කිසිවෙක් නොකී හ. සුනිල් ශාන්තයෝ ද උකටලී නොවූ හ.

අගමැති හා නිවාස ඇමැති ලෙස කටයුතු කළ ආර්.ප්‍රේමදාස මහතා සුනිල් ශාන්තයන් කුලී ගෙවල ජීවත් වෙමින් විඳින වධය ගැන සංවේදී විය. ඔහු තමන් යටතේ ඇති නිවාස යෝජනා ක්‍රමයකින් නිවාසයක් ලබා දීමට ඇති කැමැත්ත සුනිලුන්ට ප්‍රකාශ කළේ ය. ගුවන් විදුලිය හැර ගොස් ජීවන අරගලයෙහි යෙදී සිටිය දී ලෙස්ටර්ගේ ඇරියුමෙන් රේඛාව හා සන්දේශය චිත්‍රපටවලට සුනිලුන් සම්බන්ධ වූයේ ද කොන්දේසි සිහිත ව ය. එපරිද්දෙන් ම වාරික ගෙවීමේ පදනම මත පමණක් නිවසක් ලබා ගැනීමට සුනිල් ශාන්තයෝකැමැති වූහ.

මේ උදාර කටයුත්තෙන් ආර්.ප්‍රේමදාස මහතාට හා සුනිල් ශාන්තයන්ට හානියක් වූයේ යැයි මම නොසිතමි.

එහෙත් සුනිල් ශාන්තට දුක්ඛිත මරණයක් අත්වන තුරු හිඳ ධාතු වන්දනාවෙහි යෙදෙන්නට බලා සිටි අයගේ සිත් රිදීමක් නම් වන්නට ඇත.

මෑතක දී ජාතික මට්ටමේ ඇගයීමට පාත්‍ර වූ තරුණ කවියකුගේ දුෂ්කර දිවිය මගේ අවධානයට ලක් වූයේ කලක සිට කිවි පොව්වන්ගේ නිර්මාණ හා ඔවුන්ගේ දිවිසැරිය පිළිබඳ උනන්දු වූ රසිකයකු හැටියට ය. ජීවත්වීම සඳහා අධික බර එසවීමෙන් ඔහුගේ සුරත අක්‍රිය වෙමින් පැවතිණ. එය මාගේ හද මනස තුවාල කළේ ය. මීට වඩා තරමක් හෝ පහසු ජීවන මගක් ඔහුට උරුම කර දී රසික මනස සුවපත් කරන නිර්මාණ ටිකක් ඔහුගෙන් බිහි වනු දැකීම මගේ පරම අපේක්ෂාව විය; අන් අරමුණක් නොවී ය. පුද්ගලික ව දැරූ උත්සාහයන් අසාර්ථක වූ කල්හි ලියැවිල්ලක් ප්‍රසිද්ධ කළේ ඒ පිළිබඳ සංවේදී වූ තවත් ලේඛකයකු ද සමඟ ය. මේ ගැන විවිධ ප්‍රතිචාර ලැබිණ. සමහරු කරුණු සොයා බැලූ හ. හැම හොඳ දේක ම නරක දකින කිහිප දෙනෙක් ම විසින් තරුණ කවියා මරා දමනු ලැබ ඇතැයි මිනීමැරුම් චෝදනා එල්ල කළ හ. මේ කවියා රජයේ රැකියාවකට යෑම භයානක අපරාධයකැයි ලියූ හ. ඔහු දුක්විඳ අප්‍රාණික දෑතින් යුතුව නිහඬ වනු බලා හිඳ ධාතු වන්දනාවෙහි යෙදීම ඇතැමුන්ගේ අපේක්ෂාව වූයේ දැයි නොදනිමි. එක්තරා භික්ෂුවක් මඩ පත්‍රිකාවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ ය. එහෙත් මානව දයාවෙන් තෙත්වූ නිහඬ රසිකයන් විශාල පිරිසක් මෙයින් විස්සෝප නොවූ බව මට හැඟී ගියේ ය. ආගමේ හා සාහිත්‍ය කලාවෙහි නාමයෙන් ධාතු වන්දනාවට වඩා වැදගත් වන්නේ නිසි තැනට නිසි කලට නිසි දේ කිරීම ය. එහි ප්‍රතිඵලය මෙරමා හට ය. තමන්ට නොවේ.

තිඹිරියාගම බණ්ඩාර

[email protected]

නව අදහස දක්වන්න