මොළේ ග‍්‍රෑම් 200ක් | දිනමිණ

මොළේ ග‍්‍රෑම් 200ක්

 “අයඩින් නැති වුණාම ජනයාට ලෙඩ රෝග හැදෙනවා නේ ඇම්බන් මහත්තයා....” කියා ටොම්සන් මහත්තයා කීවේ රෑ කෑම ගන්නා අතර ය. කෑම හැදුවේ උන්නැහේ ය. මේසය ඇරියේ ඇම්බන් මහත්තයා සහ ටොම්සන් මහත්තයා ය.

“මොකද ටොම්සන් මහත්තයා අයඩින් මතක් වුණේ... ඇයි කෑමට ලුණු මදිද? ” කියා උන්නැහේ ඇසුවේ පුටුවෙන් නැඟිටින ගමන් ය. ” ඉන්න මං ලුණු බෝතලේ ගේන්නං...”

“නෑ.. එපා උන්නැහේ... කෑමට ගානට මිම්මට ලුණු තියෙනවා.. මං මේ කිව්වේ අයඩින් නැති වුණාම හැදෙන ලෙඩ ගැන නේ...”

“ඒක නේ ටොම්සන් මහත්තයා මේ කෑමට ගන්නා ලුණුවලට අයඩින් කලවම් කරලා තියෙන්නේ...”

“හරි.... කෑමට ගන්නා ලුණුවලට අයඩින් කලවම් කරලා තමයි.. ඇයි ඒ....? ”

උන්නැහේ ඇම්බන් මහත්තයාගේ මුහුණත්, ඇම්බන් මහත්තයා උන්නැහේගේ මුහුණත් දෙස බැලූවෝ ය.

“ඇයි ඒ....? ”

“ඒක තමයි මාත් අහන්නේ... ඇයි ඒ....? ”

“හරි... ඉතින් ටොම්සන් මහත්තයාම කියන්නකෝ... හැමදාම කෑමට ලුණු දැම්මත්, ලුණු පැකට් එකේ අයඩින් මිශ්‍ර ලුණු කියලා ගහලා තිබුණත් ඔය ප්‍රශ්නේ මං නං කවදාවත් කල්පනා කළේ නෑ...”

“මේක නේ... දැන් ජනයාට අයඩින් ඌනතාවක් තියෙනවා කියලා සෞඛ්‍ය බලධාරීන් හොයා ගත්තාම මතු වුණු ප්‍රශ්නේ තමයි....කොහොමද ජනයාට අයඩින් දෙන්නේ කියලා.. ඕකට තිබුණා අයඩින් කඩෙන් අරන් කෑමට දාන්න කියලා අයඩින් පෙති වෙළෙඳ පොළට නිකුත් කරන්න... එතකොට හැම කෙනෙක්ම අයඩින් පෙති ගන්නවද කියලා දැන ගන්න ක්‍රමයක් නෑ නේ.... ”

“ඒක නම් එහෙම තමයි... සමහර විට නොමිලේ දුන්නත් හැමෝම ආහාරයට එක් කර ගන්නවා කියලා සහතිකයක් නෑ නේ... ඉතින් ටොම්සන් මහත්තයා...”

“ඒක නිසා තමයි හැම කෙනකුටම අයඩින් ලැබෙන ක්‍රමයක් හැටියට ලුණු එක්ක කලවම් කළේ... හැම කෙනකුම ගන්නා ආහාරවලට ලුණු දානවා නේ.. එතකොට ලුණුවලට අයඩින් කලවම් කළාම, හැම කෙනෙකුටම නොදැනීම අයඩින් ලැබෙනවා... බලන්ඩ... හරි දේ හරියට කරන්නේ එහෙමයි....”

“හරි ඉතින්, ටොම්සන් මහත්තයාට කවදාවත් නැතිව අද මේ අයඩින් මතක් වුණේ මොකද? මේක වෙන මොකක් හරි කතාවක පටලැවිල්ලක් වගේ මට නම් දැනෙන්නේ... ” කියා උන්නැහේ කීවේය.

“ඔව්... එහෙම තමයි.. මං අහන්නේ දැන් අපි මේ කෑම ගන්නවා නේ... උදේත් කෑවා.. දවාලේත් කෑවා.. රෑටත් මේ කනවා.. කෝ ග්‍රෑම් 200...?” කියා ටොම්සන් මහත්තයා බොහොම බැරෑරුම් විදිහට ඇසුවේ ය.

ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් නැවතත් උනුනුන් මුහුණු බලා ගත්හ.

“මොන ග්‍රෑම් 200ක් ද ටොම්සන් මහත්තයා.. අර පිටරටවල නම් බත් හෙමත් කිරලා නේ දෙන්නේ.. ඒත් මම නං පිඟන්වලට බත් බෙදන්නේ කිරලා නෙවෙයි.. ඔතන ග්‍රෑම් දෙසීයට වැඩිය තියෙනවා.. අඩු ගානේ ග්‍රෑම් පන්සීයක් විතර.. නැතිනම් හයසීයක් විතර... ”

“එහෙම නෙවෙයි උන්නැහේ..කෝ මේ පලතුරු ග්‍රෑම් 200...?”

“අන්න එහෙම කියන්ඩ ටොම්සන් මහත්තයා.. ඔය ටික කියන්ඩද මෙච්චර වටයක් ආවේ.. අර දිනපතා ග්‍රෑම් 200ක් පලතුරු ගන්න කියන කතන්දරේ නේ ද ඔය... අර කිව්වත් වගේ අපි ගිය අවුරුද්දේ ගියා නේද ඔය පලතුරු ප්‍රදර්ශනේ බලන්න.. එතකොටත් ඔය ග්‍රෑම් 200 කතන්දරේ තමයි කිව්වේ.. මේ සැරෙත් ඒ විදිහටට ග්‍රෑම් 200 කතන්දරේ කිව්වා.. එච්චරයි... ” කියා ඇම්බන් මහත්තයා කිව්වේ ය.

“ඒක තමයි මං කියා ගෙන ආවේ... දවසකට ග්‍රෑම් 200ක් පලතුරු ආහාරයට ගන්න එක හොඳයි.. වැදගත්... ශරීර සෞඛ්‍යයට හිතකරයි.. ගිය අවුරුද්දේ වාගේ මේ අවුරුද්දෙත් ඔය ඈතක පලතුරු ප්‍රදර්ශනයක් පවත්තලා... ග්‍රෑම් 200ක් ආහාරයට ගන්න කියලා පත්තරවල දැන්වීම් පළ කරලා විතරක් ඇතිද? මං හිතා ගෙන හිටියේ ගිය අවුරුද්දේ ග්‍රෑම් 200 කියලා පටන් ගත්ත වැඩ සටහන අවුරුද්ද පුරාම ගෙනි යයි කියලා.. දැන් බැලුවම මේක මේ අවුරුද්දකට සැරයක් විතරක් මතක් වෙන ග්‍රෑම් 200ක් නේ... ” කියා ටොම්සන් මහත්තයා සමච්චලයෙන් යුතුව කීවේ ය.

“එහෙමම කියන්න එපා ටොම්සන් මහත්තයා.. ඔය පලතුරු කට්ටිය ඒ විදිහට හරි මේ පණිවුඬේ සමාජයට ගෙනාවා නේ... ඒක ඉස්සරහට ගෙනි යන්න තව කොච්චර අයට වගකීමක් තියෙනවද? අඩු ගණනේ සෞඛ්‍ය කට්ටියට.. අර අධ්‍යාපන කට්ටියට.. එහෙම නැතිනම් මාධ්‍ය කට්ටියට... එහෙම බැලුවම මේක මේ පලතුරු කට්ටියගේ වැරැද්දක් හරි අඩුපාඩුවක් හරි කියලා මං නං හිතන්නේ නෑ... ” කියා උන්නැහේ හරස් කැපුවේ ය.

“ඒක තමයි මං අර අයඩින්වලින් පටන් ගත්තේ... යම් කාර්යයක් ක්‍රියාත්මක කරන්න උපාය මාර්ග ඕනෑ.. ඒක ටිකක් අමාරු වැඩක්... හැබැයි ටිකක් කල්පනා කරන්න ඕනෑ.. සාකච්ඡා කරන්න ඕනෑ.. එතකොට ඕනැ දෙයකට උපාය මාර්ග හොයා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අවශ්‍යතාව දන්නවා.. පිළිතුරත් දන්නවා.. නමුත් උපාය මාර්ගයක් නෑ.. ඒක අයඩින් එක්ක සංසන්දනය කළාම එතන අවශ්‍යතාව තිබුණා.. පිළිතුරත් තිබුණා.. උපාය මාර්ගයක් හදා ගත්තා... ඒක මේ මොළේ පිළිබඳ ප්‍රශ්නයක්...”

“ ඒ කියන්නේ ටොම්සන් මහත්තයා... ” ටොම්සන් මහත්තයා කිසිවක් නොකියා මඳ වේලාවක් බලා සිටියේය.

“ඇයි ටොම්සන් මහත්තයා.. මොකක්ද ඒ මොළේ පිළිබඳ ප්‍රශ්නයක් කියලා නිහඬ වුණේ...? මොකක්ද අපට නොකියා හංගන්නේ..” කියා උන්නැහේ ඇසුවේ ය.

“අර අහන හින්දා කියනවා මිසක්... මේක මේ මොළේ පිළිබඳ ප්‍රශ්නයක් කියලා කිව්වේ.. ජනයාට පලතුරු ග්‍රෑම් 200 පුරුදු කරන්න උපාය මාර්ග නිර්මාණය කර ගන්න මොළේ ග්‍රෑම් 200කුත් ඕනැ වෙනවා නේ.. ඒකයි...”

බන්දුල පී දයාරත්න

[email protected]


නව අදහස දක්වන්න