අපි මඟුල් කන්නේ අමෙරිකන්කාරයන්ටත් ඉහළින් | දිනමිණ

අපි මඟුල් කන්නේ අමෙරිකන්කාරයන්ටත් ඉහළින්

 විවාහය එහෙමත් නැත්නම වඩාත් සරල වචනයෙන් කිව්වොත් කසාදෙ මහමෙරක් තරම් ලොකුවට ගත්තු ජාතීන් අතර අපි ඉදිරියෙන්ම ඉන්නවා කියන්න පුළුවන්. අපේ රටේ වෙසෙන අනිත් ප්‍රධාන ජනකොටස් දෙක වන දෙමළ හා මුස්ලිම් ප්‍රජාවත් එක්ක සලකලා බලපුවහම බහුතරයක් වන සිංහලයන්ගේ මඟුල්කෑම අර දෙපිරිසටම වඩා ඉදිරියෙන් තියෙනවාය කියාත් හිතෙනවා.

යුග දිවියකට එළඹීම යනු ජීවිතයේ ඉතා සුන්දරම මොහොතට පිවිසීම ලෙස සැලකීමේ කිසිම වරදක් නැහැ. මොකද අපි කවුරුත් දන්නා විදිහට මිනිස් ජීවිතයක අනිත් තීරණාත්මක අවස්ථා වන උපත හා මරණය යන දෙකම කෙනෙකුට තමන්ට අභිමත පරිදි තෝරාගන්න අවකාශයක් නැති නිසයි. තමන්ගේ රුචි අරුචිකම් අනුව, එහෙමත් නැත්නම් තම මනාපය අනුව තෝරාගැනීමට හැකියාව තිබෙන ජීවිතයේ ඉතා වැදගත්ම අවස්ථාව විවාහය බව සත්තයි.

එහෙත් මේ නිදහස මේ අවකාශය ඉතා බුද්ධිමත්ව හා සැලසුම් සහගතව භාවිත කරන්නේ කීයෙන් කී දෙනාද කියන ප්‍රශ්නය අද සමාජ ගැටලුවක් විදිහට බරපළ විදිහයට මතු වී තිබෙනවා. මේ කාරණයට අදාළව දකින්න ලැබෙන අනෙක් කනගාටුදායක සිද්ධිය තමා සමාජයේ උගත් - නූගත් හා ඇති - නැති භේදයකින් තොරවූ සෑම තරාතිරමකම කණ්ඩායම් මඟුල් කෑමේ මේනියාවෙන් එකසේ පෙළෙන ආකාරය ප්‍රදර්ශනය වීමයි.

මෙවැනි මේනියාවක් අපේ සමාජයට වැලඳීම කෙරෙහි කෙලින්ම බලපා ඇත්තේ අවිචාරවත් අනුකරණය කියලයි මම හිතන්නේ. දෙදහස් පන්සිය වසරක අභිමානවත් සංස්කෘතියක් සදාචාරයක් ගැන උදම්අනන අපි අල්පේච්ඡ ජීවන සම්ප්‍රදායන් හා සාමයික හික්වීමක් ගැන පම්පෝරි ගහන අපි බටහිර රටවලවත් දකින්න නැති ආකාරයේ සර්වපිත්තල අංගෝපාංග විවාහ මංගල්‍යයන් සඳහා භාවිතා කරන්න පෙලඹී සිටින්නේ ජීවිතයේ ප්‍රමුඛතා හඳුනාගැනීමට අසමත් වීම වගේම පුහු අරුමෝසම් මඟින් කැපී පෙනීමට තිබෙන බොළඳ ආසාව නිසා විය යුතුයි.

මනා හැදියාවකින් හා දේශීය වත්පිළිවෙත් සමුදායකින් සමන්විතව වැජඹුණු අපේ ජාතියට මෙවැනි හරසුං නාස්තිකාර සිරිත් විරිත් බෝ වුණේ බටහිරයන්ගෙන්ය කියා අනුන්ට ඇඟිල්ල දික් කිරීම තමා අදටත් අපි හුඟ දෙනෙක් කරන්න පුරුදු වී සිටින්නේ. මට හිතෙන විදිහට නම් මෙවැනි චෝදනා නඟන බොහෝ දෙනාට හීනමානයක් මිස විචාරශීලීව ලෝකය හා සමාජය දෙස බලන්න අවශ්‍ය විචාරබුද්ධියක් නැති බවයි‍.

මීට වසර කිහිපයකට පෙර ලේක්හවුසියෙන් පළ කළ ‘නමස්කාර’ නම් බෞද්ධ සඟරාවට පිළිසඳර නමින් විශේෂාංග ලිපියක් ලීවා. මෙහිදී එක් ලිපියකදී මා සාකච්ඡා කළේ රූපලාවණ්‍ය ශිල්පියකු වන හැරිස් විජේසිංහ සමඟයි. වර්තමාන තරුණ පරපුර විචාරශීලිත්වයකින් තොරව මංගල උත්සව සඳහා විලාසිතා හඹා යාම ගැන ඔහු පළ කළ අදහසක් දෙකක් මට මතක් වුණා.

සමහර අය හිතාගෙනක ඉන්නෙ, බාගෙට ඇන්දහම පොෂ් වෙනවා කියලයි. එහෙනං ගමේ නාන ළිඳක් ළඟට ගියහම මොන තරම් පොෂ් අය දැකගන්ඩ පුළුවන්ද. ඒත් නාන ඇඳුම පිටින් අපේ ගම්වල කිසිම කාන්තාවක් සබයකට යන්නෙ නැහැ නේද?”

එහෙත් මගෙන් උපදෙස් ගන්ඩ එන තරුණ ළමයින්ට මම නිතරම දෙන අවවාදයක් තමයි එක එක තේමාවල් පස්සෙ ගිහින් අමාරුවෙ වැටෙන්න එපා කියන එක. අද බොරු මවාපෑම් කරලා අහිංසක මිනිස්සු ගසාකන ව්‍යාපාර හරියට බිහිවෙලා තියෙනවා. ඒක නිසා හොඳම දේ තමා අලුත් මෝස්තර ගැන තමන්ට තේරුමක් නැත්නම් අපේ සම්ප්‍රදාය පිළිපදින එක. මොකද එතකොට කවදාවත් වරදින්නෙ නැහැ.

හැරිස් විජේසිංහගේ ඒ අනතුරු හැඟවීම ඉතා සාධාරණයි. මොකද අද විවාහ මංගල උත්සවයක ප්‍රධාන උපදේශකයා වෙලා ඉන්නේ කිසිම සමාජ අවබෝධයක්, විචාරශීලිත්වයක් නැති මුදල් පසුපස හඹා යන ව්‍යාපාරික රොත්තක්. රූපලාවණ්‍ය ශිල්පියා, කැමරා ශිල්පියා තේවා සපයන්නා ආදී වශයෙන් අහිංසක තරුණ තරුණියන්ගෙ පොකැට්ටුවට විදින්න බලා සිටින පරපුටුවන්ගේ කෙළවරක් නැහැ. මෙවැන්නන්ගෙ මෝඩ උපදෙස් අනුව ලක්ෂ ගණන් ණය වෙලා කන හුඟාක් මඟුල් කෙළවර වෙන්නේ මාස තුන හතරක දීග කෑමකින්. මොකද විවාහ ජීවිතයක වගකීම්, බරපතළකම වගේම විවාහක යුවළ තර අන්‍යොන්‍ය අවබෝධය වැනි වැදගත් කාරනා කිසිවක් ගැන මේ අලුත් ජෝඩුවට අවබෝධයක් නැති නිසයි. අනික් අතට එවා ගැන කාගෙන්වත් ඔවුන්ට හරි හමන් උපදේශයක් ලැබී නැති නිසයි.

පසුගිය සතියේ රාවය පත්තරේට විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ දී තිබූ සාකච්ඡාවක එතුමාගේ විවාහය ගැන සඳහන් කරලා තිබුණ. ඔහුගේම වචනවලින් එය කියා තිබුණේ මෙහෙමයි.”

අප බැඳලා හිටියෙ නැති නිසා දෙන්නටම එකම තැන දෙන්න බැහැ කීවා. (වෛද්‍ය පත්වීම් දුන් අවස්ථාව) ඊට පස්සෙ යාළුවො දෙන්නෙක් අඬගහගෙන ගිහිල්ලා අපි කසාද බැන්ඳා. මඟුල් පොටෝ එකටත් එක්ක මුළු වියදම රුපියල් එකසිය දහයයි.

අද රුපියල් මිලියන ගණන් වියදම් කර රජ මඟුල් කන උදවියගේ විවාහ ජීවිත කෙටි කාලයකට සීමා වෙද්දී ආරියසේන ගමගේ වැනි විශේෂඥ වෛද්‍යවරුන් රුපියල් දෙතුන්සීයෙන් විවාහ මංගල්‍ය හමාර කරගෙන දිගු විවාහ ජීවිතයක මිහිරද විඳිනවා.

මෑතකදී යෙදුණු අමෙරිකන් සවාරියේදී අමෙරිකන් විවාහ උත්සවයක් දකින්න මට අවස්ථාවක් ලැබුණා. කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැලඳුමෙන් සිරිත් විරිත්, ආදී සියල්ලෙන් අපිට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් ඇති අමෙරිකන් ජනතාව විවාහ මංගල්‍යයක් පවත්වන අති සරල ආකාරය දැක මම පුදුමයට පත් වුණා. දේවස්ථානයේ ආගමික වතාවත් කිරීමෙන් පසුව පොදු වෙළෙඳ මධ්‍යස්ථානයක පිහිටි අවන්හලකට පැමිණ කුඩා සංග්‍රහයක් පැවැත්වූ ඔවුන් විවාහ උත්සවය එතනින් නිම කළා. මංගල ඇඳුමින් සැරසී සිටි මනාල යුවළ හැරෙන්නට අනිත් සියලු දෙනා හැඳ පැලඳගෙන සිටියේ සාමාන්‍ය ගමනක් යන පිළිවෙළට යි. උත්සවයට සහභගි වුණ පිරිස පහළොවකට විස්සකට පමණ සීමා වුණා. කරුණු විමසූ පසු මට දැනගන්න ලැබු‍ණේ පොදුවේ ඕනෑම අමෙරිකන් විවාහ මංගල්‍ය උත්සවයක ස්වභාවය මෙය බවයි. විවාහ මංගල උත්සව අතින්නම් අ‍මෙරිකන් කාරයන්ට අපේ අහලකටවත් එන්න බැහැ නේද කියා සිතමින් මම තනියම සිනා වුණා.

කමල් පෙරේරා

[email protected]

නව අදහස දක්වන්න