මෝඩයා | දිනමිණ

මෝඩයා

 නිවාඩු දවසක වුව මට නිවාඩුවක් නැත. සැහැල්ලු සිතින් හා සිනිමුසු මුහුණින් ගෙදර දොරේ සියලු කටයුතු නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරමින් මම වරෙක නිවාඩුවක් නැතැයි ආඩපාලි කියමි.

“මට කිසිම නිවාඩුවක් නෑනෙ කවදාවත්. මේක හරි අසාධාරණයි. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකමක්නෙ නිවාඩුවක් කියන්නෙ.”

පොඩි පුතා හිනැහෙන්නේ නොරිදෙන්නට මට පහරක්ද ගසමිණි.

“හවුස්වයිෆ් කෙනෙක් වුණාම එහෙම තමා අම්මා. ඕගොල්ලො නිවාඩු ගත්තම අහිංසක හස්බන්ඩ්ලටයි අසරණ දරුවන්ටයි මොකද වෙන්නේ?”

“අනේ යන්න. අනික් ගෘහණියන්ට නම් ලෙඩ නිවාඩු හරි තියෙනවා. මම ඉතිං මොනතරම් ලෙඩ වුණත් බඩගාගෙන හරි ගිහිල්ලා උයන්න ඕන. තේ හදන්න ඕන. ලෙඩ නිවාඩු නෑ.”

මා නෝක්කඩු කියන්නේ මගේ ඉලන්දාරියා අවුස්සාගැනීමේ අදහසිනි.

“අම්මගෙ අම්මටයි කිරි අම්මටයි මුත්තම්මටයි ලෙඩ නිවාඩු තිබ්බෙත් නෑනේ. පරපුරෙන් පරපුරට නොසැලී දිවා රාත්‍රී සේවය...”

“අනේ දෙයියනේ” යි මම හූල්ලා වැටෙමි.

“මට ඉල්ලා අස්වෙන්න හිතෙනවා” යි මම කෙඳිරි ගෑවෙමි.

මද්දු මා දෙස යටැසින් බැලුවේය.

“ඒකට ඉතිං අම්මා දික්කසාද වෙන්න ඕන...”

“අම්මෝ...ඔයගොල්ලො දන්න දේවල්”යි මම විමතිය පළකළෙමි.

“නෑ ඉතිං අම්මට මේ ජීවිතේ දුකක් නම් නිකං බොරුවට දුක් නොවිඳ ඩිවෝස් වෙන්න.”

පොඩිපුතා බැරෑරුම් මුහුණක් මවාගනියි.

“ඕගොල්ලො දන්නවද ඔය කතාවේ බරපතළකම...”

මම අප්‍රමාණ විමතියෙන් අසමි.

“ඇයි අම්මා ජීවත් වෙන ටික කාලෙ සතුටින් ඉන්න ඕනිනේ...”

මද්දු වාද කරන්නේ බොහෝ කල් ජීවත්වූ එකෙකු පරිද්දෙනි.

“දෙයි හාමුදුරුවනේ මේ ළමයි ඉපදිලා ඒ හැටි කාලයක් ගියාද. දැන් මේගොල්ලො මට දික්කසාද වෙන්න උපදෙසුත් දෙන හැටි...”යි මම මගේ පුදුමය නොසඟවා පළ කළෙමි.

“මේකනේ.... අම්මා තාත්තා දික්කසාද වුණම දරුවො අසරණ වෙනව නේද... අනිත් එක ගෙදර වැඩ වැඩියි කියන්නේ දික්කසාද වෙන්න හේතුවක්ද...?”

කොල්ලෝ සිනාසෙති.

“අද කාලෙ දික්කසාද වෙන්න ඒ තරම් වැදගත් හේතු ඕන නෑ අම්මා. ඉක්කාවක් කිඹුහුමක් ගෙරවිල්ලක් වුණත් හොඳ හේතුවක් තමා...”

පොඩි පුතා තර්ක කරයි.

“ඒ වුණාට දරුවො අසරණ කරන්න බෑ මවුපියන්ට පුංචි පුංචි නොවැදගත් හේතු හින්දා දික්කසාද වෙලා. වැඩිහිටියො හැම තීරණයක්ම ගන්න ඕන දරුවො ගැන හිතලා. ජීවිතය විඳිනවා කියන්නෙ දරුවන්ගේ ඇස්වලට කදුළු දෙන එක නෙවේ.

අපේ සංවාදය ඇන සිටියේ නිවුන් පුතුන්‍ගේ පැමිණීම නිසා ය.

බඩපිස්සා සිය නිවුන් සොහොයුරා කරේ එල්ලාගෙන ගාට ගාටා ආවේ ය.

“ඇයි? මොකද වුණේ?”

මම මහත්සේ නැති ගතිමි. සිව්වැන්නා කෙඳිරි ගායි.

“කොහෙද හිටියෙ ඔච්චර වෙලා? යි අසමින් පොඩි පුතා කොල්ලන් දෙදෙනට පහරදීමට තැත් කළේ ය.

“ඉස්කෝලෙ ඇරිලා ආ වෙලාවෙ හිටං ඇවිදිනවා. කොයි ලෝකෙද ගියේ දෙන්නත් එක්ක?”

“ගහන්න එපා පොඩි...”යි මම ‍පෙරට පැන ඔහු වළක්වා ලීමි.

“අනේ මාත් පුංචි කාලෙ ඔහොම තමා. ඉස්කෝ‍ලෙ ඇරෙන්නෙ එකහමාරට වුණාට මම ගෙදර යන්නෙ හැන්දෑවේ හතරට පහට. තාත්තා එනවා සමහර දවස්වල මාව හොයන්න. දූවිලි කාගෙන මම මඩ ගාගෙන අතපය සූරගෙන ඇදුම් ඉරාගෙන ඉන්න ළමයෙක්ම තමා තාත්තා බයිසිකලේ නග්ගාගෙන ගෙදර එක්ක යන්නෙ.

මම පුංචි පුතා ඇ‍ඟේ හොවමින් අතීතය සිහිකළෙමි.

“ඇයි ඒ? අම්මට කවුද ගහන්නෙ?

මද්දු කුකුසින් ප්‍රශ්න කළේය.

“කවුරුවත් ගහල නෙමේ ළමයො මම ගස් නැඟලා පාරේ වැටිලා කුඹුරෙ මඩේ නටලා...”යි කියාගෙන යමින් මම පුංචි පුතා පිරික්සා බැලුවෙමි.

“මොකද වුණේ?”

ඔහුගෙ දෑතේ දෙපයේ තුවාලයක් නොවුයෙන් මා ඇසුවේ සැනසුම් සුසුමක් හෙලමිනි.

“හා ඉස්සෙල්ලම කියනවා තමුසෙලා දෙන්න කොහෙද ගියේ කියලා..”පොඩි පුතා නඩු විභාගය ආරම්භ කළේ ය.

“කොහෙවත් ගියේ නෑ..”

පැය ගණනාවක් අතුරුදහන්ව සිටිය ද නිවුන් පුතුන්ගේ උත්තරය එයමය.

“කොහෙවත් ගියේ නැත්තං ගෙදර ඉන්න එපැයි. අපි දැක්කනේ ඩබල මොකද නොපෙනෙන්ඩ අඳුනක් ගාගෙන හිටියද දෙන්න...?”

මද්දුද කවදාවත් නැතිව සැර වැර කරයි.

“ඉස්සෙල්ලා අහන්නෙ මොකක්ද වුණේ කියලා.

මම නොඉවසිල්ලෙන් හඬ ගෑවෙමි.

“අනුපිළිවෙළට යන්න ඕනා අම්මා... පියවරෙන් පියවරට ස්ටෙප් බයි ස්ටෙප්”

පොඩි පුතා පැහැදිලි කරයි.

“ඔයා පොඩ්ඩක් ඉන්නකො” කියමින් “චූටි මොකද වුණේ කියලා”? මම චූටි පුතා වෙත හැරුණෙමි.

“අපි ඉස්සෙල්ලම නැන්දල ගෙදර ගියා. එහෙ ඉන්නකොට තමා චූටි අක්කලගෙ ඇඹරැල්ල ගහ දැක්කෙ. ඇඹරැල්ල ගහේ ගෙඩි පිරිලා තිබ්බා..

“ආපෝ ගහක ගෙඩියක් පේන්න බෑ ... මරු ඩබල.”

මද්දු සාවඥ බැල්මක් හෙලුවේය.

“ඉතිං? ඉතිං? ඊට පස්සේ?...

මම නොඉවසිල්ලෙන් අසමි. පොඩිත්තා හිස සැලුවේය. ඉනික්බිති සිදු වූ දේ කීමට අකැමැත්තෙන් දෙතොල හකුලා ගත්තේය.

“කියන්නකො ඉතිං මොකෙ වුණේ ඊට පස්සෙ?”

පුංචි පුතා ඉහේ සිට පොරවා ගත්තේ ය. ඔහු පලා යනු ඇතැයි සැක පහළ කළ මද්දු මුරකාවලේ යෙදුණේ දෙපය දෑතින් අල්ලා බදා ගනිමිනි.

“මං එපා කීවා මෙයා ගහට නැගලා ඇඹරැල්ලා කැඩුවා...අත්තත් කඩාගෙන ඇඹරැල්ලා ඇහිද ඇහිද හිටපු මගේ ඇඟ උඩට වැටුණා. හසරැල් පැනල දිව්වා. මං ඉතිං මෙයාව කරේ තියාගෙන ගෙදරට ආවා..”

දිග කතාවක් කී චූටි පුතා හතිලෑවේය.

පොඩි පුතාත් මද්දු පුතාත් හිනාසුණද මම බියපත් වීමි.

“කොහෙද වැදුණෙ... ඔළුව වැදුණා ගලකටත්... තව ටිකෙන් අතපයක් කැඩෙනවනේ. මොනවද ඕගොල‍්ලො මේ කරන්නෙ? තාත්තා දැනගත්තොත් මට නේද බණින්නෙ ඔයාලව බලාගත්තෙ නෑ කියලා...”

මම කෝපයෙන්ද ශෝකයෙන්ද කියාගෙන ගියෙමි.

“විළුඹ රිදෙනවා අම්මා... බිම තියන්න බෑ”

පුංචි එකා කෙඳිරි ගෑවේය.

“දැං ඉතිං මොකද කරන්නෙ?

මම මහත් කැළඹීමෙන් ප්‍රශ්න කළෙමි.

“‍වෙදෙක් ළඟට ගෙනියන්න වෙයි...”පොඩිපුතා කීවේ විහිළුවට දැයි මට නිනව් නැත.

“ඔව් වෙද මහත්තයෙක් ළඟට එක්ක යන්න ඕන”

දරුවන්ගේ පියා කුපිතවනු ඇතැයි බියපත්වූ මම ත්‍රීවිලරයක පිහිට පතන්නට තීරණය කළෙමි.

“වෙද මහත්තයා අහයි අම්මා නැග්ගෙ මොන ගහටද කියලා”

මද්දු සිහිපත් කරන තෙක්ම මට අඹරැල්ලා ගස ගැන හැඟීමක් නොවිණ.

“කොහොමද අම්මා කටක් ඇරලා කියන්නේ ඇඹරැල්ලා ගහෙන් වැටුණා කියලා”පොඩි පුතා සිනාව සඟවා ගත්තේය.

“ඇඹරැල්ලා ගස්වලට නඟින්නෙ නෑනේ..බිලිං, දෙල්වගේ ගස්වල අතුත් හයිය නෑ.”

මම ළතැවුලින් කීවේය.

“ඕගොල්ලො වත්තෙ වටේ ගහකොළ අස්සෙම ඉඳලත් දන්නෙ නෑනෙ ඇඹරැල්ලා බිළිං වගේ ගස්වලට නඟින්න හොඳ නෑ කියලා.”

“ඉතිං එතකොට ඒ ගස්වල ගෙඩි කඩන්නෙ කොහොමද?”

චූටි පුතා මගෙන් ප්‍රශ්න කළේ ය.

“කෙක්කෙන්...”

මද්දු විශාරදයකු මෙන් පැවසීය.

“පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනනේ. ළමයි වුණාම චූටි පුතාගෙ ඇඟට වැටුණ නිසා ඔයින් ගියා. තව ඩිංගෙං ඔයාගෙ අතක් පයක් කැඩෙනවනේ පුංචි පුතා.

මම ආඩපාලි කීවෙමි.

“තව ඩිංගෙං මගෙ කොන්දත් කැඩෙනවා.

“චූටි පුතා සිය නිවුන් සොහොයුරා වත්තන් කරගනිමින් කීවේය.

“ත්‍රීවිල්වලට වෙද මහත්තුරුන්ට සල්ලි දිදී කරදර වෙන්න එපා අම්මේ. කරපු මෝඩකමට හොඳ ටොක්කක් ඇනලා පැත්තකට දාන්න ඔය මෝඩයව...”

පොඩි පුතා ඉඟිමරා සිනාසේ

“ඔයා මෝටර් සයිකලෙන් වැටිලා ඉස්පිරිතාලෙත් හිටියා මතක නැද්ද...?

චූටි පුතා ඇසුවේ පොඩි අයියා දෙස එක එල්ලේ බලමිනි.

“ ඒ ඉතිං අපේ පොඩි අයියා වංගු කෙලින් කරන්ඩ ගිහිල්ලනේ.

මද්දුගේ කතාවෙන් සිනා ගඟුලක් මැවිණි.

ශාන්ති දිසානායක

[email protected]

නව අදහස දක්වන්න