හීනයකට ඉඩක්... | දිනමිණ

හීනයකට ඉඩක්...

 “සිහිනෙන් ඇසෙයි මට

නින්දේ පත්ල විනිවිද

නුඹේ පයෙහි එල්ලූණ

එක ම ගිගිරක වැළපුම”

(සන්ධ්‍යා තීර්ථය/රත්නශ්‍රී විජේසිංහ)

 

එදා රත්න ශ්‍රී ට ඇසුණේ සිංහරාජය පාමුල දුප්පත් දැරිවියකගේ නැටුමේ දී පයේ එල්ලුණ ගිගිරේ හඬයි. ගිගිරක වැළපුම ඔස්සේ ඔවුන්ගේ ජීවන වේදනාවයි. ඔබ විස්වාස කරන්න, මට දැනුදු ඇසෙන්නේ එවැනි ම දරුවන්ගේ දෙපා පොළොවේ ගැටෙන වේදන­ාවේ හඬයිි. හාමතේ ඉහළට පහළට අදින හුස්මේ හඬයි. කාලයකට පසුව මේ දිගේලි කරන්නේ එකී කතාන්දරයයි.

උස රූස්ස ගස්වලින් මීඳුම් කදම්බ බසින යාමයකි මෙය. ඈත උස් කඳු වැටියේ කළුගල් වසාගත් මීදුම් සීතලක් රැගෙන එයි. සිරි සිරි හඬින් වලාකුළු ළා දිය සීරාවක් ඉසියි. මේ විසල් සිරි මැද, එකී සිරි නොදකින කොලු කුරුට්ටෝ පිරිසක් පොල් පිත්තකින් කපා ගත් බැට් පිත්තක් මානාගෙන ක්‍රිකට් කෙළිති. ඔවුන්ට අද එක්තරා විදියේ සිරිබර උත්සවාකාර දිනකි. ඒ ඔවුන්ගේ ගමේ ඇති පෙර පාසලේ පළමු විවිධ ප්‍රසංගය පැවැත්වෙන නිසා ය. එක්තරා රාජකාරී වැඩකට ගොස් සිටි මා ද එහි වූයේ මේ අරුම දැක ගැනීමේ කුහුලෙනි.

මේ මොනරාගල සාම ගම්මානය යි. මොනරාගල නගරයේ සිට වැල්ලවායට දිවෙන මාර්ගයේ මේ ගම්මානය හමුවෙයි. බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මේ ගම අයත් වන්නේ් ය. වාසය කරන්නේ දෙමළ ප්‍රජාවයි. අඩු ආදායම්ලාභී පවුල් ගණනාවක් මෙහි වෙසෙයි. ආර්ථික තත්ත්වයේ හෝ ආදායම් තත්ත්වයේ නැඟීමක් මෙහි නැත. අධ්‍යාපනයේ සුබ සිහින දූවිල්ලට ම පෑගී ඇත. හැම දෙයක ම අවසානය ඛේදජනක ය.

දැන් පෙර පාසලේ විවිධ ප්‍රසංගය ආරම්භවීමට ආසන්න ය. ‘සාම ගම සිඟිති කැකුළු විවිධ ප්‍රසංගය’ සුදු බ්‍රිස්ටල් බෝඩ් පසුබිමක රතු පැහැයෙන් ලියා ඇත. මෙහි ඩිජිටල් ප්‍රින්ටිං නැත. වෙනත් තැන්වල මෙන් වර්ණ විදුලි ආලෝක නොමැත. ශබ්ද විකාශන යන්ත්‍රවල මියුරු ස්වර නාද නොමැත. ඉබේ ඈත් මෑත් වෙන තිර රෙදි නොමැත. සාරි දෙකක් තිර රෙදි මෙන් නූලක එල්ලී බන්ඩි ගැසී ඇත. කුඩා බිම්කඩකි. වේදිකාවක් වෙන ම තනා නැත. ෙප්‍ර්ක්‍ෂකාගාරය සහ වේදිකාව එකම බිමක, එකම සීමාවක පිහිටා ඇත.

විවිධ ප්‍රසංගය ආරම්භ කරමින්, හඬ නඟමින් පෙර පාසලේ ගුරුතුමිය ම කතා කරයි. නිවේදනය, ගායනය සියල්ල ඇගෙනි. ඇගේ සහයට නව යොවුන් දියණියන් දෙදෙනෙකි. මවුපියන්ට වගේ වගක් නැත. පනහකට තරම්වත් අසුන් නොමැති ශාලාව කුකුල් ෆාම් එකකටත් වඩා කුඩා ය. මවුපියෝ සිය දරුවන්ගේ හපන්කම් බලා ගැනීමට යුහුසුළු වෙති. ඇතැම්හු කෑ කෝ ගසති. දරුවෝ නළවති. දඟලන පොඩි වුන් මෙල්ල කරගැනීමට දෙස් තියති. සැර වැර වෙති. ඉතින් මේ අසරණ ගුරුතුමී උගුර ලේ රහ වෙනකන් මොර දෙන්නී ය. නොසැලී ප්‍රසංගය මෙහෙයවයි.

‘නමෝ නමෝ

තුන් සරණයි මෑණී

තුන් ලොකේ අගරැජිණී...’ දරුවන්ගේ පළමු අංගය එසේ නිමවෙයි. ගුරුතුමිය නැවත වේදිකාවේ ඉදිරියට පැමිණ පිරිස අමතයි. පැමිණ සිටි ආරාධිතයකුට කතාවක් දෙයි. ආරාධිතයා කතා කරයි. නැවත නැටුම් ඇරඹෙයි.

‘දවසකදා හඳ මාමට නින්ද ගිහිල්ලා

හඳේ හිටිය සුදු හාවා කොහෙද ගිහිල්ලා’

එසේ තවත් ගීතයකට දරුවෝ උපරිමයෙන් නටන්න වෙහෙසෙති. හීන් නළල් තල ඩාදිය බිංඳු වැටී හේදෙයිි. හෙට දවසේ මොවුන්ගේ ජීවිත ඉරණම කෙසේ විසඳෙනුු ඇත් ද?

මේ අප හිතනවාට දකිනවාට වඩා සංකීර්ණ දුක්ඛදායක සමාජ පසුබිමක වැඩෙන දරුවෝ ය. මේ ගම්මානයේ සියලු වැසියෝ දෙමළ ය. නමුත් ඔවුන්ට හරිහැටි දෙමළ ලිවීමට නොහැකි ය. ඇතැමෙක්ට තරමක් සිංහල ලිවීමට හැකි ය. මව් බස දෙමළ වුව ද ඒ ගැන හැඟීමක් නොමැත. හැඟීමක් ඇතිවන්නට හරිහමන් මඟ පෙන්වන්නෙක් නොමැත. දරුවන්ට ඇති අඩු පහසුකම් නිසා ඔවුන් යන්නේ ළඟම තිබෙන සිංහල පාසල වෙතට ය. එහි දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වෙන්නේ නැත. ඒ සඳහා ගුරුවරු නැත. හරියාකාරව සිංහල මාධ්‍යයෙන් ද ඉගැන්වෙන්නේ නැත. ඉතිං අතරමඟ දී ඔවුහු අධ්‍යාපනය අතැර දමති. කිිසිදු භාෂාවකින් නිසි පරිදි ඉගෙනීමක් නැති ඔවුන් තවදුරටත් කෙසේ අධ්‍යාපනය ලබන්න ද?

මේ ගම්මානයේ සිට මොනරාගල පැත්තට වෙන්නට කිලෝ මීටර් පහකට එපිටින් දෙමළ පාසලක් ඇතිමුත් දුර වැඩිකම නිසා මවුපියන් දරුවන් එහි යවන්නේ නැත. එවැනි පාසලකට යවන්නට වියදම් කරන්නට මුදල් නැත. ළඟම ඇතිි සිංහල පාසලේ හරිහමනන් ඉගෙනුුමක් නැතත් මවුපියන් ට ඒ ගැන තැකීමක් නැත. ඔවුුන් දන්නේ තම දරුවන් යම් පාසලකට ගොස් ඉගෙන ගන්නවා කියා පමණි. ගැටලු තේ්රුණ මුත් ඒ වෙනුවෙන් නැඟී සිිටින්න, හඬක් නඟන්න දහිරියක් නැත. මේ සියල්ලට වඩා බඩගිනි නිවීම සඳහා කුලියක් මලියක් කිරීම වැදගත් ය.

මේ ගම්මානයේ පාසල් නොයන සේම අතරමඟ පාසල් ගමන අතැර දමා ඇති දරුවෝ බොහෝ වෙති. ගමේ වෙසෙන පවුල් ගණන අසූවකට ආසන්න ය. ඒ ප්‍රමාණයට නිවාස නොමැත. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික ප්‍රශ්න බොහොමයකි.

අප දන්නා පරිදි පෙර පාසලක ඉගෙනුමට යම් සැලකිය යුතු ප්‍රමාණයක මුදලක් අය කරයි. මේ පෙර පාසලේ ගුරුතුමිය එසේ අය නොකරන්නී ය. සුළු මුදලක් අය කළ ද ගමේ ඇති දුෂ්කරතා නිසා ඇයට එය ගැබෙන්්නේ උගහට ය. ඇය උත්තම ගුරුතුමියකි. මුදල් නොලැබුණ ද ස්වේච්ඡුාවෙන් ම පෙරපාසල කරගෙන යයි. මන්ද කුණුගොඩක වුව වටිනා යමක් ඇහිදගත හැකි බව ඈ දන්නා නිසා ය. මෙවැනි ම දුෂ්කර ගම්වල පාසල් ගුරුවරු ගැන අපට යම් යම් අත්දැකීම් ඇත. පාසල නිවස කරගෙන සිටින, ඕනෑ ඕනෑ වෙලාවට යන එන ගුරුවරුන් එවැනි තැන්වල බොහෝ වෙති. ඔවුන්ගේ නිගමනය මේ ‘ගම්වල පොඩිවුන්ට ලියුමක් ලියා ගන්නට හැකි වුණාම, ඒ මදෑ...?’ යන්නයි. (අවංකව වැටුපට එහා සේවයක් කරන දෙවියන් ලෙස මිනිසුන් සලකන ගුරුවරුන්ට මෙය අදාළ නොවේ)

සැබැවින් ම ලියන්නේ මොනවාදැයි නිශ්චිත නැති මුත් මෙවැනි බොහෝ ගම් ඇති බැව් පමණක් බලධාරීන්ට දනවන්නට උත්සාහ කරමි. මේ හැම දරුවෙක් ම මේ ගම්මානවලින් එපිට ලෝකය දැකිය යුතු නැති ද?

තවම මැවෙන්නේ ඒ අහිංසකයන් නැටුමට උපරිම සාධාරණයක් කරන්නට දැරූ වෙහෙසේ තරමයි. ඇස්වලින් වැටුණ බඩගින්නක වේදනාවයි. උන්ගේ දුප්පත් අව්‍යාජ සුවඳයි. ගිගිරක් තියා හරි ඇඳුමක්වත් ඉණ රැඳී නැත. ඉදින් අවසන මෙසේ ලිියමි.

“වේදිකාවක් නොමැති

ඉරි තැලීගිය බිම් කඩක

හොරි පිපුණ කැහැටු

පා සිඟිති ඇන ඇන

පුතේ උඹ නටන හඬ

මේ ඉසව්වෙන් එහා

හීනයකටවත් ඔය ඇස්වලට

නැති ද වරම ?”

ළහිරු කිතලගම 

නව අදහස දක්වන්න