අපනයන ආදායම ඉහළට | දිනමිණ

අපනයන ආදායම ඉහළට

 රටක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වාණිජ මණ්ඩල මඟින් ඉටුවන සේවය අතිමහත්ය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඔබේ ඇමැතිතුමා හමුවන්න යන සාකච්ඡාවට මෙවර සහභාගි වූයේ දයා ගමගේ ඇමැතිවරයාය.

සාකච්ඡාවේදී වැඩිපුරම අදහස් පළවූයේ අධිතාක්ෂණික කෘෂිකාර්මික කලාප සහ මත්ස්‍ය නිෂ්පාදන කලාප වැඩ පිළිවෙළ පිළිබඳවය.

ඇමැතිවරයා පවසන අන්දමට කුරුණෑගල , ගාල්ල, මාතලේ සහ උතුරු ප්‍රදේශයේ අධිතාක්ෂණික කෘෂිකාර්මික කලාප මේ වසර තුළ දී ඇරැඹීමට නියමිතය. මන්නාරම, කල්පිටිය සහ යාපනයේ මත්ස්‍ය නිෂ්පාදන කලාප තුනක් ඇරැඹීමත් කඩිනමින් සිදුවේ.

මේ වැඩසටහනට අනුව මත්ස්‍ය කලාප 10ක් සහ අධිතාක්ෂණික කෘෂි කලාප 23ක් ස්ථාපිත වනු ඇත. ඔලුවිල් හි මිරිදිය හා කරදිය මත්ස්‍ය කලාපයක් පිහිටුවනවා ඇත. උහන, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය සහ මහඔය අධි තාක්ෂණික කෘෂි කලාප 4ක් සඳහා දැනටම ස්ථාන තෝරා ගෙන තිබේ.

අපනයන ඉහළ නංවන ගමන් ආනයනය සඳහාවන වියදම් අඩුකිරීම ආණ්ඩුවේ අරමුණ යැයි පවසන ඇමැතිවරයා ආහාර ද්‍රව්‍ය සඳහා වියදම් වන රුපියල් බිලියන 900 අඩුකර ගැනීම සඳහා දේශීයව ආහාර ද්‍රව්‍ය වගාකිරීමට ජනාධිපතිතුමා විසින්ම වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ද,ඖෂධ අපනයනය සඳහා රටින් පිටට ඇදී යන ජාතික ධනය නතර කර ගැනීම සඳහා ආයුර්වේද දේශීය වෙදකම් නගා සිටුවිය යුතු යැයි ද කියයි.

ව්‍යාපාරිකයන් අමතා මේ අදහස් පළකළ දයා ගමගේ ඇමැතිවරයාට බාර වී ඇත්තේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයයි. ශ්‍රී ලංකාවේ එනමින් අමාත්‍යංශයක් පිහිටුවන ලද්දේ මුල් වතාවටය. එහෙත් වෙනත් රටවල එනමින් අමාත්‍යංශ තිබේ. හොඳම උදාහරණය ඔස්ට්‍රේලියාවයි. ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනයට මෙන්ම කුඩා කර්මාන්ත නගා සිටුවීම ද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයට පැවරී තිබේ.

l ඔසු වගාව

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත, ධීවර අංශය, කුළු බඩු සහ කුරුඳු වගාව යන විෂයයන් සංවර්ධනය කිරීමේදී මේ අමාත්‍යංශය විශාල වැඩ කොටසක් ඉටු කරයි. විශේෂයෙන් ගම්මිරිස් වගාවේ අස්වැන්න ඉහළ දැමීම සඳහා එම අමාත්‍යංශය විශාල වැඩ කොටසක් ඉටු කරයි.

කුරුඳු උපයෝගි කරගෙන නිමි භාණ්ඩ නිපදවාගැනීමත්, එබඳු නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමෙන් ආදායම වැඩිකිරීමටත් එම අමාත්‍යංශය කටයුතු කරයි. 2020 වන කෙටි අපනයන ආදායම දෙගුණයකින් වැඩි කිරීම අරමුණු කරගත් එම අමාත්‍යංශය අම්පාර දිස්ත්‍රික්කයේ ඇන්තුරියම් වගාව දියුණු කර, මල් හා කොළ අපනයනය කිරීමේ ව්‍යාපාරයකින් කාන්තාවනට ආදායම් මාර්ගයක් විවෘත කරදීමේ වැඩපිළිවෙළක් ද අරඹා තිබේ.

කුරුඳු මඟින් වෙනත් නිමි භාණ්ඩ නිපදවා අගය එකතු කිරීම තුළින් නව ආදායම් ලබාගැනීමද තවත් අරමුණකි.

ඇමැතිවරයා එහිදී පළ කළ අදහස් මෙසේය.

ආහාර ද්‍රව්‍යවලට මෙන්ම ඖෂධ සඳහා ද ශ්‍රී ලංකාවට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. කොරියාවේ ද එම රටට ආවේනික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබේ. එරට බොහෝදෙනා බටහිර වෛද්‍ය ක්‍රමයට ඇබ්බැහි වී නොමැත. එහෙත් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයක් සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් තිබුණත්, සුළු අසනීපයකට පවා බටහිර ප්‍රතිකාර සොයා යෑම දක්නට ලැබේ.

දේශීය ප්‍රතිකාර පසුපසට යෑම සියයට දහයකි. එය පනහ දක්වා වැඩිකිරීමට කටයුතු කළහොත් රටින් පිටට ඇදී යන ජාතික ධනය ඉතිරි වේ. දේශීය වෙදකමටත් ආයුර්වේදයටත් අවශ්‍ය ඖෂධ පැළෑටි, රාශියක් ඉන්දියාවෙන් ආනයනය කරන නමුත් එම ද්‍රව්‍යද මෙරට වගාකිරීමට පිළිවන. තිප්පිලි පවා ගෙන එන්නේ ඉන්දියාවෙනි.

ශ්‍රී ලංකාවේ වගා කළ හැකි එහෙත් ආනයනය කරන ඖෂධ පැළෑටි මේ රට තුළ වගාකිරීමේ වැඩපිළිවෙළකට දැන් මුල පුරා තිබේ. එක ගමකින් කාන්තාවන් පස් දෙනෙක් තෝරාගැනීම මුලින්ම සිදුවේ. පසුව ඔවුනගේ උනන්දුව මත කටයුතු කරන තවත් කාන්තාවන් 14 දෙනෙක් තෝරාගැනීම එක එක කාන්තාවට බාර කරනු ඇත. මේ අනුව කාන්තාවන් 15 කණ්ඩායම් පහක් එක ගමක සංවිධානය කර ඔවුන් ලවා එම ඖෂධ පැළෑටි වැවීම නව වැඩපිළිවෙළයි. ලංකාවේ ගම් 15,000ක මෙවැනි කාන්තා සංවිධාන ගොඩනඟා ගතහොත්, දළ වශයෙන් අක්කර 62,500 ක ඖෂධ පැළෑටි නිපදවා ගැනීමට පිළිවන. එක කාන්තාවකට බාර වන්නේ පර්චස් 10ක ඖෂධ පැළෑටි වගා කිරීම පමණි.

එම ඖෂධ පැළෑටි දේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කළ හැකි අතර එම ශාකසාර උයෝගි කර ගනිමින් විවිධ නිෂ්පාදන ඇරඹීමටද උදව් උපකාර කරනු ලැබේ. විදේශ තාක්ෂණය ද මේ සඳහා යොදා ගැනීමට සිදුවේ. මෙවැනි කෘෂි කලාප ගම්මාන 04ක් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටුවීමට දැන් කටයුතු අරඹා තිබේ.

ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ ඉහළම තත්ත්වයේ කුරුඳු ලෙස සැලකේ. මේවා ඉන්දියාවට හෝ මෙක්සිකෝවට අපනයන කිරීම දැන් බහුලව සිදුවේ. කුරුඳු තේ අද ලොව විශාල ඉල්ලුමක් පවතින පාරිභෝගික භාණ්ඩයකි. ඒ සඳහා ඉදිරිපත්වීම අ‍පගේ අපේක්ෂායි. එසේම ඒ සඳහා වෙළෙඳ නාමයක් ඇතිකරගැනීමටත් කටයුතු කිරීම අවශ්‍යයි. වෙනත් තරගකාරි රටවල් ස්වකීය වෙළෙඳ නාමය දියුණු කරගෙන ඇතත් අප ඒ අතින් පසුපසින් සිටීම ව්‍යාපාරිකව අවාසියකි.

විදේශීය ආයෝජන හා තාක්ෂණය රටට අවශ්‍යයි. නමුත් ශක්තිමත් දේශීය ව්‍යාපාරිකයන් 100ක්වත් අප විසින් ගොඩනැඟිය යුතුවේ. ව්‍යාපාරිකයන් සඳහා ණය දීමේ දී කෙටිකාලීන ණය වෙනුවට දීර්ඝ කාලීන ණය ලබාදීමත්, දීර්ඝ කාලින වූ ණය මුදල් ලබා ගැනීමත් ව්‍යාපාරිකයනට වාසියකි. කෙටිකාලීන ණය නිසා සිදුවන්නේ ලාභය , පොලිය ගෙවීමට වැයවීමයි. දීර්ඝ කාලින ණය ක්‍රම නිසා ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඉඩ කඩ ලැබේ.

මත්ස්‍ය අපනයනයෙන් අප ලබාගන්නා ආදායම දෙගුණයක් කිරීම අපගේ අපේක්ෂාවයි. මේ සඳහා AQVA CULTURE අංශය නැංවිමට ධීවර කලාප 10ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. අධිතාක්ෂණ කෘෂි කලාප 23 සහ මත්ස්‍ය නිෂ්පාදන කලාප 10 මෙරට අපනයනය වර්ධනයට හේතුවේ.

ජාතික ආදායමෙන් සියයට 35ක් අපනයනයෙන් ලැබුණත් පසුව ඒ තත්ත්වය සියයට 14 දක්වා අඩුව තිබේ. මහජනතාවට සහන සැලසීමට ජාතික ආදායම වැඩිකළ යුතුයි. එදා මහා මාර්ග සංවර්ධනය සඳහා සියයට 30ක පමණ අදි වියදමක් සිදුවූ අවස්ථා තිබුණ නමුත් දැන් මාර්ග සංවර්ධනයේ පිරිවැය වියදම් එදාට වඩා අඩුවීම රටට වාසියකි.

අප ජාතික ආදායම ලබාගන්නේ ඇඟලුම් අපන‍යනයෙන් හා තේ, පොල්, රබර් අපනයනයෙන් වුවත් මෑතක සිට තේ සහ රබර් ආදායම් අඩුව තිබේ. එය අපට පාලනය කළ නොහැකි ජාත්‍යන්තර තත්ත්වයකි. කුළුබඩු අංශයේ අපනයනයෙන් වාර්ෂික ආදායම ඇ.ඩොලර් දස ලක්ෂ 240 ක් රටට හිමිවේ. මේ අංශය දියුණු කිරීමත්, වෙළෙඳ නාමය දියුණු කිරීමත් කළ යුතුව තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකා තේ යන වෙළෙඳ නාමය යළි ස්ථාපිත කර ගත යුතුයි.

ශ්‍රී ලංකා මත්ස්‍ය තහනම ඉවත්වීම නිසා මත්ස්‍ය නිෂ්පාදන අංශය දියුණු කළ යුතුය. මේ නිසා දේශීය මාළු මිල වැඩිවීමට ද ඉඩ තිබේ. ජී.එස්.පී. සහනය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය සහ අපනයන ආදායම දියුණුවට හේතු වන්නකි යැයි දයා ගමගේ ඇමැතිවරයා කියයි.

වසර මැද දී රාජ්‍ය මුදල් කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු යැයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ සඳහන් වේ.

පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට පෙර එම වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පසුගිය සතියේ සිදුවිය. එම වාර්තාවේ අඩංගු කරුණුවලට අනුව 2015 පළමු කාර්තුවේ (මාස 3) වාර්තා වූ සියයට 4.4 ආර්ථික වර්ධනයට සාපේක්ෂව 2016 වර්ෂයේ පළමු කාර්තුවේ සියයට 5.5 ක ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබේ.

2016 සමාලෝචන කාල පරිච්ඡේදයේ රාජ්‍ය ආදායම සියයට 19.5 කින් වර්ධනයව තිබේ. උද්ධමන අංකය තවදුරටත් තනි අංකයක පවත්වාගැනීමට හැකි වී ඇත.

l ෙවළඳ හිඟය පහළට

අපනයන ආදායම සියයට 4.5 කින් අඩුවූවත්,විදේශ ශ්‍රමික හා සංචාරක ඉපැයීම් ගලා ඒම යහපත් වී 2016 මුල් මාස 04 තුළදී වෙළෙඳ හිඟය සියයට 2.4 කින් පහළ ගිය බවද මුදල් ඇමැතිවරයාගේ වාර්තාව කියයි.

දිවයිනේ බොහෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවට මැසිවිලි නැගේ. මේ බව බොහෝ විට දක්නට ලැබෙන්නේ දුර බැහැර ප්‍රදේශවලය.

කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා අංග සම්පූර්ණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් දැන් එම ප්‍රදේශයට ලැබී තිබේ. මේ අයුරින්ම මඩකළපුව, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කය සඳහා අංග සම්පූර්ණ දිසා ලේකම් කාර්යාල පිහිටුවීමේ කටයුතු ඇරඹීමේ යෝජනාවකට ගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කෙළේය.

මේ අනුව මාතලේ දිස්ත්‍රික්කය සඳහා පස් මහල් දිසා ලේකම් කාර්යාලයක් ඉදිවේ. මඩකළපුවට නව තෙමහල් ගොඩනැගිල්ලක් ද පොළොන්නරු දිසාව සඳහා තෙමහල් ගොඩනැගිල්ලක්ද ඉදි කෙරේ.

මේ සඳහා අවශ්‍ය කොන්ත්‍රාත් බාර දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකාවේ තේ සඳහා කලක සිට ලැබුණ මිල ගණන් ගැන වැවිලි අංශය සිටියේ කනස්සල්ලෙනි.

ගිය සතියේ පෝබස් සහ වෝකර්ස් බ්‍රොකර් සමාගම් කියා සිටියේ ශ්‍රී ලංකා ඇතැම් තේ කාණ්ඩ සඳහා කිලෝවකට රුපියල් 20 -30 අතර ඉහළ මිල ගන් ලැබුණු බවයි.

ඩුබායි, තුර්කි, කුවේට් සහ සවුදි අරාබිය ශ්‍රී ලංකා තේ සඳහා උනන්දු වූ රටවල්ය. ඉරාකය ද වෙන්දේසියට සහභාගි වූවාය.

මේ අතර ශ්‍රී ලංකාවේ තාක්ෂණික තේ සඳහා අනාගතයේ හොඳ ඉල්ලුමක් ලැබෙන බවට අනාවැකි පළවේ.

ලංකා කොමිසිටි වාර්තාවට අනුව මෙවර තේ වෙන්දේසියට කිලෝ 6023013 ක් ඉදිරිපත් කර තිබුණි.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න