වැට් අවුලේ පැටලීම | දිනමිණ


 

වැට් අවුලේ පැටලීම

මෝටර් රථ ඇතුළුව ලොරි වෑන් වැනි යානවාහන තබා ගනිමින් සිල්ලර වෙළෙඳාමේ නිරතවන වෙළෙඳුන් වුව ද ආදායම් බදු ගෙවන්නේ නැත. සමහරු නිවාස දෙක තුන ඉදිකරමින්, කඩ කාමර කුලියට දෙමින්, විවිධ සුළු ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරමින්, සිල්ලර කඩ පවත්වාගෙන යන නමුත් රජයට අදායම් බදු ගෙවන්නේ නැත. හදිසි වැටලිමක දී වුව ද වාංචාකාරි ලෙස පොත්පත් පවත්වාගෙන යෑමට පවා උපදෙස් දෙන ගොඩපෙරකදෝරුවන් බදු නිලධාරීහු ඔවුනට සිටිති. ආදායම් බද්දට යටත් ව්‍යාපාරිකයෝ පවා තමන් රජයට ගෙවනු ලබන බදු ආදායම හැකි තරම් අඩුකර ගැනීමේ ක්‍රමවේද සැකසීම වෙනුවෙන් බදු උපදේශකවරුන් පත් කරගෙන සිටිති.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ ම තලයේ නිලධාරියෙක් පසුගිය දිනෙක භාණ්ඩයක් මිලයට ගැනීමට සාමාන්‍ය වෙළෙඳ සලකට ගොඩ විය. එහි දී ඔහු හැසිරුණේ සාමාන්‍ය පාරිභෝගිකයකු ලෙසිනි. වෙළෙඳ සල් හිමියා ද ඔහු දැනහැඳින ගත්තේ නැත. මේ සුවිශේෂී පාරිභෝගිකයාට තමන් මිලදී ගත් භාණ්ඩවලට, මුදල් ගෙවීමෙන් පසු, අදාළ මිලට සාපේක්ෂව වැට් එකතුකර තිබුණ බව දන්නට ලැබුණි. එහෙත් අදාළ භාණ්ඩය වැට් බද්දට යටත් වූවක් නොවේ.

“ඇයි මිල වැඩි වුණේ ?“

පාරිභෝගිකයා වෙළෙන්දාගෙන් ප්‍රශ්න කරන්නට විය.

“වැට් එකතු කළානේ මහත්තයා ?“

“වැට්? මේ භාණ්ඩයට වැට් නැහැනේ.“

දැනුවත් පාරිභෝගිකයා නැවතත් ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කළේය.

“නැහැ. වැට් අය කරනවා.“

ඔහුගේ පිළිතුර විය.

“ඔබ වැට් ගෙවනවාද, වැට්වලට ලියාපදිංචි වෙලා සිටිනවාද ?“

පාරිභෝගිකයාගේ ඊළඟ ප්‍රශ්නය වෙළෙන්දාට එල්ල විය.

“ලියාපදිංචි වෙලා නැහැ. ඒ වුණාට අය කරනවා.“

වෙළෙන්ඳාගේ සරල පිළිතුරින් සියල්ල පැහැදිලිය. මෙය සත්‍ය කතාවකි.

පාරිභෝගිකයාගේ ඉරණම

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ ම තලයේ කෙනෙකුට මෙහෙම නම් සාමාන්‍ය පාරිභෝගිකයා ගැන කිවයුතු කවරේද ? ඔවුන් වෙළෙඳන්ගෙන් මේ තරම්වත් ප්‍රශ්න කරන්නේ නැත. වැට් අය කරන හා නොකරන භාණ්ඩ සම්බන්ධයෙන් අවබෝධයක් ද නැත. වැට් නැති භාණ්ඩවලට ද වැට් අය කෙරේ. වැට්වලට ලියාපදිංචි නොවූ වෙළෙන්දෝ වැට් අයකරමින් වෙළෙඳාම් කරති. පාරිභෝගිකයන් සමඟ එක් වී බඩුමිල වැඩි බව සඳහන් කරමින් ආණ්ඩුවට බණිති. පාරිභෝගිකයෝ, වෙළෙන්ඳන් නියම කරන මිල ගෙවා දමති. අවසානයේ භාණ්ඩ මිල වැඩිවන්නේ ද මේ වැට් හුටපටය නිසා ය. සාක්කු තර වන්නේ කාගේ දැයි දැන් පැහැදිලි ය. එසේ ම වැට් මගින් අපේක්ෂා කරන ආදායම රජයට ලැබෙන්නේ ද නැත.

වැට් අය කිරීමට ප්‍රථම අදාළ ව්‍යාපාරය වැට් සඳහා ලියපදිංචි කළ යුතුය. එසේ නොමැතිව වැට් අයකළ නොහැකිය. ව්‍යාපාරිකයෝ කාර්තුවකට වරක් රජයට අදාළ මුදල් ගෙවා දැමිය යුතුය. ඔහු මෙහි දී කරන්නේ සම්බන්ධීකරණ කාර්යයකි. මෙතෙක් වැට් බදු නොගෙවා සිටි, නැත්නම් ඊට ලියාපදිංචි නොවී සිටි තොග හා සිල්ලර වෙළෙඳුන්ට දැන් ඒ සඳහා ලියාපදිංචිවීමට සිදු වී තිබේ. ඔවුන් නොසන්සුන් වී සිටින්නේ ඒ නිසා ය. මේ නිසා ඔවුන් පාරට පැමිණ තිබෙන්නේ පාරිභෝගික ජනතා වෙනුවෙන් නොවේ. තමන්ට සිදු වී තිබෙන අර්බුදය නිසා ය. වැට් ඔවුන් සලකන්නේ වැඩි වැඩක් ලෙසිනි.

වැට් බද්ද සඳහා නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. වැට් ගෙවීමට සිදුවන අයට නැතිනම් ව්‍යාපාරිකයාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට සිදුවේ. එසේ ලියාපදිංචි වීමකින් තොරව එම බද්ද ගෙවිය නොහැකිය. මෙතෙක් වැට් ලිපිගොනු නොමැතිවූ පිරිසකට වැට් ලිපි ගොනු විවෘත වේ. එම වැට් ලිපි ගොනු අනුසාරයෙන් ඔවුන්ගේ (වෙළෙඳුන්ගේ) ආදායම් ප්‍රමාණය නිරාවරණය වේ. ඊට ආදායම් බදු නොගෙවන සිල්ලර වෙළෙඳුන් අකැමැතිය. මෝටර් රථ ඇතුළුව ලොරි වෑන් වැනි යානවාහන තබා ගනිමින් සිල්ලර වෙළෙඳාමේ නිරතවන වෙළෙඳුන් වුව ද ආදායම් බදු ගෙවන්නේ නැත. සමහරු නිවාස දෙක තුන ඉදිකරමින්, කඩ කාමර කුලියට දෙමින්, විවිධ සුළු ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරමින්, සිල්ලර කඩ පවත්වාගෙන යන නමුත් රජයට අදායම් බදු ගෙවන්නේ නැත. හදිසි වැටලිමක දී වුව ද වාංචාකාරි ලෙස පොත්පත් පවත්වාගෙන යෑමට පවා උපදෙස් දෙන ගොඩපෙරකදෝරුවන් බදු නිලධාරීහු ඔවුනට සිටිති. ආදායම් බද්දට යටත් ව්‍යාපාරිකයෝ පවා තමන් රජයට ගෙවනු ලබන බදු ආදායම හැකි තරම් අඩුකර ගැනීමේ ක්‍රමවේද සැකසීම වෙනුවෙන් බදු උපදේශකලා පත් කරගෙන සිටිති. ඔවුන්ගේ කාර්ය කෙසේ හෝ තම සේවාදායකයා රජයට අඩුවෙන් බදු ගෙවන්නකු බවට පත්කරලීමයි.

පසුගිය දිනෙක පිටකොටුවේ සංචාරය කළ නියෝජ්‍ය ඇමතිවරයකුට හමු වූ එක් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් වැට් නිසා ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය ගැන කතාබහ කරන්නට විය.

“කොහොමද ඇමැතිතුමා මිනිස්සු ජීවත් වෙන්නේ. මේ වැට් එක නිසා මිනිස්සු අමාරුවේ වැටිලා.

බඩු මිල වැඩි වෙලා. ඒ අයට හරි අමාරුයි.“

ඔහු නියෝජ්‍ය ඇමැතිවරයාට පාරිභෝගික ජනයාගේ අමාරුකම් කියාගෙන කියාගෙන ගියේය.

මේ සංචාරයේ දී නියෝජ්‍ය ඇමැතිවරයාට හමු වූ පාරිභෝගිකයෝ පවා අර ව්‍යාපාරිකයා තරම්, වැට් නිසා ජනතාවට විදින්නට සිදු වී තිබෙන අමාරුකම් ගැන කතා බහ නොකළහ. අවසානයේ අදාළ ව්‍යාපාරිකයාට නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රශ්නයක් යොමු කළේය.

“ඔබ ආදායම් බදු ගොවනවාද? ආදායම් බදු ලිපිගොනුවක් තිබෙනවාද ?”යන්නයි.

“මම නම් ආදායම් බදු ගෙවන්නේ නෑ ඇමැතිතුමා“

මේ සත්ගුණවත් ව්‍යාපාරිකයාගේ සරල පිළිතුරු විය. මින් පැහැදිලි වන සත්‍ය කුමක්ද ?

පිටකොටුවේ වෙළෙඳ සලක් පවත්ගෙන යමින් වුව ද ආදායම් බදු නොගෙවා සිටින්නට සපිරිබර මෙසිරි ලකේ සමහර ව්‍යාපාරිකයන්ට හැකි වීම ය. ආණ්ඩුවක අවධානය යොමුවිය යුත්තේ මෙවන් කාරණා සඳහා ය.

මෙරට ආදායම් බදු ගෙවන ප්‍රජාව, ජනගහනයට සාපේක්ෂව 2%ටත් අඩු යැයි දැන ගැනීමට තිබේ. එය වෙනත් රටවලට සාපේක්ෂව බෙහෙවින් ම අඩු ප්‍රතිශතයකි. එසේම ඍජු බදු හා වක්‍ර බදු රටේ බදු ආදායමෙන් 20% ක් වන විට වක්‍ර බදු 80%ක් තරම් ඉහළ ප්‍රතිශතයක් ගනී. වක්‍ර බදු යනු සිඟන්නාගේ සිට සුපිරි ධනපතියා දක්වා සමානව ගෙවිය යුතු බදු විශේෂයකි. වැට් අයත් වන්නේ ද වක්‍ර බදු ක්ෂේත්‍රයට ය. රජයේ අරමුණ වී තිබෙන්නේ පවතින ඍජු හා වක්‍ර බදු අතර පරතරය අඩු කිරීමය. එය ඍජු බදු 40%ක් හා වක්‍ර බදු 60%ක් වන ලෙසින් සංශෝධනය කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. අපේක්ෂාව හා පරමාර්ථය යහපත් ය. එහෙත් ඊට ගැළපෙන අයුරින් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පටන් ගැනීමට සුදුසු කාලය දැන් එළඹ තිබේ. වැට් බද්දේ ප්‍රශ්නය මතුවන්නේ මේ අතරවාරයේ බව පෙනේ. දැනට පවතින බදු ක්‍රමය සරල නොවන බව මේ පිළිබඳ අවධානය යොමු කරන කාගේත් පොදු පිළිගැනීමයි. එය ජනතාවට යහපත් වන අයුරින් මල නොතලා රොන් ගන්නා ආකාරයට සරල විය යුතු ය. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒ මේ තාවකාලික පිළියමක් ලෙසින් රජය වැට් බද්දේ ප්‍රතිශතය වැඩිකර තිබෙන අතර සමහර භාණ්ඩ අලුතෙන් ම වැට් බද්දට යටත් කර ඇත. ජනතාවට වඩාත් බලපාන්නේ 11%ක් ව පැවැති වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම නොව සමහර භාණ්ඩ 0% සිට 15% දක්වා වැට් බද්දට යටත් කිරීමයි. එහෙත් භාණ්ඩ වර්ග 73 වැට් බද්දෙන් සම්පූර්ණයෙන් ම නිදහස් කර ඇත. තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල උපරිම මිල මට්ටකට යටත් කර තිබේ. ඒවා නියමිත මිලට වඩා විකිණීම සපුරා තහනම් ය.

සාමාන්‍යයෙන් මේ රටේ තොග හා සිල්ලර ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 7ක් පමණ වේයැයි දැන ගැනීමට තිබේ. මින් වැට් සඳහා ලියාපදිංචි වී ඇත්තේ 25,000කට වඩා අඩු ප්‍රමාණයකි. වැට් බද්ධට අදාළව දෛනික පිරිවැටුම අඩුකර එම ව්‍යාපාරික ස්ථාන ක්ෂණිකව වැට් බද්දට යටත් කිරීමෙන් මේ ප්‍රමාණය වැඩිවිය හැකි නමුත් එමගින් නිර්මාණය වන අවුල සුළුපටු නොවේ. මේ වන විට සිදු වී තිබෙන්නේ එම අවුලයි. රජය, පාරිභෝගිකයා හා ව්‍යාපාරිකයා වැට් අවුලේ නූල් බෝලයක් ලෙසින් පැටලී සිටින බව පෙනේ.

ටි.බී.ඉලංගරත්න මහතා වෙළෙඳ ඇමැතිවරයාව සිටි සමයේ පිරිවැටුම් බදු පැනවීමට පෙර සිදුකළ පෙර සූදානම් හා හෝම්වර්ක් පිළිබඳ මෙනෙහි කිරීම අදට වුව ද කිසිවකුට අවැඩක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වර්තමාන දේශපාලනඥයන්ට මෙය අමතක නම් පැරැන්නන්ගෙන් අසා දැනගත හැකි ය.

ඉලංගරත්න ආදර්ශය

ඉලංගරත්න මහතා එය මාස 6ක් තිස්සේ ඊට සූදානම් වූ බව දැන ගැනීමට තිබේ. මේ සඳහා අදාළ බදු නිලධාරීන් පැරැන්නන් ලවා පුරුදු පුහුණු කර ඔවුන් විෂයානුබද්ධව සන්නද්ධ කළහ.

මේ සම්බන්ධයෙන් හොඳින් දන්නා අත්දැකීම් සහිත බදු නිලධාරින් හා විශ්‍රාමික නිලධාරිහු තවමත් අප අතර සිටිති. එතරම් ඈතට නොගිය ද වැට් සම්බන්ධයෙන් වුව ද ක්‍රියා කළ යුතු ආකාරය නිවැරැදිව දන්නා පළපුරුදු නිලධාරිහු ද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිටිති. වර්තමාන වැට් පිළිවෙත උදෙසා ඔවුන්ගෙන් උපදෙස් ගත්තාදැයි කියන්න දන්නේ නැත. නොගත්තා නම් එය බකපණ්ඩිත වැඩකි. එසේ නම් ඒ අය මේ තත්ත්වයට වගකිවයුතුව ඇත.

අදාළ ව්‍යාපාරික ස්ථාන ලියාපදිංචි කර කල්ඇතිව මේ කාර්යයට සුදානම් වුණි නම් මෙවන් තත්ත්වයක් ඇති නොවනු ඇත යන්න මේ පිළිබඳ මත පළ කරන විද්වත්හු පවසති. රජයකට බදු අවශ්‍යය. ඒ පිළිබඳ විවාදයක් නැත. වර්තමානයේ රට ණය අර්බුදයක පැටලී සිටී. ඊට වත්මන් රජය වගකිවයුතු නැති බව ද සත්‍යයකි. එහෙත් ආණ්ඩුවක් වශයෙන් මීට මුහුණ දිය යුතු ය. ඒ සඳහා අයකරනු ලබන බදු වර්ගය කලින් හඳුනාගෙන ඊට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් පරිදි යම් සැලැස්මක් සකස් කරගැනීම වැදගත්ය. වැට් සම්බන්ධයෙන් එවැන්නක් සිදු වූ බවක් නොපෙනේ.

රජය නම්‍යශීලී වෙමින් වැට් පිළිබඳ මුල් පිළිවෙත අවස්ථා කීපයක දී සංශෝධනයට ලක් කර තිබෙන බව පෙනේ. එය පාරිභෝගිකයාගේ පැත්තෙන් යහපත්ය. එහෙත් වැට් අයකර ගැනීමේ ක්‍රමවේදය පැත්තෙන් අවුල් සහගතය. මීට ඉහත දී අවස්ථා ගණනාවක දී පසුගිය ආණ්ඩුව වැට් පැනවීමේ දී ක්‍රියාකර තිබෙන්නේ මුලින් ම පාර්ලිමේන්තු අනුමැතියකින් නොවේ. එහෙත් කිසිවෙක් අධිකරණයට ගියේ නැත.

මෙවර එය ද සිදු විය. මේ නිසා ක්‍රමවේදයේ තාවකාලික පසුබෑමක් දක්නට ලැබේ. එය ජනතාවගේ පැත්තෙන් වාසිදායක ය. ණය අර්බුදය විසදා ගැනීමේ පැත්තෙන් අවාසිදායක ය. ඒ නිසා මේ සියල්ල යළි සමාලෝචනයට ලක් කිරීම වැදගත් වේ.

වසන්ත ප්‍රිය රාමනායක 

නව අදහස දක්වන්න